ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා: 'මම විශ්‍රාම යන්නේ වැඩිම කාලයක් සේවයේ යෙදුණු හමුදා නිලධාරියා විදිහට'

General Shavendra Silva

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල

මෙරට ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු 2025 ජනවාරි මස 01 වැනිදා සිට විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා එලෙස විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

කවුද මේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියන්නේ ?

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස 2019 වසරේ අගෝස්තු මස 18 වැනිදා පත් කෙරුණි.

1984 මාර්තු 5 වන දින යුද හමුදාවේ නිත්‍ය බඳවා ගැනීම් 19 යටතේ හමුදා පුහුණුවට එක්වූ ඔහු සිය පුහුණුවීම් වලින් අනතුරුව 1985 වසරේ නොවැම්බර් මස 16 වැනිදා ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව හමුදා සේවයට එක්විය.

එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව පැවති හමුදා මෙහෙයුම් රැසකට සක්‍රීය දායකත්වය ලබා දුන් ඔහු මෙරට ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වන්නේ 2007 -2009 යුද සමයේදී 58 වන සේනාකාංධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ලෙස කටයුතු කළ සමයේදී යි.

යුද්ධය අවසන් වීමෙන් පසු 2010 වසරේ දී ශවේන්ද්‍ර සිල්වා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස පත් කරන ලද අතර 2014 වසර අවසානය දක්වා සේවය කළේය.

වසර 03 කට ආසන්න කාලයක් යුද්ධ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු 2022 වසරේ ජුනි මස 01 වැනිදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කෙරුණි.

'රණබිමේදී දක්වන සේවය වෙනුවෙන් ජීවත්ව ඉද්දි හමුදා නිලධාරියෙක්ට හිමිවෙන වීර වික්‍රම විභූෂණ පදක්කම, රණ වික්‍රම පදක්කම, රණශුර කියන පදක්කම් 03ම හිමිවුණා.'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'රණබිමේදී දක්වන සේවය වෙනුවෙන් ජීවත්ව ඉද්දි හමුදා නිලධාරියෙක්ට හිමිවෙන වීර වික්‍රම විභූෂණ පදක්කම, රණ වික්‍රම පදක්කම, රණශුර කියන පදක්කම් 03ම හිමිවුණා.'

'වැඩිම කාලයක් සේවයේ යෙදී සිටි හමුදා නිලධාරියා මමයි'

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් විශ්‍රාම ගැනීමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ මෙරට යුද්ධ හමුදාවේ වැඩිම කාලයක් සක්‍රීය සේවයේ යෙදී සිටි නිලධාරියා ලෙස තමන් ජනවාරි මස 01 වැනිදා සිට හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බවයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"අවුරුදු 41ක හමුදා සේවයෙන් අනතුරුව මම විශ්‍රාම ගන්නේ. ඒ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැඩිම කාලයක් සේවයේ යෙදුණු නිලධාරියා විදිහට. ''

''මට ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් සිව් දෙනෙක් යටතේ සේවය කරන්න අවස්ථාව ලැබුණා.''

''ඒ වගේම හමුදා නිලධාරියෙක් විදිහට ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමිකර ගත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදිහට මම විශ්‍රාම යන්නේ.''

''පදක්කම් 20ක් මට හිමි වුණා. ඒ අතර රණබිමේදී දක්වන සේවය වෙනුවෙන් ජීවත්ව ඉද්දි හමුදා නිලධාරියෙක්ට හිමිවෙන වීර වික්‍රම විභූෂණ පදක්කම, රණ වික්‍රම පදක්කම, රණශුර කියන පදක්කම් 03ම හිමිවුණා.''

''ඊට අමතරව උත්තම සේවා සහ විශිෂ්ඨ සේවා විභූෂණ කියන පදක්කම් දෙකත් මට හිමිවුණා.''

''ඒ වගේම කොවිඩ් වසංගතය අවස්ථාවේදී කොවිඩ් මර්දන මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළා.''

''සක්‍රීය හමුදා සේවයේ ඉද්දි තානාපතිවරයෙක් ලෙස කටයුතු කරන්න මට අවස්ථාව උදා වුණා.''

''ඒ වගේම මේ දක්වා ජාතික තේරීම් කමිටුවේ සභාපති වගේම කෘෂි නවීකරණය වැඩසටහනේ ප්‍රධානියා ලෙසත් කටයුතු කරමින් සිටිනවා මේ දක්වා." ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මීට පෙර සිටි හමුදාපතිවරුන් මෙන් දේශපාලනයට පිවිසීමට අදහස් කරගෙන සිටින්නේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ' ඒවා මුකුත් නැහැ..' යනුවෙනි.

