ක්‍රිසෑන් පෙරෙයිරා: බොලිවුඩ් නිළියක මත්ද්‍රව්‍ය ජාවාරමකට පැටලූ හැටි

Chrisann Pereira

ඡායාරූප මූලාශ්‍රය, Chrisann Pereira

ඡායාරූප ශීර්ෂ වැකිය, 'සඩක් 2' සහ 'බට්ලා හවුස්' යන බොලිවුඩ් චිත්‍රපටවල ක්‍රිසෑන් පෙරෙයිරා දැකගත හැකි විය
    • Author, ගීතා පාණ්ඩේ
    • Role, බීබීසී පුවත්, දිල්ලි

නැගී එන බොලිවුඩ් නිළි ක්‍රිසෑන් පෙරෙයිරාට අත්විඳින්නට සිදු වූ දෙය, ත්‍රාසජනක බොලිවුඩ් චිත්‍රපටයක කතා වස්තුවට සමාන ය.

බොලිවුඩ් චිත්‍රපට වන 'සඩක් 2' සහ 'බට්ලා හවුස්'හි සුළු චරිත නිරූපණය කර ඇති 27 හැවිරිදි ඇය, අප්‍රේල් පළමුදා බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා වෙත ගියේ බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන ය.

ජාත්‍යන්තර වේදිකාවක ප්‍රදර්ශනය කෙරෙන වෙබ් කතා මාලාවක සිත්ගන්නාසුළු චරිතයක් සඳහා ඇය තිර පරීක්ෂණයකට ලක් කෙරෙතැ යි ක්‍රිසෑන්ට පවසා තිබූ බව, ඇගේ සොහොයුරා කෙවින් බීබීසීයට පැවසීය.

නමුත් සාජා සංචාරය ඇයට සහ ඇගේ පවුලේ අයට බියකරු සිහිනයක් විය. ඒ, ඇය රැගෙන ගිය සමරු තිළිණයක් මත්ද්‍රව්‍යවලින් පිරී තිබීම නිසා ඇයව අත්අඩංගුවට ගෙන සිරගත කිරීම හේතුවෙනි.

සති තුනකට පසු, ක්‍රිසෑන් මෙම වරදට පටලැවීමේ චෝදනා මත මුම්බායි පොලිසිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය නිදහස් කරන ලදී. ඉන්දියාවට පැමිණීම සඳහා ගමන් බලපත්‍රය ඇය වෙත ලබාදෙන තුරු ඇය එහි රැඳී සිටිනබව කෙවින් පැවසීය.

මෙම සිද්ධිය විමර්ශනය කළ නිලධාරී කණ්ඩායමේ සිටි මුම්බායි අපරාධ අංශයේ පොලිස් නිලධාරියෙකු බීබීසීයට පැවසුවේ, මත්ද්‍රව්‍ය සැපයූ බවට සැක කෙරෙන තෙවැනි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන සිරගතකර ඇති බව ය.

"මේක, මේ සිද්ධියේ ප්‍රධාන චූදිතයා, ඒ කියන්නේ, බේකරි හිමිකරුවෙකු වන, ඇන්තනි පෝල් විසින් සැලසුම් කරන ලද පළිගැනීමක්. 'රවී ජයින්', 'ප්‍රසාද් රාඕ' වගේ අන්වර්ථ නම්වලින් හඳුන්වන එයාගේ බැංකු මිතුරෙකු වන රාජේෂ් දමෝදර් බෝභාටේගේ උදව්වෙන් කරපු දෙයක්," එම නිලධාරියා පැවසීය.

ඔවුන් දෙදෙනා මීට පෙර ද මෙවැනි ම ආකාරයෙන් තව ත් පුද්ගලයන් සිව්දෙනෙකු අපරාධවලට පටලවා ඇති බව ත්, ඔවුන්ගෙන් එක් අයෙකු, එනම්, ක්ලේටන් රොඩ්‍රිගස් නමැත්තා තව ම ත් සාජාහි සිරගතව සිටින බව ත් විමර්ශනවලින් අනාවරණය වූ බව ඔහු පැවසීය.

සිරගතව සිටින බැවින් පෝල් සහ බෝභාටේ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැත. නමුත් පෝල්ගේ නීතීඥ අජේ දූබේ ඔහුට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ඒවා "සම්පූර්ණයෙන් ම අසත්‍ය සහ පටු අදහසකින් කළ" චෝදනා ලෙස හඳුන්වයි. ඔහු තම සේවාදායකයා "රැවටීම" සම්බන්ධයෙන් බෝභාටේට දොස් පැවරූ අතර, අදාළ සමරු තිළිණය සමග ඔහුට [පෝල්] කිසිදු සම්බන්ධයක් නොමැති බව පැවසීය.

