සුෂාන්ත් සිං රාජ්පුත්: බොලිවුඩ් නළුවාගේ මරණය නිසා මානසික සෞඛ්‍යය ගැන අලුත් කතාබහක්

Bollywood actor Sushant Singh Rajput during the promotion of his film Detective Byomkesh Bakshy at HT's Fever office, on April 1, 2015 in Mumbai, India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමග මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් යළිත් වරක් සංවාදයක් මතුවෙමින් තිබේ.

34 හැවිරිදි සුෂාන්ත් මුම්බායිහි ඔහුගේ නිවසේදී මරණයට පත්ව සිටියදී ඉරිදා (ජූනි 14) සොයා ගැනුණු අතර එය සියදිවි නසා ගැනීමක් බව පොලිසිය සැක කරයි.

මෙම ප්‍රවෘත්තිය සැලවීමත් සමග සිනමා රසිකයින් සහ බොලිවුඩ් නළු නිළියන් සංවේගය පළ කළ අතර, එම අදහස් මානසික සෞඛ්‍යය සහ විෂාදය පිළිබඳ සාකච්ඡාවලට පරිවර්තනය වන්නට විය.

තමන් විෂාදයෙන් පීඩා විඳි බව ප්‍රසිද්ධියේ හෙළි කළ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පැවසුවේ, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවය.

"කතා කරන්න. සන්නිවේදනය කරන්න. ඔබේ හැඟීම් කියන්න. උදව් ලබා ගන්න," ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබා තිබිණි. "මතක තබා ගන්න, ඔබ තනිවෙලා නැහැ. අපිත් ඔබ සමග ඉන්නවා. වැදගත්ම දේ අපට බලාපොරොත්තුවක් තියෙනවා."

Skip YouTube post
Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of YouTube post

PK හින්දි සිනමා පටයේ සුෂාන්ත් සිං සමග රඟ පෑ අනුෂ්කා ෂර්මා සටහන් කර තිබුණේ, "ඔබ මුහුණ දුන් කිසි ම කරදරයකදී උපකාර කිරීමට නොහැකි වූ පරිසරයක ජීවත් වීම පිළිබදව ඉතා ම කනගාටුවට පත් වන," බවය.

මානසික සෞඛ්‍යය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිවීම සහ ඒ සම්බන්ධයෙන් පවතින බාධා හේතුවෙන්, ඉන්දියාව තුළ මානසික සෞඛ්‍යය පිළිබඳව කතා කිරීම කෙතරම් දුෂ්කර ද යන්න සම්බන්ධයෙන් තවත් විශාල පිරිසක් අදහස් පළ කර තිබිණ.

"ඉන්දියාව තුළ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තියෙන්නේ, ගොඩක් දුරින්. සුෂාන්ත්ගේ මරණය ගැන වැළපෙන බොහෝ දෙනෙකු, සාමාන්‍ය පුද්ගලයෙකු එසේ කළ විට හාස්‍යයට ලක් කිරීම හෝ ඕපාදූප කීම සිදු කරනවා," The Indian Express පුවත්පතේ සංස්කාරකවරයෙකු වන රාහුල් සබර්වාල් ට්විටර් ඔස්සේ සටහන් කර තිබිණි.

තවත් සමාජ මාධ්‍ය භාවිත කරන්නෙකු වන නොරීන් වෝසර් පැවසුවේ, "සීමා ඉවත දමා මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් මීට වඩා ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු" බවය. "ඔබ විෂාදයෙන් පෙලෙනව නම් ඔයා ම ඒකෙන් මිදෙන්න - කියන මානසිකත්වයෙන් මිදිය යුතුයි," යනුවෙන් ද ඇය පැවසීය.

ඉන්දියාවේ මානසික සෞඛ්‍ය නීති සහ ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය සෞමිත්‍ර පතාරේ බීබීසී පුවත් සේවයට පැවසුවේ, විෂාදය සහ සිය දිවි නසා ගැනීම් පිළිබඳව සංවාදයක් ඇති කිරීම වැදගත් වන බවය.

"එක්සත් රාජධානියේ සහ යුරෝපයේ සිදුවන සිය දිවි නසා ගැනීම්වලින් 80%කට බලපාල තියෙන්නේ විෂාදය බව පර්යේෂණ දත්තවලින් අනාවරණය වෙලා තියෙනවා. ඒත් ඉන්දියාව වගේ රටවල සිය දිවි නසා ගැනීම්වලට බලපාන වෙනත් හේතු රැසක් තියෙන්න පුළුවන්," ඔහු පැවසීය.

ඉන්දියාව තුළ ද සිය දිවි හානි කර ගැනීමට බලපාන කරුණු එකිනෙකට වෙනස් විය හැකි බව ද ඔහු සදහන් කළේය.

"උදාහරණයක් විදිහට තරුණියන්ගේ මරණයන්ට වැඩියෙන් ම බලපාන සාධකය සිය දිවි නසා ගැනීම්. මේ සඳහා බලපාන ප්‍රධාන කාරණය ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. අවුරුදු 18ට වඩා අඩු අයට බලපාන්නේ විභාග පීඩනය. ඒ වගේ ම ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවියන්ට බලපාල තියෙන්නේ ආර්ථික දුෂ්කරතා," ඔහු පැවසීය.

ඉන්දියාවේ ජනප්‍රිය සිනමා සහ රූපවාහිනී රංගන ශිල්පියෙකු වූ සුෂාන්ත් වැඩි ම ජනප්‍රියත්වයට පත් වූයේ, MS Dhoni: The Untold Story චිත්‍රපටයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතයට පණ පෙවීම හේතුවෙනි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (ජුනි 15) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබිණි.

කියවන්න: