ලිංගික අපයෝජන චෝදනාවලින් ඉන්දීය සිනමා කර්මාන්තය කැළඹෙයි

Siddique at the AMMA press conference on 23 August, with Jayan R on the left and actress Jomol on the right

ඡායාරූප මූලාශ්‍රය, Press Trust of India

ඡායාරූප ශීර්ෂ වැකිය, රංගන ශිල්පී සිද්දීක් (මැද) ඔහුට එරෙහිව එල්ල වූ ලිංගික අපයෝජන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ
    • Author, ඉම්රාන් කුරේෂි
    • Role, බීබීසී හින්දි, බෙංගලූරු

චෝදනා, ඉල්ලා අස්වීම්, පොලිස් පැමිණිලි.

පසුගිය සතියේ සිට දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුවත් සිරස්තලවල ආධිපත්‍යය මෙම වචන කාර්යබහුල සිනමා කර්මාන්තයක් කැළඹීමට සමත් වී තිබේ.

සිනමා ක්ෂේත්‍රයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලූ සුවිශේෂී වාර්තාවක් පසුගිය සතියේ නිකුත් වීමෙන් පසු, ඉහළ පෙළේ පිරිමි සිනමා තරුවලට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා රාශියක් එල්ල වෙමින් තිබේ.

වසරකට මලයාලම් භාෂා චිත්‍රපට 150-200ක් පමණ නිෂ්පාදනය කරන මෙම කර්මාන්තය, ඉන්දියාව තුළ ගොඩනැගෙමින් පවතින, වඩාත් විචාරක පැසසුමට ලක්වූ සහ ප්‍රගතිශීලී සිනමාවක් බවට පත්ව ඇති දැවැන්ත ව්‍යාපාරයකි.

එහෙත්, හේමා කමිටුව නමැති ත්‍රිපුද්ගල කමිටුවක් විසින් නිකුත් කරන ලද පිටු 290කින් යුත් වාර්තාව මගින් මලයාලම් සිනමා කර්මාන්තයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු, දුර්වල සේවා තත්ත්වයන් සහ අධික ලිංගික හිංසන ඇතුළු කරුණු පිළිබඳව විස්තර කර ඇත. අපයෝජනවලින් බේරුණු අයගේ මෙන් ම හිරිහැර කළ බවට චෝදනා ලැබූ අයගේ අනන්‍යතාව සැඟවීමට වාර්තාවේ කොටස් නැවත සකස් කර ඇත.

එම වාර්තාව නිකුත් කිරීමෙන් පසු, රංගන වෘත්තියෙන් සමුගත් රංගන ශිල්පිනියන් ඇතුළු කාන්තාවන් රැසක් සිනමා කර්මාන්තය තුළදී තමන් මුහුණ දුන් ලිංගික අතවර සහ හිරිහැර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් පළ කර තිබේ.

රංගන ශිල්පීන් කිහිප දෙනෙකුට එරෙහිව පොලිස් පැමිණිලි රැසක් ගොනු කර ඇති අතර, ඒ අතරින්, රංගන ශිල්පීන් දෙදෛනකු ඔවුන්ට එල්ල වූ පැමිණිලිවලට විරුද්ධව පැමිණිලි ගොනු කර ඇත.

මෙම කැළඹීම කෙතරම් විශාල ද යත්, ප්‍රාන්තයේ විශාලතම චිත්‍රපට කණ්ඩායම වන මලයාලම් චිත්‍රපට ශිල්පීන්ගේ සංගමයේ (AMMA) සභාපති, සුපිරි නළු මෝහන්ලාල්, එහි සාමාජිකයින් කිහිප දෙනෙකු චෝදනාවලට ලක්වීම නිසා "සදාචාරාත්මක හේතු මත" ඉල්ලා අස්වීමෙන් පසුව එම සංගමයේ නිලධාරී මණ්ඩලය විසුරුවා හැරිණි.

"මේක නිකං අයිස් කන්දේ මුදුන විතර යි. මේ වෙනකම් කතා කරලා තියෙන්නේ කිහිප දෙනා යි. මීට වඩා බරපතළ සිද්ධි එළියට ඒවි," රංගන ශිල්පිනී මාලා පාර්වතී බීබීසී හින්දි සේවයට පැවසුවා ය.