කෘෂි නවීකරණය වැඩසටහනේ ප්‍රධානියා ලෙසත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කටයුතු කළේය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෘෂි නවීකරණය වැඩසටහනේ ප්‍රධානීයා ලෙසත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කටයුතු කළේය

ඇමෙරිකාවෙන් පැනවූ තහනම

මානුෂිය මෙහෙයුම් සමයේදී යුද අපරාධ සිදුකළ බවට එල්ල කළ චෝදනා හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 2020 වසරේ පෙබරවාරි 14 වැනිදා එවකට හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වාට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද එක්සත් ජනපද රජය විසින් සංචාරක සීමා පැනවීමක් සිදු කර තිබේ.

අසත්‍ය කරුණු මත පදනම්ව ඇමෙරිකාව විසින් පැනවූ එම සංචාරක සීමාවන් ගැන නැවත සලකා බලන ලෙස එවකට විදේශ අමාත්‍යවරය ලෙස කටයුතු කළ දිනේෂ් ගුන්වර්ධන විසින් මෙරට ඇමෙරිකානු තානාපතිවරිය ගෙන් ඉල්ලීමක් ද කරනු ලැබීය.

වත්මන් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ 38 වසරක හමුදා සේවයෙන් අනතුරුව විශ්‍රාම යෑමට නියමිතය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වත්මන් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ 38 වසරක හමුදා සේවයෙන් අනතුරුව විශ්‍රාම යෑමට නියමිතය.

විශ්‍රාම යන යුද්ධ හමුදාපතිවරයා

මෙරට යුද හමුදාවේ 24 වන හමුදාපතිවරයා ලෙස 2022 වසරේ ජුනි මස 01 වැනිදා සිට වැඩ භාර ගනු ලැබූ වත්මන් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ 38 වසරක හමුදා සේවයෙන් අනතුරුව විශ්‍රාම යෑමට නියමිතයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය බලකාය 1986 ඔක්තෝම්බර් 27 වන දින නිත්‍ය බඳවා ගැනීමේ - 26 නිලධාරි කැඩෙට් නිලධාරියෙකු ලෙස දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ සහ පසුව පකිස්ථාන හමුදා ඇකඩමියේ මූලික හමුදා පුහුණුව ලබා ඇති ඔහු 1987 ජුලි මස 23 වැනිදා ගජබා රෙජිමේන්තුවට අනියුක්තව හමුදා සේවයට එක්විය.

එල්.ටී.ටී.ඊ.යට එරෙහි මෙහෙයුම්වලට සක්‍රීයව දායක වූ මේජර් ජෙනරාල් විකුම් ලියනගේ, සතුරා හමුවේ තනි පුද්ගල හෝ ඒ ආශ්‍රිත නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් පිදෙන රණ වික්‍රම පදක්කමෙන් හා රණ සූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

ඔහු හමුදා දිවියේ තුන් වතාවක දී මෙම සම්මානයෙන් පිදුම් ලැබීය. තවද ඔහු මෙහෙයුමක දී සතුරු ක්‍රියාවකින් තුවාල ලැබීම නිසා දේශපුත්‍ර පදක්කම්ලාභියෙකි.

මේජර් ජෙනරාල් ලියනගේ නැඟෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, රිවිරැස සේවා පදක්කම, 50 වැනි නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වැනි සංවත්සර පදක්කම වැනි සේවා පදක්කම් ද ලබා තිබේ.

එසේම ඔහු 'ජනමාන්‍ය විභූතිරත්න' යන ගෞරව නාමයෙන් පිදුම් ලබා සිටියි.

 වයිස් අද්මිරාල් ප්‍රියන්ත ප්‍රනාන්දු 25 වන නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගනිමින්

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy

ඡායාරූප ශීර්ෂ වැකිය, වයිස් අද්මිරාල් ප්‍රියන්ත ප්‍රනාන්දු 25 වන නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගනිමින්

විශ්‍රාම යන නාවික හමුදාපතිවරයා

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ලෙස 2022 වසරේ දෙසැම්බර් මස 18 වැනිදා පත්වූ වයිස් අද්මිරාල් ප්‍රියන්ත ප්‍රනාන්දු 37 වසරක් සිය සේවාව නාවික හමුදාව වෙනුවෙන් ලබාදී තිබේ.

1987 දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 05 වන බඳවා ගැනීමේ කැඩෙට් නිලධාරියෙකු ලෙස විධායක ශාඛාවේ ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුණ ඔහු ත්‍රිකුණාමලයේ නාවික හා සමුද්‍ර විද්‍යාපීඨයේ නාවික පුහුණුව සාර්ථකව නිම කරණ ලදී.

1989 දී වැඩබලන උප ලුතිනන් නිලයට පත් වූ ඔහු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය (ආරක්ෂක අධ්‍යයනය) සමඟ ගෞරව සහිතව උපාධිය ලබා ගෙන ඇත.