කතෝලිකයින්ට සුවිශේෂී වූ පාස්කු මංගල්‍යය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයක් ලෙස සැළකෙයි. එමෙන්ම මෙම මාසය ලොව පුරා කිතුනු ජනතාවට ද වැදගත් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, මරණය සහ උත්ථානය සිහිපත් කරන ශුද්ධවූ සතිය අප්‍රේල් මාසයට යෙදී තිබීම හේතුවෙන් ය.
ලොව පුරා කිතුනු ජනතාව මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය, මෙරට ජනතාවට දුක්බර මතකයක් බවට පත් වූයේ 2019 වසරේ පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව හමුවේයි.
ගොබ් ඉරිදායින් ආරම්භ වන "ශුද්ධ වූ සතිය"
පාස්කු මංගල්‍යයේ ආරම්භය ලෙස සැලකෙන්නේ පාස්කු ඉරිදා දිනට පෙර සතියේ වන ඉරිදා දිනයයි. එය ගොබ් ඉරිදා ලෙස හඳුන්වන අතර මෙය චතාරික සමයේ අවසන් ඉරිදා ලෙස සැලකේ. ඉන් පසුව එළඹෙන පාස්කු ඉරිදා දිනය තෙක් වූ සතිය "ශුද්ධ වු සතිය" ලෙස නම් කර ඇත.
ජනතාවගේ ප්‍රීති ඝෝෂා මැද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෙරුසලම් පිහිටි දේව මන්දිරය වෙත ජයශ්‍රීයෙන් සම්ප්‍රාප්ත වීම සමරන ගොබ් ඉරිදා සිට පාස්කු ඉරිදා දක්වා වූ ශුද්ධ වූ සතිය ලොවපුරා කිතුණුවන්ට ඉතා වැදගත් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනය යෙදෙන මහ බ්‍රහස්පතින්දා දිනයත්, උන්වහන්සේව කුරුසපත් කළ දිනය ලෙස සැළකෙන මහ සිකුරාදා දිනය මෙන්ම, ආලේලූයා සෙනසුරාදා සහ උන්වහන්සේ මරණයෙන් උත්ථාන වීම සැමැරෙන කාලය බැවින්ය.
'ඇතුල්වීම කෙළවර වෙන්නේ කුරුසිය මත ඇණ ගැසීමෙන්'
"ගොබ් ඉරිදා කියලා හඳුන්වනවා ක්‍රිස්තුස් වහන්සේ ජයශ්‍රීයෙන් ජෙරුසලමට ඇතුළු වීම. උන්වහන්සේ ජෙරුසලමට ඇතුල් වෙන්නේ කොටලුවෙකු පිටේ." යැයි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා බීබීසී සිංහල වෙත පැහැදිළි කළේය.
කොටලුවෙකු පිට රජ කෙනෙකු තම නගරයට ඇතුල් වන්නේ සාමය රැගෙන බව ජුදා ජාතිකයන් අතර විශ්වාසයක් තිබූ බවත්, ක්‍රිස්තුස් වහන්සේ සාමය රැගෙන පැමිණි රජාණන් ලෙස එම ජනයා පිළිගනු ලැබූ බවත් පියතුමන් පෙන්වා දෙයි.
"ජනතාව උන්වහන්සේ පිළිගන්නවා 'හෝසන්නා' කියලා ඒ කියන්නේ ජය ශ්‍රී කියලා. ෆාම් අතු වනලා ඒ වගේම පාවඩ අතුරලා, පාවඩ හැටියට තමන්ගේ ඇගේ තියෙන සළුව බිම දාලා උන්වහන්සේව පිළිගන්නවා. මේ ඇතුල්වීම කෙළවර වෙන්නේ උන්වහන්සේගේ ජීවිතය කෙළවරින්, ඒ කියන්නේ කුරුසිය මත ඇණ ගැසිමෙන්."