පළමු වරට ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෙම වාර්තාව, බොලිවුඩ් ඇතුළු ඉන්දියාවේ බොහෝ සිනමා කර්මාන්තවල නියැළී සිටින පුද්ගලයින් විසින් දක්වන ප්‍රතිචාරයන් සමීපව නිරීක්ෂණය කර තිබේ. #MeToo ව්‍යාපාරය අතරතුර, කාන්තාවන් කිහිප දෙනෙකු විවිධ ප්‍රාන්තවල නළු නිළියන්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට ලිංගික හිංසන චෝදනා ඉදිරිපත් කර ඇති නමුත් විමර්ශන සිදු කර ඇත්තේ, ඒවායින් කිහිපයක් සම්බන්ධයෙන් පමණි.

Members of the WCC pose together in 2020

ඡායාරූප මූලාශ්‍රය, Women in Cinema Collective/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම වාර්තාව නිකුත් කිරීමට මූලික වූ Women in Cinema Collective (WCC) සංවිධානය පිහිටුවීමට හේතු වූයේ, 2017 වසරේදී නිළියකට පහර දීමේ සිද්ධියකි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2017 වසරේ ප්‍රමුඛ පෙළේ නිළියකට සිදු වූ කම්පනයක් ඇති කළ ලිංගික අතවර සිද්ධියෙන් පසුව, කේරළ මහාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාන්ත රජය හේමා කමිටුව පිහිටුවන ලදී. කේරළයේ දැවැන්ත රංගන ශිල්පියෙකු වන දිලීප්, පොලිසිය විසින් චූදිතයෙකු ලෙස නම් කරන ලද අතර සාපරාධී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළ ද, අත්අඩංගුවට ගැනුණු අතර, ඇප මත මුදා හැරීමට පෙර මාස තුනක කාලයක් රඳවා තැබිණි. එම නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

වාර්තාව එළිදැක්වීමෙන් පසු, පළමු ප්‍රසිද්ධ චෝදනාව එල්ල කරන ලද්දේ, වසර කිහිපයකට පෙර තමාට ලිංගික අතවර කළ බවට සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක රංජිත්ට එරෙහිව චෝදනා කළ බෙංගාලි නිළි ශ්‍රීලේඛා මිත්‍රා විසිනි. ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ද, ප්‍රාන්තයේ කීර්තිමත් සිනමා අධ්‍යයන ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය. මිත්‍රා පොලිස් පැමිණිල්ලක් ද ගොනු කළා ය.

තවත් බොහෝ පැමිණිලි මගින් හේමා කමිටු වාර්තාවේ නම් සඳහන් නොකළ කාන්තාවන් විසින් කරන ලද ඇතැම් හෙළිදරව් කිරීම් මගින් හෙළිවන්නේ, අවස්ථා ලබා ගැනීම සඳහා "එකඟවීමට" සහ "අනුගත වීමට" දිගින් දිගට ම බල කෙරුණු බව ය.

මීනු මුනීර් බීබීසී හින්දි සේවයට මෙන් ම තවත් පුවත් නාලිකා කිහිපයකට පවසා තිබුණේ, චිත්‍රපටයක් රූගත කරමින් සිටින අතරතුර රංගන ශිල්පියෙකු තමන්ගේ කැමැත්තකින් තොරව ඇය වැළඳගෙන සිප ගත් බව ය. ප්‍රකට නළුවෙකු සහ මන්ත්‍රීවරයෙකු වන මුකේෂ් ඇතුළු කර්මාන්තයේ අනෙක් වෘත්තිකයන් විසින් කරන ලද ලිංගික අපචාර පිළිබඳ සවිස්තරාත්මක අවස්ථා සම්බන්ධ තොරතුරු ද ඇය සතුව ඇත.

තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් මුකේෂ් චෝදනා කළේ, මුනීර් තමන්ව බ්ලැක්මේල් කිරීමට උත්සහ කරන බවට ය.

"මට සහ චිත්‍රපට ක්‍ෂේත්‍රයේ අනෙක් අයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කෙරෙන ඕනෑ ම පරීක්ෂණයක් මම කැමැත්තෙන් භාර ගන්නවා," යනුවෙන් ඔහු ෆේස්බුක්හි සටහනක් තබා තිබිණි.

A still from The Great Indian Kitchen

ඡායාරූප මූලාශ්‍රය, Jeo Baby

ඡායාරූප ශීර්ෂ වැකිය, මලයාලම් සිනමා කර්මාන්තය The Great Indian Kitchen වැනි විචාරක පැසසුමට ලක්වූ චිත්‍රපට නිෂ්පාදනය කර තිබේ

මධ්‍යම රාත්‍රියේ සිය හෝටල් කාමරයේ දොරට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු තට්ටු කළ බවට රංගන ශිල්පිනියන් දෙදෙනෙකු චෝදනා කර තිබේ. එම අධ්‍යක්ෂවරයා අදාළ චෝදනාවලට ප්‍රතිචාර දක්වා නැත.

