ධුරයෙන් ඉල්ලා අස්වන බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.කේ. විජේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරන බවත් ඔහුගේ නීතිඥවරු විසින් අද (ඔක්තෝබර් 7 වනදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරල්වරයාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණි.
ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සමක් කැඳවනු ලැබුණි.
එහිදී වගඋත්තරකාර අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා යලිත් අධිකරණ සේවයට එක්වීමට තීරණය කර ඇති බවත් ඒ අනුව ඔහු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් සඳහන් කළේය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය, සමාජ ක්‍රියාකාරිකයකු වන විදුර රැළපනාව සහ මාධ්‍යවේදනී රුවනි ෆොන්සේකා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. ඒ.කේ විජේරත්න පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත එවක ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
නව දූෂණ විරෝධී පනත යටතේ පවරන නඩු අසාර්ථක වන්නේ ඇයි ?
අල්ලස හා දූෂණය තුරන් කිරීමේ අරමුණින් ඉකත් රජය විසින් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබීය.
ඒ අනුව අදාළ පනත 2023 වසරේ අගෝස්තු 8 වැනිදා සිට නීතියක් බවට බලාත්මක විය.
මෙම පනත ක්‍රියාවට නැංවීම සමඟම පැරැණි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සම්පූර්ණයෙන්ම අහෝසි වීමද සිදුවිය.
නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පුළුල් නීතිමය බලතල ලබා දී තිබේ.
මේ හේතුවෙන් පෙර පැවති තත්ත්වයකට වඩා අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට කොමිසමට පුළුල් නීතිමය බලයක් මෙන්ම ආවරණයක් ලැබී තිබෙන බව නීතිවේදීහූ පෙන්වා දෙති.
එහෙත් නව පනත යටතේ අල්ලස් කොමිසම විසින් පවරනු ලැබූ නඩු දෙකක් මුල් අවස්ථාවේදීම අසාර්ථක වීම සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් මතු විය.
එම නඩු අසාර්ථක වූයේ ඇයි ?
ග්‍රීක බැඳුම්කර සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ නඩුව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2012 වසරේ ග්‍රීක ආර්ථිකය අර්බුදයට ලක් වෙමින් පැවති අවස්ථාවේ ඒ බව දැන දැනම ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.84 පාඩුවක් කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නව දූෂණ විරෝධී පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.
එම නඩුව විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාරදීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවන ලදී.
එහිදී අධිකරණය විසින් විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාරදීමට සූදානම් වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍ර නීතියට පටහැනි බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කළහ.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චමින්ද අතකෝරාල මූලික විරෝධතා මතු කරමින් ස්වාමීනි.... නව දූෂණ විරෝධී පනත යටතේ චෝදනා පත්‍රවලට අත්සන් තැබීමේ බලය ලැබී තිබෙන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි. අලුතෙන් සම්මත කළ දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලැබුවේ ඉකුත් අප්‍රේල් මස 02 වැනිදා. නමුත් මේ විත්තිකරුවන්ට අදාළ අධි චෝදනා පත්‍රයට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්සන් කර තිබෙන්නේ මාර්තු මස 26 වැනිදා. ඒ අනුව මාර්තු මස 26 වැනිදා වන විට නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත්කර තිබුණේ නැහැ. පැරණි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි අලුත් පනත යටතේ අත්සන් කර තිබෙන්නේ. නව දූෂණ විරෝධී පනත සම්මත වූ වහාම පැරැණි අල්ලස් කොමිෂන් සභා පනත අහෝසි වී යනවා. ඒ සමගම පැරණි අල්ලස් කොමිෂන් සභා පනත යටතේ පත්කළ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ධූරයත් අහෝසි වී යනවා. ඒ අනුව පැරණි පනත යටතේ පත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අලුත් දූෂණ විරෝධී පනත යටතේ ඉදිරිපත් කරන අධි චෝදනා පත්‍රවලට අත්සන් කිරීමට හැකියාවක් නෑ.’ යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා ඒ අනුව අදාළ අධි චෝදනා පත්‍රය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ පැවසුවේ,‘මෙම විත්තිකරුවන්ට අදාල අධි චෝදනා පත්‍රයට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්සන් කර තිබෙන්නේ ඉකුත් මාර්තු මස 26 වැනිදා. එහෙත් නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කළේ අප්‍රේල් මස 02 වනදා. ඒ අනුව පැහැදිලි වන කාරණයක් තමයි මෙම අධි චෝදනා පත්‍රයට අත්සන් තබන අවස්ථාවේදී නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කර තිබුණේ නෑ කියන කාරණය. ඒ අනුව නව පනත යටතේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ර ධුරය පුරප්පාඩු වී පැවැති අවස්ථාවක තමා මේ අධි චෝදනා පත්‍රය අත්සන් කර අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. නව දූෂණ විරෝධී පනත සම්මත කිරීමත් සමගම පැරැණි අල්ලස් කොමිෂන් සභා පනත අහෝසි වී යනවා. ඒ අනුව පැරණි පනත යටතේ පත්කළ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ධූරයත් අහෝසි වී යනවා. පැරණි පනත යටතේ පත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නව පනත ක්‍රියාත්මක වනතුරු එම ධූරය දැරිය හැකි බවට කිසිදු අන්තර් කාලීන විධිවිධානයක් ඇතුළත්ව තිබුනෙත් නැහැ. ඒ නිසා පැරණි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව දූෂණ විරෝධී පනත යටතේ ඉදිරිපත් කරන අධි චෝදනා පත්‍රයකට අත්සන් තබා එය අධිකරණයට ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යි’ යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා පත්‍ර බල රහිත බවත් එම අධි චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන් නිදහස් කරන බවත් තීන්දු කළේය.