"උන්වහන්සේගේ සිංහාසනය වෙන්නේ කුරුසිය, ඒ වගේම උන්වහන්සේගේ ඔටුන්න වෙන්නේ කටු ඔටුන්න. දුක, වේදනාව සහ ජීවිත පූජාව කියන දේවල්වලින් තමයි උන්වහන්සේ ගේ රාජකීයත්වය ප්‍රදර්ශනය වෙන්නේ. තමන්ගේ ජීවිතය උන්වහන්සේ දුක් විඳලා පුජා කරනවා අනිත් අයගේ ගැලවීම වෙනුවෙන්, මනුෂ්‍යයාගේ ගැලවීම වෙනුවෙන්. ඒක පරිත්‍යාගයේ ජීවිත පුජාවක්, තමන්ට රාජකීයත්වය ගන්න නෙමෙයි අනිත් අයව පාපයෙන් ගලවන්න කරපු ජීවිත පුජාවක්." පාස්කු මංගල්‍යයේ හරය පැහැදිලි කරමින් සිරිල් ගාමිණි පියතුමා පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාස්කු භෝජන සංග්‍රහයෙන් ඇරඹි අවසන් රාත්‍රී භෝජනය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ගොබ් ඉරිදායින් ආරම්භ වන සතියේ පළමුවෙන්ම උදාවන වැදගත්ම දවස මහ බ්‍රහස්පතින්දා ලෙස හඳුන්වනු ලබයි.
ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය, උන්වහන්සේ තම ගෝලයන්ගේ පාද දෝවනය කිරීම මෙන්ම ක්‍රිස්තුස් වහන්සේව පාවා දීම මෙදින සිදුවූ බව ශුද්ධවූ බයිබලයේ සඳහන් වේ.
"ජුදා ජනතාවගේ පාස්කු භෝජනය කියලා චාරිත්‍රයක් තිබුණා. ඒ ඔවුන් ඊජිප්තු දේශයේ වහල්කමින් මිදිලා නැවත පොරොන්දු දේශයට එන ගමනේදී ඔවුන්ට ඉදිරියට යන්න රතු මුහුද දෙබෑ කළා කියලා ශුද්ධ වූ බයිබලයේ සඳහන්. මේ එතෙර වීම තමයි සමරන්නේ වහල්කමින් මිදීම සහ නිදහස් ජීවිතයකට තමන්ගේම දේශයකට ඇතුල්වීම කියන දේයි මේ සැමරීම වන්නේ."
වහල් භාවයෙන් මිදීම සැමරීමට පාස්කු භෝජනය නමින් පවුලේ සියලු දෙනා එක්වී භෝජනයක් පවත්වා ඇති අතර බැටලුවෙකු මරා එම සතාගේ ලේ නිවසේ උලුවස්සේ ආලේප කර බැටලු මස් අනුභව කර එම භෝජනය පවත්වා තිබෙන අතර එම බැටලුවා පාස්කු බැටලුවා ලෙස හඳුන්වා තිබේ.
"ක්‍රිස්තුස් වහන්සේ බැටලුවා මැරීමේ චාරිත්‍රය කළේ නැහැ. උන්වහන්සේ ඒකෙන් පෙන්නුවේ උන්වහන්සේ තමයි මේ ජනතාවට පාපයෙන් නිදහස ලබා දෙන්න කැපවෙන, ජීවිතය පූජා කරන බැටලුවා කියලා. උන්වහන්සේ ජුදා චාරිත්‍රයට අනුව පූප සහ මිදි යුෂ අරගත්තා. පූප උන්වහන්සේ තමන්ගේම ශරීරය බවට හැරෙව්වා අවසන් රාත්‍රී භෝජනයේ දී, ඒ වගේම මිදි යුෂ තමන්ගේ රුධිරය බවට හැරෙව්වා. අපේ විශ්වාසය තියෙන්නේ ඒ තමයි පළවෙනි දිව්‍ය පුජාව. අපි හැම දවසකම විශේෂයෙන් ඉරිදාටත් දිව්‍ය පූජාවක් පවත්වනවා. එතනදීත් අපි සිහිපත් කරන්නේ උන්වහන්සේ අන්තිම රාත්‍රී භෝජනය."
අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහයේ ආරම්භය සහ දිව්‍ය පූජාවේ ඇරඹුම බීබීසි සිංහල සේවයට පැහැදිලි කළ සිරිල් ගාමිණි පියතුමන් පැවසුවේ අවසන් භෝජන සංග්‍රහයේ දී ජේසුස් වහන්සේ එම ක්‍රියාවන් හරහා තම ජීවිත පූජාව සංඛේතවත් කළ බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජේස්සු වහන්සේ තම ගෝලයන්ගේ පාද සේදුවේ ඇයි?
ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ දී තම ගෝලයන්ගේ පාද සේදු අතර එය අදටත් මහ බ්‍රහස්පතින්දා දින චාරිත්‍රයක් ලෙස කිතුනුවන් සිදු කරනු ලබයි.
''සාමාන්‍යයෙන් ජුදා චාරිත්‍රවලට අනුව පාද සෝදන්නේ වහලෙක්, තමන්ගේ ස්වාමියාගේ. නමුත් මෙතනදී උන්වහන්සේ සේවකයෙක් බවට පත්වෙලා, අනිත් අය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන සේවකයෙක් බවට පත්වෙලා උන්වහන්සේ ආදර්ශයක් දුන්නා හැම කෙනෙක්ම සේවකයෙක් බවට පත්වෙන්නට ඕනා කියලා. එන්න ඒ චාරිත්‍රය උන්වහන්සේ කිව්වා ශ්‍රාවකයන්ට සිහිපත් කරන්න කියලා. ඒක තමයි අපි දිව්‍ය පූජාවේදි සිහිපත් කරන්නේ. විශේෂයෙන් මහ බ්‍රහස්පතින්දා සිහිපත් කරන්නේ."
ජේසුස් වහන්සේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේ දී තම ගෝලයන්ගේ දෙපා දෝවනය කිරීම සිහි කරමින් වර්තමානයේදීත් මහ බ්‍රහස්පතින්දා දින එම ක්‍රියාව සිදුකරනු ලබන අතර පියතුමකු විසින් සිදුකරනු ලබන එම චාරිත්‍රය පිළිබඳව සිරිල් ගාමිණි පියතුමන් මෙලෙස පැහැදිලි කළේය.
"පූජාත්වරය ලබපු පියතුමන්ලා තමයි මූලික වශයෙන් ක්‍රිස්තුන් වහන්සේ නියෝජනය කරන්නේ. ඒ නිසා ඒක (පාද සේදීම) අපි චාරිත්‍රනුකූලව ප්‍රදර්ශනය කරනවා පියතුමා තමන්ගේ මීසමේ ඉන්න ගෝලයෝ 12 දෙනෙකු තෝරගෙන ඒ අය ඉදිරියේ දණින් වැටිලා ඒ අයගේ පාද සෝදනවා. එයින් කියන්නේ අපි හැම කෙනෙක්ම සේවකයෙක් බවට පත්වෙන්න ඕනේ අනිත් අය වෙනුවෙන් කියලා."
ජේසුස් වහන්සේ තම ගෝලයන් ලෙස තෝරාගත් 12 දෙනාගෙන් එක් අයෙක් වූ ජුදාස් ඉස්කාරියොත් රිදී කාසි තිහකට උන්වහන්සේ ව පාවා දෙනු ලැබුවේ ද මහ බ්‍රහස්පතින්දා බව බයිබලයේ සඳහන්ව තිබේ.
ජේසුස් වහන්සේ කුරුස පත් කළ මහ සිකුරාදා
මහ බ්‍රහස්පතින්දා දිනට පසුව එළඹෙන සිකුරාදා, මහ සිකුරාදා ලෙස කතෝලිකයන් හඳුන්වනු ලබන අතර ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරා දමනු ලැබුවේ එදින බව ඔවුන්ගේ විශ්වාසය යි.
