ජීවිතයේ එක් වරක් පමණක් දැකිය හැකි නෝවා පිපුරුමක් දකින්න ඔබ සුදානම් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, මියා ටේලර්
- Role, BBC ෆියුචර්
අප්‍රේල් 8 වන දා සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය කෙරෙහි ලෝකයේ ම අවධානය යොමුව තිබියදී, එක් මළ ශ්වේත වාමන තාරකාවක් සහ තම ජීවය අවසන් කිරීමට ළඟා වෙමින් සිටින රතු යෝධ තාරකාවක් අඩංගු, පෘථිවියේ සිට බොහෝ ඈතින් පිහිටි කොරෝනා බොරියාලිස් (Corona Borealis) නමැති ද්විත්ව තාරකා පද්ධතිය, දර්ශනීය නෝවා පිපිරීමක් සිදු කරමින් තම තේජස විදහා පෑමට සූදානම් වෙමින් ඇත.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,000ක් එපිටින් පිහිටා ඇති කොරෝනා බොරියාලිස් යනු, ටී කොරොනෙයි බොරියාලිස් (T Coronae Borealis) [හෝ කෙටියෙන් T CrB] යන නමින් හඳුන්වන, නාසා ආයතනය පවසන පරිදි, මිනිස් ජීවිතයේ එක් වරක් පමණක් සිදු වන නෝවා පිපිරුමක් අද්දර සිටින ශ්වේත වාමන තාරකාවක නිවහන වේ.
මෙම දුර්ලභ විශ්වීය සිදුවීම 2024 සැප්තැම්බර් මාසයට පෙර සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම සිදුවීම පියවි ඇසින් බලා ගැනීමට බොහෝ දුරට ඉඩ ලැබෙනු ඇත.
එය දැක බලා ගැනීමට මිල අධික දුරේක්ෂයක් අවශ්‍ය නොවනු ඇතැයි නාසා ආයතනය පවසයි.
T CrB පිපිරීම් සිදුවන්නේ වසර 80කට වරක් පමණි. එවැනි පිපිරීමක් අවසන් වරට සිදු වූයේ 1946 වසරේදී ය.
"මම පුදුම ආසාවෙන් බලන් ඉන්නේ. මේක හරියට හේලිගේ වල්ගා තරුව වගේ - ඒක සිද්ධ වෙන්නේ සෑම වසර 75-80කට වරක් - නමුත් හේලිගේ වල්ගා තරුවට මාධ්‍යවලින් ලැබෙන අවධානය නෝවා පිපිරුමකට ලැබෙන්නේ නැහැ," යැයි නාසා ආයතනයේ උල්කාවල පරිසරය පිළිබඳව අධ්‍යයනය කරන වැඩසටහනේ කළමනාකරු විලියම් ජේ. කූක් පවසයි. "හැම වෙලේ ම වැඩි වශයෙන් මාධ්‍යවල අවධානය යොමු වෙන්නේ, වල්ගා තරුවලට."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නෝවා පිපිරුම් සිදුවන්නේ කවදා දැයි විද්‍යාඥයන් දැන ගන්නේ කෙසේද?
බොහෝ අවස්ථාවලදී, නෝවා පිපිරීම් සිදු වන්නේ කවදාදැයි නාසා විශේෂඥයින් නොදන්නා බව කූක් පවසයි. නමුත් "පුනරාවර්තී නෝවා" ලෙස හඳුන්වන නෝවා පිපුරුම් 10ක් පමණ ඇති බව ඔහු පැහැදිලි කරයි.
"පුනරාවර්තී නෝවා පිපුරුමක් කියලා කියන්නේ, කලින් කලට තාරකාවක බාහිර ස්ථරය පුපුරා යන පිපුරුමකට," කුක් තවදුරටත් පවසයි. ටී කොරොනෙයි බොරියාලිස් කියන්නේ හොඳ ම උදාහරණයක්."
නමුත් T CrB තාරකාව ඉදිරි මාස කිහිපය තුළ විශේෂයෙන් පුපුරා යාමට නියමිත බව නාසා ආයතන නිශ්චිතව ම දන්නේ කෙසේ ද? එය ගණිතමය සහ දෘශ්‍ය සාක්ෂි පිළිබඳ කාරණයකි. නිදසුනක් වශයෙන්, T CrB අවසන් වරට නෝවා අත්දැකීමක් ලැබුවේ, වසර 1946දී ය. එනම්, මීට වසර 78කට පෙර ය. කාලය ඉතා වේගයෙන් ගමන් කරමින් තිබේ.