නමුත් බෝභටේගේ බිරිඳ වන සොනාල් බීබීසීයට පැවසුවේ තම සැමියා මේ සඳහා "පටලවා" ඇත්තේ පෝල් බව ය.

Kevin Pereira with his sister Chrisann

ඡායාරූප මූලාශ්‍රය, Kevin Pereira

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙවින් පෙරෙයිරා පවසන්නේ, තම සොහොයුරිය 'ඔඩිෂන්' එක වෙනුවෙන් සූදානම් වෙමින් සිටි බව ත්, "මෙම අනගි අවස්ථාව ගැන ඇත්තෙන් ම සතුටට පත් වූ බව ත්" ය

ක්‍රිසෑන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බවට පත් වූ ආකාරය පිළිබඳව කෙවින් විසින් විස්තර කරන ලද කතාව ඇදහිය නොහැකි තරම් සංකීර්ණ ය.

ඔහු පවසන්නේ, මාර්තු 23 වන දා ඔවුන්ගේ මව වන ප්‍රමිලා පෙරෙයිරාට එක්තරා පුද්ගලයකුගෙන් පණිවිඩයක් ලැබුණු බව ය. ඔහු ඇය උත්සවයක දී හමුවී ඇති බව ත්, ඔහු වෙබ් කතා මාලාවක් සඳහා අරමුදල් සපයන බව ත්, එහි රඟපෑම සඳහා ඇගේ දියණිය යෙදවීමට අවශ්‍ය බව ත් ප්‍රමිලා පෙරෙයිරාට පවසා තිබුණි.

"ක්‍රිසෑන් එයාව හම්බ වුණාට පස්සේ එයාට කියල තිබුණා ඔඩිෂන් එකට ඩුබායි යන්න වෙනවා කියලා. ඒත් එයා ටිකට් එව්වම, ඒ එවල තිබුණේ සාජාවලට."

කෙවින් පවසන්නේ, තමන් "බොහෝ සෙයින් වංචා ගැන අසා ඇති බැවින් පරිස්සම් වන්නැ"යි තම සහෝදරියට පැවසුව ද, "ඇගේ සිතට සැකයක් හෝ නොදැනුණු" බව ය.

"එයා ඔඩිෂන් එකට ලෑස්ති වෙමින් හිටියේ. මේ වගේ වටින අවස්ථාවක් ලැබුණ එක ගැන එයා හරි ම සතුටින් හිටියේ," ඔහු පවසයි.

ඇගේ ගුවන් ගමනට පැය කිහිපයකට පෙර ක්‍රිසෑන්ට එම පුද්ගලයාගෙන් ම යළි ත් දුරකතන ඇමතුමක් ලැබුණු බව ත්, ගුවන් තොටුපළට යන අතරමඟ දී ඔහු හමුවන ලෙස ඇගෙන් ඉල්ලා සිටි බව ත් කෙවින් පවසයි. එහිදී ඔහු ඇයට සමරු තිළිණයක් ලබා දී එය සාජාහි සිටින ඔහුගේ මිතුරෙකුට දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

තම සහෝදරිය විශාල කරදරයක පැටලී සිටින බව එවිට ඔහුට වැටහුණේයැ යි, මීට පෙර ගුවන් සමාගමක සේවය කර ඇති කෙවින් පවසයි.

"මම එයාට කිව්වා වහා ම ගුවන් තොටුපළ පොලිසියට ගිහින් සියල්ල කියන්න කියාලා. එතැනින් පස්සේ දවස් 17ක් අපට ක්‍රිසෑන්ව සම්බන්ධ කර ගන්න බැරි වුණා."

ඇගේ පවුලේ සාමාජිකයින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ අතර, ඉන් පසුව පැමිණි දින කිහිපය තුළ ඔවුහු අගමැති, විදේශ කටයුතු අමාත්‍යංශය සහ සාජාහි ඉන්දීය කොන්සල් කාර්යාලයට උපකාර ඉල්ලා ඊමේල් 15ක් ලියූහ.

"ක්‍රිසෑන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම නිසා සාජා මධ්‍යම බන්ධනාගාරයේ රඳවලා ඉන්නවා කියලා අවසානයේ අපට ඉන්දීය කොන්සල් කාර්යාලය හරහා තහවුරු කර ගන්න පුළුවන් වුණා. අපි ගූගල් කරලා බලද්දි තමයි වාර්තාවලින් දැනගත්තේ, ඒ වගේ වරදකට මිනිස්සුන්ට අවුරුදු 25ක සිරදඬුවමක් හෝ මරණ දඬුවමක් පවා දෙන්න පුළුවන් කියලා. ඒක අපේ ගෙදර මහා කලබලයක් ඇති කරන්න හේතු වුණා."