"මහ සිකුරාදා දවසේ උන්වහන්සේ තමන්ගේ ජීවිතය පූජා කරනවා කුරුසිය මත. ඒක අපි සිහිපත් කරනවා මහ සිකුරාදා දවසේ විශේෂයෙන්ම කුරුසය තමයි අපේ අවධානය එදා දවසේ. උන්වහන්සේ කුරුසය මත සිදු කරපු ජීවිත පූජාව වගේම, ජීවිතය පූජා කරන්න ඉස්සෙල්ලා කුරුසය මත දී උන්වහන්සේ කිව්ව වාක්‍ය 7ක් තියෙනවා ශුද්ධ වූ සුවිශේෂයේ, ඒ වාක්‍ය 7 අපි මෙනෙහි කරනවා. කුරුසය මත සිදුවුණ උන්වහන්සේගේ මරණය තමයි මහ සිකුරාදා සිහිපත් කරන්නේ." යනුවෙන් සිරිල් ගාමිණි පියතුමන් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මරණය පරාජය කරමින් උත්ථාන වීම
ඉන් තෙදිනකට පසුව උදාවන ඉරු දින ජේසුස් වහන්සේ මරණය පරාජය කරමින් නැවත නැඟී සිටිම හේතුවත් උත්ථානය සිදුවූ දිනය ලෙස කිතු ජනතාව සලකනු ලබන අතර එදින පාස්කු ඉරිදා ලෙස හඳුන්වනු ලබයි.
"උන්වහන්සේ උත්ථාන වුණේ ඉරිදා පාන්දර. ඉරිදා පාන්දර කියන්නේ ආලේලුයියා සෙනසුරාදා කියලා අපි කියනවා. ආලේලුයි සෙනසුරාදා රාත්‍රීයේ තමයි අපි පුජාව පවත්වන්නේ. ඒ පුජාවේදී අපි සිහිපත් කරන්නේ උන්වහන්සේ මරණය පරාජය කරලා ලබපු උත්ථානය."
ජේසුස් වහන්සේ මරණයට තීන්දු කිරිමෙන් අනතුරුව කස පහර ගසා, කටු ඔටුන්නක් පළඳවනවා, කුරුසිය උන්වහන්සේ සිය කර මතින් ගෙන කපාල කන්ද මතට රැගෙන යාමෙන් අනතුරුව උන්වහන්සේව කුරුසයේ තබා ඇණ ගැසූ බව කිතුණු විශ්වාසය යි.
කිතුනු ජනයාගෙන් කරනු ලබන ඉල්ලීමක්
මීට වසර හයකට පෙර කිතුණුවන් උතුම් ලෙස සලකනු ලබන පාස්කු මංගල්‍ය යෙදී තිබු පාස්කු ඉරිදා දිනයේ දී මෙරට දේවස්ථාන තුනක් සහ තරු පන්තියේ හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 250කට වැඩි පිරිසකට ජීවිතය අහිමි වූ අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීය. ඒ අතුරින් ඇතැම් පුද්ගලයෝ කෙටි කාලීන හා දිර්ඝ කාලීන ආබාධවලට ලක් වූහ.
එම බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වුයේ 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින වන අතර මෙවර පාස්කු ඉරිදා යෙදී ඇත්තේ අප්‍රේල් 20 වැනිදා ය.
පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් මිය ගිය පිරිස වෙනුවෙන් මෙන්ම ඒ අයගේ ජීවිත අහිමි වීමෙන් දුක් වේදනා විඳින සියලු දෙනා වෙනුවෙන් යාච්ඥා කරන මෙන් සිරිල් ගාමිණි පියතුමන් ඉල්ලා සිටියි.
"අපි විශ්වාසයෙන් ඉන්නවා දෙවියන් වහන්සේ කවදා හරි දවසක සත්‍ය සම්පුර්ණයෙන් හෙළිදරව් කරනවා කියන එක. ඒ වෙනුවෙන් භක්තියෙන්, විශ්වාසයෙන් යාච්ඥා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා හැම කෙනෙක්ගෙන්ම." යනුවෙන් පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.














