'නින්දේදී හුස්ම හිරවන' බව කී ශෂීන්ද්‍රට 'අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා දෙන්න': අධිකරණය ඇප ප්‍රතික්ෂේප කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 30 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නියම කෙරිණි.
ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වන දා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් කර රුපියල් 8,850,000ක් වන්දි ලබා ගැනීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසු වන බවට අධිකරණය හමුවේ කරණු දක්වා සිටියේ ය.
ඒ අනුව, සැකකරුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේ ය.
පසුගිය නඩු විභාගය
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 12 වන දා නියම කළේ ය.
ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම නිවේදනය කර සිටියේ ය.
එදින පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසර ලෙස ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් අරගලකරුවන් විසින් විනාශ කිරීමේ සිද්ධියට අදාළව ගෙවිය යුතු වන්දි මුදල හානිපූර්ණ කාර්යාලය විසින් නිසි පරිදි නිශ්චය කර තිබියදී එම වටිනාකම වෙනස් කරන ලෙස මෙම සැකකරු එහි නිලධාරීන්ට බලපෑම් කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීයා "ස්වාමීනී.. මහවැලි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් අරගලකරුවන් විසින් විනාශ කළා. ඊට අදාළව ගෙවිය යුතු නියමිත නිල වන්දිය හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන් විසින් තක්සේරු කළා. නමුත් එම නිල වටිනාකම මේ සැකකරු විසින් පිළිගෙන නෑ. එම වටිනාකම ඉහළ දමන ලෙස සැකකරු විසින් බලපෑම් කර තිබෙනවා. එම බලපෑම් දිගින් දිගටම නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළා. ඉන්පසුව තක්සේරු නිලධාරීන්ව පාර්ලිමේන්තුවට ගෙන්වා මෙම සැකකරු විසින් ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබෙනවා. එම රැස්වීමේදී අදාළ තක්සේරු වටිනාකම වැඩි කරන ලෙස මොහු අදාළ නිලධාරීන්ට බලපෑම් කර තිබෙනවා."
ඒ අනුව, රුපියල් 8850000/- වන්දිය නියම කරන ලෙස ඔහු බලපෑම් කර තිබෙනවා. ස්වාමීනි.. මේක පොදු දේපළ පනතේ 8(1) වගන්තිය යටතේ සිදුකළ වරදක්. මේ හරහා මොහු දූෂණ විරෝධී පනත යටතේත් වරදක් සිදුකර තිබෙනවා" යනුවෙන් සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරියා ඉදිරි විමර්ශන තවදුරටත් සිදුවන බවත් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේ ය.
ස්වාමීනී, ස්ලීප් ඇප්නියා කියන්නේ…
ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී.. මෙම සැකකරු නින්දේදී හුස්ම හිරවීමේ රෝගයට ගොදුරු වී සිටින පුද්ගලයෙක්. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට සෑහෙන්න පිරිහීමට ලක්වෙලා. මොහු ස්ලීප් ඇප්නියා (sleep apnea) රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳිනවා. ස්වාමීනී ස්ලීප් ඇප්නියා (sleep apnea) කියන්නේ නින්දේදී හුස්ම සිරවීමේ තත්ත්වයක්. මේ සැකකරුට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවීම සිදු වෙනවා. වෛද්‍ය වාර්තා වලින් පවා ඒ බව පැහැදිලි කර තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට "ස්ලීප් ඇප්නියා" මැෂින් එකක් භාවිත කළ යුතුයි. එපමණක් නොවෙයි නින්දේදී මෙම සැකකරු ගොරවන ආකාරය නිරීක්ෂණය කර වෙනස් වීම් සිදුවන්නේ නම් ඊට සාපේක්ෂව අදාළ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයත් වෙනස් කළ යුතුයි. මේ යන්ත්‍රය සෑම පුද්ගලයෙකුට ම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නෑ. ඊට රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබෙන පුද්ගලයකු සිටිය යුතුයි. මේ වෙනකොට මාසයක පමණ කාලයක් මේ සැකකරු අදාළ යන්ත්‍රය නොමැතිවයි බන්ධනාගාරය තුළ සිටින්නේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ රුධිරය පීඩනය වැඩිවෙනවා. රුධිරයේ පීඩනය වැඩිවීම නිසා පසුගිය සතියේ මොහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළා. මේ නිසා ඔහුගේ ජීවිතය පවා අවදානම්කාරී තත්ත්වයකට පත්ව සිටිනවා" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මෙම සැකකරුට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේ ය.
'ඔහු මේ වන විට මියගොස් තිබිය යුතුයි'
ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි සැකකරු ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටියා ය.
"ස්වාමීනී... සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු පිළිගන්න බැහැ. මොහු මේ වන විට මැෂින් එක නැතුව මාසයක් පමණ බන්ධනාගාරේ සිටි බව සඳහන් වුණා. ඔහුට මේ කියන ආකාරයට දරුණු රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඔහු මේ වන විට මියගොස් තිබිය යුතුයි." යනුවෙන් සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම කරුණු ඇපදීමට තරම් සුවිශේෂි කරුණු නොවන බවත් ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 19 වනදා ප්‍රකාශයට පත්කරන බවත් එදින තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළේය.














