බොලිවුඩ් නළු සුෂාන්ත්ගේ මරණය ගැන සෙවීම ඉන්දීය ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට

sushaath singh rajput

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සුෂාන්ත් සින් රාජ්පුත් මරණයට පත්වන විට වයස අවුරුදු 34කි

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ (Sushant Singh Rajput) මරණය සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට මධ්‍යම විමර්ශන කාර්යාංශයට (CBI - Central Bureau of Investigation) නියෝග කර ඇත.

රාජ්පුත්ගේ මළසිරුර ඔහු ජීවත්වූ මහල් නිවාසයේ තිබී පසුගිය ජූනි 14 වෙනි දින සොයාගන්නා ලද අතර පොලිසිය ප්‍රකාශ කළේ එය සියදිවි හානිකර ගැනීමක් වූ බවය.

එතැන් පටන් රාජ්පුත්ගේ සිනමා ජීවිතය සහ මූල්‍ය තත්ත්වය පමණක් නොව ඔහුගේ මානසික සෞඛ්‍යයට අදාළ කරුණු පවා ප්‍රධාන සිරස්තල බවට පත්ව තිබිණි.

ඒ අතරම අදාළ මරණය සම්බන්ධයෙන් විභාග කිරීමේ අධිකරණ බලය අයත්වන්නේ මුම්බායි පොලිසියටද එසේත් නැත්නම් රාජ්පුත්ගේ ජන්මභූමිය වන බිහාර් ප්‍රාන්තයටද යන්න සම්බන්ධයෙන් මත ගැටුමක් ද පැන නැග තිබිණි.

මෙම කාරණය සැලකිල්ලට ගත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා රාජ්පුත්ගේ මරණය පිළිබඳ පරීක්ෂණය මධ්‍යම විමර්ශන කාර්යාංශයට පවරන ලෙස ඉල්ලා සිටීමට බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව සමත්වූ බව සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේය.

එසේම, මරණයට අදාළව මෙතෙක් රැස්කරගනු ලැබ ඇති සියලු සාක්ෂි සීබීඅයි වෙත පවරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය මුම්බායි පොලිසියට නියෝග කර ඇත.

සුෂාන්ත් සිං රාජ්පුත්ට සියදිවි හානිකර ගැනීම සඳහා සහය දුන්නේ යැයි, ඔහුගේ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්තිට (Rhea Chakraborty) එරෙහිව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් නඩුවක් පවරනු ලැබ ඇත. ඔවුන් ද ඉල්ලා සිටින්නේ එම නඩුව මුම්බායි නගරයේ නොව වෙනත් ස්ථානයක විභාග කරන ලෙසය.

sushaath, mahendra singh ,dhoni

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය ක්‍රිකට් තරුවක් වූ මහේන්ද්‍ර සිං දෝනි ගේ චරිතයට පණදීමෙන් සුෂාන්ත් අතිශය ජනාදරයට පත්විය

සමාජ මාධ්‍ය ජාලයෙහි ඇය හඳුන්වා දෙනු ලැබ තිබුණේ ''සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මුදල් පැහැර ගන්නා ලද'' පුද්ගලයකු යන තේරුමෙන් ''රන් නිධානයක් කනින ලද තැනැත්තියක්'' ලෙසටය.

එහෙත් තමාට එරෙහි සියලු විවේචන බැහැර කරන රියා චක්‍රබෝර්ති, සිය පෙම්වතාව සිටි සුෂාන්ත් ගේ මරණය සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කරන ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු භාර ඇමති අමිත් ෂාගෙන් ඉල්ලීමක් කළාය. එහෙත් එම නඩුව මුම්බායි නගරයේ දී විභාග කරන ලෙස ඇය ඉල්ලා සිටී.

සුෂාන්ත් රාජ්පුත්ගේ වතගොත

සුෂාන්ත් රාජ්පුත් ගතකළේ අපූරු දිවියකි, එය ඔහු පණදුන් බොලිවුඩ් සිනමාපටවල දක්නට ලැබුණු ඇතැම් චරිතවලට සමාන වූවක් විය.

මෙම ජනකාන්ත බොලිවුඩ් සිනමා නළුවා හැදී වැඩුණේ ඉන්දියාවේ දිළිඳු ප්‍රාන්තවලින් එකක් වන බිහාරයේ ය. දැඩි කැපවීමකින් කටයුතු කළ සුෂාන්ත් ඉන්දියාවේ ඉහළම මට්ටමේ ඉංජිනේරු විද්‍යායතනයකට ඇතුල්වීමට සුදුසුකම් ලද්දේය. එවැනි අවස්ථාවක් ලැබීම ඉන්දියාවේ සලකනු ලබන්නේ මධ්‍යම පන්තික පවුලකට දීප්තිමත් අනාගතයක් උදාවීමක් ලෙසිනි.

එහෙත් සුෂාන්ත් ගේ සිහිනය වූයේ ඉංජිනේරුවකු වීම නොව රඟපෑමය. එම සිහිනය මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් ඔහු බිහාරයෙන් ඉවත්ව හින්දි සිනමා කර්මාන්තයේ 'බොලිවුඩ්' පුරය පිහිටි මුම්බායි කරා සංක්‍රමණය විය.

sushanth,bolliwood

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සුෂාන්ත් ආකර්ෂණීය රංගධරයකු විය

මුලදී ඔහුට කුඩා චරිත ලැබුණු අතර ජීවත්වීම සඳහා ඉතා දුෂ්කර රැකියාවන්හි නිරත විය. සුෂාන්ත් රංගනයෙන් දායක වූ එක් ''ටෙලි නළුවක්'' (TV shows) රසිකයන් විසින් වැළඳ ගනු ලබන තෙක් ඔහුට වසර ගණනාවක් බලා සිටීමට සිදුවිය.ඒ සමඟ පුළුල් තිරයේ ඔහුගේ සාර්ථකත්වය ඉක්මණින් උදාවිය.