ජනප්‍රිය නළු සිද්දීක් 2016 වසරේදී තමාව දූෂණය කළ බවට චෝදනා කරමින් රංගන ශිල්පිනියක ඔහුට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනු කර තිබේ. එම චෝදනාවලින් පසු මලයාලම් චිත්‍රපට ශිල්පීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වූ සිද්දීක් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් චෝදනා කළේ, පැමිණිලිකාරිය තමන්ගේ "කීර්තියට හානි කිරීමට" උත්සහ කරන බවට ය.

එවැනි කමිටුවක් පිහිටවූ පළමු ප්‍රාන්තය බවට කේරළ රජය පැසසුමට ලක්වුව ද, එහි වාර්තාව නිකුත් කිරීමට කල්මරමින් සිටියේ ය.

2019 වසරේදී භාර දෙන ලද වාර්තාව, වසර පහකට ආසන්න ප්‍රමාදයකින් සහ චිත්‍රපට කර්මාන්තයේ සාමාජිකයින්ගේ බහුවිධ නීතිමය අභියෝගවලින් පසු පසුගිය සතියේදී නිකුත් කරන ලදී. එවිට රජය ප්‍රකාශ කළේ, පොලිසියේ ගොනු කර ඇති සියලු ම පැමිණිලි විමර්ශනය කරන අතර, තමන් විසින් කිසිදු නඩුවක් විභාග නොකරනු ලබන බව ය. කෙසේ වෙතත්, පීඩනය වැඩි වීමත් සමග පැමිණිලි විමර්ශනය කිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.

මේ අතර, ඉවත් කරන ලද පිටු 54 ද ඇතුළත් කර සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස ප්‍රාන්ත රජයට කේරළ මහාධිකරණය නියෝග කර තිබේ.

Mammootty and Jyothika
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ආන්දෝලනය පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් නොදැක්වීම ගැන මම්මූටි (දකුණේ) වැනි සුපිරි සිනමා තරු විවේචනයට ලක්වී තිබේ

මලයාලම් චිත්‍රපට කර්මාන්තය තුළ එම වාර්තාව සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර පළවී ඇත. මෝහන්ලාල් සහ මම්මූටි වැනි සුපිරි තරු ඒ පිළිබඳව තවමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නොකිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබේ.

ඇතැම් නළු නිළියන් වාර්තාව පිළිගෙන ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. ප්‍රධාන පෙළේ චිත්‍රපට සේවක සංගමයක් රජයෙන් ඉල්ලා ඇත්තේ, වාර්තාවේ චූදිතයන්ගේ නම් හෙළි කරන ලෙස ය.

වාර්තාව මගින් ක්ෂේත්‍රයේ සියලු පිරිමින් අපයෝජකයින් ලෙස හංවඩු ගසන බවට තවත් පිරිසක් මැසිවිලි නගා තිබේ.

එහෙත්, බොහෝ අය තර්ක කර ඇත්තේ, වාර්තාව සහ පසුව ඇති වූ කැළඹීම, ප්‍රගතිශීලී චිත්‍රපට සැකසීමට ප්‍රසිද්ධියක් උසුලන කර්මාන්තයක අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකිරීම සඳහා ධනාත්මක පියවරක් ලෙස ය.

"‘මලයාලම් කර්මාන්තය හොඳට ම කුණු වෙලා’ කියලා මිනිස්සු කියන එකට මම එකඟ නැහැ'. අපි ඇතුළෙන් හොඳ යි. ඒක යි ඒක නිවැරදි කරමින් ඉන්නේ," 2017 වසරේ නිළියකට පහර දීමේ සිද්ධියෙන් පසුව පිහිටුවන ලද, Women in Cinema Collective සංවිධානයේ ආරම්භක සාමාජිකාවක වන රංගන ශිල්පිනී පාර්වතී තිරුවෝතු ප්‍රවෘත්ති නාලිකාවකට පැවසීය.

"කිසිවක් නෑසෙන" කර්මාන්ත ගැන ජනතාව "සැලකිලිමත්" විය යුතු බව ඇය වැඩිදුරටත් පැවසීය.

අතිරේක වාර්තාකරණය: මෙරිල් සෙබසිතියන් (දිල්ලි)