Presentational white space
The trophy Chrisann was given to carry to Sharjah

ඡායාරූප මූලාශ්‍රය, Kevin Pereira

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිසෑන් පෙරේරාට සාජා වෙත රැගෙන යාමට ලබා දෙන ලද සමරු තිළිණය
Presentational white space

ක්‍රිසෑන් අත්අඩංගුවට ගැනීමෙන් සතියකට පසු, පවුලේ බලාපොරොත්තු සුන්වීම දිනෙන් දින වැඩෙද්දී, කෙවින් ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ උදව් ඉල්ලීමට තීරණය කළේ ය. අවසානයේ දී එමඟින් ඔහුට වෙනත් යමක් සොයා ගැනීමට හැකි විය.

ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් සටහනට පුද්ගලයින් හතර දෙනෙකු ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ තමන් ද එවැනි ම ආකාරයේ ගැටලුවකට මුහුණ දුන් බව ය. ක්‍රිසෑන්ට සමරු තිළිණය දුන් අදාළ නම ඇති පුද්ගලයා ම මැද පෙරදිගට ගෙන යාම සඳහා ඔවුන්ට සැක කටයුතු භාණ්ඩ ලබා දුන් බව ඔවුන් සියල්ලන් ම සඳහන් කර තිබුණි.

ඒ අනුව, කෙවින් සහ තව ත් වින්දිතයින් කිහිප දෙනෙකුගේ පවුලේ සාමාජිකයින් පොලිසිය හමුවට ගිය අතර අපරාධ අංශය ඒ පිළිබඳව විමර්ශනය කිරීම ඇරඹීය.

මෙම සිද්ධි පහ තුළ ම "පෞද්ගලික කෝණයක්" තිබූ අතර, පෝල් තමාට ගොදුරු වූ සියල්ලන් ම දන්නා බව ත්, ඒ සියල්ල පෞද්ගලික කෝන්තර පිරිමැසීම සඳහා සිදුකර ඇති බව ත් පොලිසිය පවසයි.

ඔහු සහ ක්‍රිසෑන්ගේ මව අතර වීදි සුනඛයින් සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමකින් පසු, මීට වසරකට පෙර දී තමා පළිගැනීමේ සැලසුම ආරම්භ කළ බව පෝල් පැවසීයැ යි පොලිසිය පවසයි.

එම සිදුවීමෙන් පසු යම් කලක් ගත වී සියල්ල සමථයට පත්ව තිබුණු බව ත්, පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව අප්‍රේල් 24 වන දා ඔවුන්ගේ අරමුණෙහි ස්වභාවය පිළිබඳව ප්‍රකාශ කරන තුරු ක්‍රිසෑන් මෙම ජාවාරමට පැටලුවේ මන්දැ යි තමන් නොදැන සිටි බව ත් පෙරෙයිරා පවුල කියා සිටියි.

පෙරෙයිරා පවුල තව ම ත් මෙම නපුරු සිහිනයේ නිමාවක් දැක නැත.

"මම හැම වෙලේ ම දැනගෙන හිටියා මගේ සහෝදරිය නිර්දෝෂියි කියල ත්, ඇත්ත එළිවේවි කියල ත්. ඒත් අපි මොන තරම් මානසික වධ හිංසාවක් විඳිනවා ද කියලා ඔබට හිතාගන්නව ත් බැහැ. මගේ සහෝදරිය හිරෙන් නිදහස් වෙලා ආවා. එයා දැන් ආරක්ෂිත යි. ඒත් අපි දන්නේ නෑ නඩුව කවදා ඉවර වේවි ද, එයා කවදා ආපහු ගෙදර ඒවි ද කියලා," කෙවින් පවසයි.

ඔහු තව දුරට ත් සඳහන් කළේ, මෙම සිදුවීමෙන් ක්‍රිසෑන් දැඩි කම්පනයට පත් වී සිටින බව ය.

"එයා කම්පනයට පත් වෙලා ඉන්නේ. එයාට දරා ගන්න බෑ, මේ වගේ දෙයක් කෙනෙක් එයාට කොහොම ද කළේ කියන එක. අපි එයාට හයියක් වෙන්න උත්සහ කරනවා. ඒත් එයා අපහු ගෙදර එනකම් මම හිතන්නේ නෑ අපිටව ත් එයාටව ත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් වේවි කියලා."