සුෂාන්ත්ගේ ජීවිත වෘත්තාන්තය කුඩා ඉන්දීය නගරවල තරුණයන්ගේ අභිලාෂයන් දල්වාලීමට හේතුවූ අතර ඔහුගේ මරණය පෞද්ගලික පාඩුවක් ලෙස බොහෝ දෙනෙකුට දැනීමට එය හේතුවක් විණි.

සුෂාන්ත්ගේ මරණය මතභේදයට තුඩුදුන්නේ ඇයි ?

සුෂාන්ත් සියදිවි හානිකර ගත්තේනම්, ඔහු එවැනි තීරණයක් ගනු ලැබීමට බල පෑ හේතුව කුමක්ද යන්න දැනගැනීමට ඔහුගේ මරණය නිසා බලවත් කම්පාවට පත්ව සිටින සිනමාලෝලීහු බලා සිටිති. ඔහුගේ සිනමා ජීවිතය, මූල්‍ය තත්ත්වය, ඔහු පැවැත්වූ සම්බන්ධතා මෙන්ම ඔහුගේ මානසික සෞඛ්‍යයට අදාළ තොරතුරු පවා සමාජ මාධ්‍ය ජාලයන්හි හුවමාරු වෙමින් පවතින අතර ප්‍රවෘත්ති ප්‍රකාශනයන්හි එය විවාදයක මට්ටමක් ගෙන ඇත.

සියල්ල නිරාවරණය කරගැනීම සඳහා කරුණු සෙවීමේ දී කිසිවකු අත්හැර දමනු ලැබ නැත. සාකච්ඡා සහ විශේෂ වැඩසටහන් සඳහා සුෂාන්ත්ට ප්‍රතිකාර කළ විශේෂඥයා, ඔහුගේ පැරණි අරක්කැමියා, මිතුරන්, ඔහුගේ කළමනාකරු, පවුලේ සාමාජිකයන් සහ වෘත්තීය සගයන් යන සියලුදෙනා සහභාගී කරගනු ලැබ ඇත.

මේ අතර පොලිසිය මාධ්‍යය සඳහා ''ටික ටික'' කරුණු ඉදිරිපත් කිරීමත් සමඟ සිදුවුණේ සුෂාන්ත්ගේ මරණය සමඟ බැඳුනු ගුප්ත ස්වභාවය තවත් අබිරහස් මුහුණුවරක් ගැනීමය.

sanje ,sushanth

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංජේ ලීලා භන්සාලි මුම්බායි පොලිසිය විසින් ප්‍රශ්න කරන ලද එක් බොලිවුඩ් අධ්‍යක්‍ෂවරයෙකි

බොලිවුඩ් සිනමාවේ බලවත් පවුල් අතලොස්ස සහ අධ්‍යක්‍ෂවරුන් සුෂාන්ත්ට සලකන ලද අසාධාරණ ආකාරය ඔහුගේ සියදිවි හානිකර ගැනීමට හේතු වී යැයි පැවසෙන ප්‍රකාශන සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන ඇතැමුන් එම මරණය සිදුවූ දිනවල ප්‍රකාශ කර තිබිණි.

ඔවුන්ගේ ප්‍රකාශන මගින් කියැවුනේ ''සුෂාන්ත් බොලිවුඩ් සිනමාවට පිටස්තරයකු වූ අතර ඔහුට ''ඇපකාර පියවරුන්''("godfather") නොවූ බවය. එම සමාජ මාධ්‍ය ජාල ප්‍රකාශන අනුව ''සුෂාන්ත්ගේ සිනමා සම්ප්‍රාප්තිය සහ ඔහු ''තරුවක්''බවට පත්වීම බොලිවුඩ් සිනමාවේ මුල්බැසගත් ''පෙළපත්වලට'' (dynasties) දරාගත නොහැකි වී ඇත.

විශාල මුදල් සම්භාරයක් ආයෝජනය කරමින් නිපදවනු ලබන බොලිවුඩ් සිනමා නිර්මාණවල චරිත සඳහා සුෂාන්ත් තෝරාගනු ලැබීමෙන් පසු ඔහු කොන් කෙරෙමින් පැවති බවට පළවෙමින් තිබුණ මෑත වාර්තා කෙරෙහි මෙහිදී ඔවුහු අවධානය යොමු කරවති.

බොලිවුඩ් නළුවාගේ මරණයට මුල්වූ හේතුව කුමක් වීද යන්න සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇත. සියදිවි හානිකර ගැනීමකට උදව්දීමේ චෝදනා යටතේ නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි වේදැයි සොයා ගැනීම සඳහා පොලිසිය බොලිවුඩ් සිනමා කර්මාන්තයේ නිරත පනහකට අධික පිරිසකගෙන් ප්‍රශ්න කරනු ලැබ ඇති බව ද වාර්තා වේ.

sushath ,bihar

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් විභාගයක් ඉල්ලා සිටින බිහාරයේ කොංග්‍රස් පාක්‍ෂිකයන්

ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ජාලයේ පළ වූ විවේචන ප්‍රතිප්‍රකාශ සමඟ බරපතල තත්ත්වයකට හැරී පවතී.

එපරිද්දෙන් විවාදය දිග්ගැසෙමින් පවතිද්දී ඇතැම් මාධ්‍ය ජාල සුෂාන්ත් සින් රාජ්පුත්ගේ පෙම්වතිය වූ සිනමා නිළි රියා චක්‍රබෝති (Rhea Chakraborty) දෙස ඔවුන්ගේ අවධානය යොමුකරමින් ඇත.

කියවන්න ;