එක්ස්ප්‍රස් පර්ල්:වන්දි නඩුව විභාග කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ තිබේ.

විනිසුරු මඩුල්ලට මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ඇතුලත්ය.

අදාළ පෙත්සම් එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (ජූලි 10 වැනිදා) කැඳවනු ලැබීය.

එහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බවට චෝදනා කර සිටියේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කියා සිටියේ මීට අදාළව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවය.

තම සේවාදායකයින් ධීවර අමාත්‍යංශයේ සහ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය සමග රැස්වීම්වලට සහභාගි වුවත් මෙතෙක් වන්දි ලැබී නොමැති බවත් ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පෙන්වා දුන්නාය.

අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග

මෙම අවස්ථාවේදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට පෙන්වා දුන්නේ පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය නොපමාව සිදු විය යුතු බවයි.

ඒ සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට නියම කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වන්දි ලබා ගැනීමට අදාල ඉල්ලීම් සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය ඇතුළු ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසත් අගතියට පත් ධීවරයින්ගේ නීතිඥවරුන්ට නියම කළා.

එමෙන්ම වන්දි ගෙවීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාලව ගනු ලැබූ පියවර ඇතුළත් වාර්තාවක් සැප්තැම්බර් මස 15 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාට නියෝග කර සිටියේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ඔක්තෝබර් මස 5 සහ 6 යන දින වල කැඳවීමට නියම කෙරුණා.

වන්දි ගෙවීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාලව ගනු ලැබූ පියවර ඇතුළත් වාර්තාවක් සැප්තැම්බර් මස 15 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාට නියෝග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වන්දි ගෙවීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාලව ගනු ලැබූ පියවර ඇතුළත් වාර්තාවක් සැප්තැම්බර් මස 15 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාට නියෝග කරයි

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ ධීවර ප්‍රජාව, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් විශාල පාරිසරික විනාශයක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවයි.

එමෙන්ම මෙම සිද්ධිය හේතුවෙන් විශාල ධීවර ප්‍රජාවක් සිය ජීවනෝපාය අහිමිව අගතියට පත්වූ බවත් ඔවුන්ට සුදුසු වන්දියක් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.