හිටපු මෝටර් රථ කොමසාරිස්වරයාට එරෙහිව ගොනුකර තිබූ නඩුව
නීති විරෝධී ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට දත්ත ඇතුළත් කොට වාහන ලියාපදිංචි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එවක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් මෙන්ම වත්මන් ඉඩම් කොමසාරිස් බන්දුල වීරසිංහට එරෙහිව අල්ලස් කොමිසම විසින් නව දූෂණ විරෝධී පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.
ඉන් අනතුරුව එම අධි චෝදනා පත්‍රය ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා එම අධි චෝදනා පත්‍රයේ විත්තිකරු වශයෙන් නම්කර සිටි හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් බන්දුල වීරසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය.
එහිදී හිටපු කොමසාරිස්වරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ හෆීල් ෆාරිස් ද කියා සිටියේ, නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලැබුවේ ඉකුත් අප්‍රේල් මස 02 බවත් පෙත්සම්කරුට අදාළ අධි චෝදනා පත්‍රය අත්සන් කළ අවස්ථාවේ නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත්කර නොතිබූ බව ය.
ඒ අනුව පැරණි අල්ලස් පනත යටතේ පත්කරන ලද අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙත්සම්කරුට එරෙහිව නව පනත යටතේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් නව දූෂණ විරෝධී පනතක් සම්මත කළ ද පැරණි අධ්‍යක්ෂ ජනරාල්වරයාට කටයුතු කිරීමට හැකියාවක් තිබෙන බව පෙන්වා දුන්නේය.
පෙත්සම්කාර පාර්ශවයේ ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බවත් එබැවින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ පැරැණි අල්ලස් කොමිෂන් සභා පනත යටතේ පත්කරන ලද අධ්‍යක්ෂ ජනරාල්වරයාට නව දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වනතුරු එම ධුරය දැරිය හැකි බවට සඳහන් කිසිදු අන්තර් කාලීන විධිවිධානයක් නීතිය තුළ දක්නට නොලැබෙන බව ය.
ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පැවැත්වීමට තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකාර හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ මහාධිකරණය හමුවේ හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට එරෙහිව ගොනු කළ නඩුවේ විභාගයද මේ වන විට අඩාල වී තිබේ.
'අධ්‍යක්ෂ ජනරල්වරයාගේ ක්‍රියා කලාපය අනුමත කරන්න බැහැ'
මේ පිළිබඳව බීබීසී සිංහල කළ විමසීමකදී කරුණු පැහැදිලි කළ මානව හිමිකම් ක්‍රියාකාරී නීතිඥවරයකු වන නීතිඥ නාමල් රාජපක්ෂ එවකට කියා සිටියේ ‘මේ නඩු අසාර්ථක වෙලා තිබෙන්නේ විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි නොමැතිවීම නිසා නෙවෙයි. තාක්ෂණික හේතු නිසා තමයි මේවා අසාර්ථක වෙලා තිබෙන්නේ. මෙහිදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නොසැලිකලිමත් ක්‍රියා කලාපය නිසා විත්තිකරුවන් නිදහස් වීම සිද්ධ වෙලා තියෙන්නේ.’ යනුවෙන් නීතිඥවරයා සඳහන් කර සිටියේය.
එවක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වූයේ කණිෂ්ක විජේරත්න ය.
‘මේවා සද්භාවයෙන් පවරන නඩු නොවේ..’
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ නාමල් රාජපක්ෂ පැවසුවේ "නව දූෂණ විරෝධී පනත සම්මත වීමත් සමගම පැරණි අල්ලස් කොමිෂන් සභා පනත අහෝසි වී යන බව කවුරුත් දන්නා කරුණක් . එම සරල කරුණ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නොදැන සිටියා කියා අපට විශ්වාස කරන්න බැහැ. ඔහු එය නොදන්නවා නම් එම ධුරය දැරීමට ඔහු කොයි තරම් සුදුසුද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. අනික මේවා සද්භාවයෙන් පවරන නඩු නෙවෙයි. සද්භාවයෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ අරමුණින් නඩු පවරනවා නම් මේ වගේ දේවල් වෙන්න බැහැ. මේ වගේ ක්‍රියා නිසා මහජනතාව තුළ අල්ලස් කොමිසම කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනවා. ඒක යහපත් තත්ත්වයක් නෙවෙයි. මේ විත්තිකරුවන් නිදහස් කර තිබෙන්නේ තාක්ෂණික හේතුන් මතයි. ඒ අනුව අල්ලස් කොමිසමට අවශ්‍ය නම් නව නීතිය යටතේ නිවැරදි ආකාරයෙන් නිදහස් කළ විත්තිකරුවන්ට එරෙහිව යළි නඩු පැවරිය හැකියි. නමුත් මේ දක්වා එවැනි නඩු පැවරීමක් කළ බව අපට දැනගන්නට ලැබී නැහැ. ඒ නිසයි මා කියන්නේ මේවා සද්භාවයෙන් පවරන නඩු නෙවෙයි කියලා" යනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.