T CrB තාරකාව පුපුරා යාමට සූදානම් බවට වන තවත් සංඥාවක් තිබේ, කූක් පවසයි. "අපි දන්නවා නෝවා පිපිරුමක් වෙන්න අවුරුද්දකට විතර කලින් ඒකේ එළිය අඩු වෙනවා. ඒ වගේ ම තමයි ටී කොරොනෙයි බොරියාලිස් තාරකාවේත් 2023 අවුරුද්දේ මාර්තු මාසයේදී එළිය අඩුවෙන්න පටන් ගත්තා. ඒ නිසා තමයි අපි හිතන්නේ, අප්‍රේල් ඉඳලා සැප්තැම්බර් අග දක්වා කාලය තුළ ඒක නෝවා පිපිරුමකට ලක් වේවි කියලා."

T CrB තාරකාවේ කලින් කලට නිශ්චිත වශයෙන් ම නෝවා පිපුරුම් සිදුවන බවට තහවුරු කර ගෙන තිබීම එය වසර ගණනාවක් තිස්සේ හඳුනාගෙන ඇති වෙනත් නෝවා පිපුරුම් රැසකින් වෙන් කර දක්වයි. එම තාරකාව පුපුරා යාම එතරම් ම සුවිශේෂී වන්නේ ද ඒ හේතුවෙනි.
"නෝවා පිපුරුම් විශාල ගණනක් සොයා ගෙන තිබුණත් ඒවා නැවත සිද්ධ වෙනවා ද කියන කාරණය දැනගෙන නැහැ. එහෙම නැත්තම් ඒවා නැවත පිපිරීමකට ලක් නොවී දීර්ඝ කාලයක් පුරා පැවතීම නිසා අපිට දැනගන්න විදිහක් නැහැ ආයෙත් ඒක සිද්ධ වෙන්නේ කවදා ද කියලා," තාරකා ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂඥයෙකු වන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ තුන්වන විලියම් එච්. මිලර් භෞතික විද්‍යා හා තාරකා විද්‍යා අධ්‍යයනාංශයේ සහකාර මහාචාර්යවරයෙකු වන මෙරෙඩිත් මැක්ග්‍රෙගර් පැහැදිලි කරයි.
විස්කොන්සින්-මැඩිසන් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය රිචඩ් ටවුන්සෙන්ඩ් පෙන්වා දෙන පරිදි, පුනරාවර්තී නොවා පිපුරුමක් වසරක් සහ වසර මිලියන ගණනක් අතර ඕනෑ ම කාල පරාසයක සිදු විය හැකි ය.
නෝවා පිපිරුමක් සිදුවන්නේ කෙසේ ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
T CrBහි වැනි වඩා ත් පුරෝකථනය කළ හැකි නෝවා පිපුරුම් සිදුවන්නේ කවදා දැයි දැන ගැනීමට අමතරව, ඒවා සිදුවන්නේ මන්දැයි නාසා විශේෂඥයෝ දනිති. නිදසුනක් ලෙස, ශ්වේත වාමන තාරකාව වන T CrB ගනිමු. එය පවතින්නේ, ද්විත්ව තාරකා පද්ධතියක ය. එනම්, T CrB යනු, එකිනෙකා වටා ගමන් කරන තාරකා දෙකකින් සමන්විත පද්ධතියක එක් තාරකාවකි. අනෙක් තාරකාව වන්නේ රතු යෝධ තාරකාවයි.
ශ්වේත වාමන තාරකාවලට සූර්යයාට සමාන ස්කන්ධයක් තිබේ. නමුත් ඒවායේ විෂ්කම්භය ඊට වඩා සිය ගුණයකින් කුඩා බැවින් ඒවා ප්‍රමාණයෙන් පෘථිවිය සමග සැසඳිය හැකි බව ඔහු පවසයි. එම ඉහළ ස්කන්ධය ත්, එය සාපේක්ෂව කුඩා වීමත් හේතුවෙන් ශ්වේත වාමන තාරකාවක ගුරුත්වාකර්ෂණ ශක්තිය විශේෂයෙන් ඉහළ අගයක් ගනී.
T CrB පිහිටි තාරකා පද්ධතියේ ඇති රතු යෝධ තාරකාව එහි ඇති ද්‍රව්‍ය ඉන් පිටතට විමෝචනය කිරීමත් සමග T CrB තාරකාව එහි ඇති ගුරුත්වාකර්ෂණය හේතුවෙන් එම ද්‍රව්‍ය තම බාහිර ස්ථරය වෙත ආකර්ෂණය කර ගනී. එය එහි සීමාවට ළඟා වන තෙක් වසර ගණනාවක් පුරා සිදුවෙයි.
"මේ පද්ධතියේ සිදු වන දේ තමයි රතු යෝධ තාරකාව මෙම ද්‍රව්‍ය සියල්ල ම ශ්වේත වාමන තාරකාව මතුපිටට හෙළීම," කූක් පවසයි. "ශ්වේත වාමන තාරකාව (T CrB) මතුපිටට වැටෙන ද්‍රව්‍ය ප්‍රමාණය ඉක්මවා ගියා ම බෝම්බයක මෙන්, තාප න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒත් එක්ක ම ශ්වේත වාමන තාරකාව අර ආරක්ෂණය කර ගත්ත ද්‍රව්‍ය ටික මහත් බලයක් යොදලා ඉවත් කරලා දානවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ටවුන්සෙන්ඩ් ද ඊට සමාන විස්තරයක් ඉදිරිපත් කරයි. ඔහු පැහැදිලි කළේ, T CrB තාරකාව මත ප්‍රමාණවත් තරම් ද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වී එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන ගණනකට ළඟා වූ පසු, න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් සිදුවීම ආරම්භ වන බව ත් එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙකු උනන්දුවෙන් බලා සිටින ඉතා දෘශ්‍යමාන නෝවා පිපුරුමක් නිර්මාණ වන බව ත් ය.
"සූර්යයාගේ හරයේ සිද්ධ වෙන්නෙත් මේ ප්‍රතික්‍රියා ම තමයි. ඒ ප්‍රතික්‍රියා මේ ශ්වේත වාමන තාරකාවේ මතුපිට ස්ථරවලට අතිවිශාල ශක්ති ප්‍රමාණයක් නිකුත් කරනවා," යනුවෙන් ටවුන්සෙන්ඩ් පවසයි. "එලෙස ශක්තිය මුදා හැරීම ත් එක්ක මේ ශ්වේත වාමන තාරකාව තම රතු යෝධ සහකරුවාගේ දීප්තිය අභිබවා යමින් තාවකාලිකව දීප්තිමත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ ම පෘථිවියේ ඉඳලා බලද්දී සමස්තයක් විදිහට මේ තාරකා දෙකෙන් ම නිකුත් වන ආලෝකය දහසත් ලක්ෂයත් අතර ප්‍රමාණයකින් වැඩි වෙලා තමයි පේන්නේ."
මෙම ආකාරයේ පිපිරීම් සිදුවීම නාසා විශේෂඥයින්ට ද්විත්ව තාරකා පද්ධතිවල තරු අතර සිදුවන ස්කන්ධ හුවමාරුව සහ ශ්වේත වාමන තාරකා නෝවා පිපුරුමකට ලක්වන විට ඇතිවන තාප න්‍යෂ්ටික පිපුරුම් පිළිබඳ තේරුම් ගැනීමට උපකාර කරයි. T CrB සම්බන්ධයෙන් ගත් කල, එය නැවත නැවතත් සිදුවන ක්‍රියාවලියකි.
"එය නැවත නැවතත් මේ විශාල තාරකාවෙන් ද්‍රව්‍ය එකතු කිරීමේ මෙම චක්‍රය හරහා ගමන් කරනවා," මැක්ග්‍රෙගර් පවසයි. "සාමාන්‍යයෙන් ඔබ නෝවා පිපිරීමක් දකින තැනට ගොඩ නැගෙන්න වසර දහස් ගණනක් ගත වෙනවා. නමුත් ටී කොරොනෙයි බොරියාලිස්හි එය වඩා වේගයෙන් සිද්ධ වෙන බව පේන නිසා ඒක දුර්ලභ එකක් බවට පත් කරනවා.
T CrB නෝවා පිපුරුම සිදුවන විට ඔබට දැකිය හැකි දේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
This නාසා ආයතනයට අනුව, T CrB තාරකා පද්ධතිය සාමාන්‍යයෙන් පෘථිවියට එතරම් පැහැදිලිව දෘශ්‍යමාන නොවේ. [සාමාන්‍යයෙන් දීප්තිය අනුව, එහි දෘශ්‍ය විශාලත්වය +10කි.] නමුත් ඉදිරියේදී T CrB නෝවා පිපිරීම සිදු වූ විට, එහි දෘශ්‍යතාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. එනම්, එහි දෘශ්‍ය විශාලත්වය +2ක් දක්වා ඉහළ යනු ඇත. එය +10ට වඩා ඉතා දීප්තිමත් අගයකි. වඩා ත් පහසුවෙන් තේරුම් ගැනීමට, +2 යනු, උතුරු තරුව, එනම් පොලාරිස් තාරකාවෙන් නිකුත් වන දීප්තිය හා සමාන දීප්තියකි.
එය සිදු වන විට, T CrB පියවි ඇසට පෙනෙනු ඇත.
නෝවා සංදර්ශනය දැකීමට බලාපොරොත්තු වන අය, කොරෝනා බොරියාලිස් තාරකා මණ්ඩලය හෝ උතුරු කිරීටය දෙස බැලිය යුතු බව නාසා ආයතනය පවසයි. එනම්, අහසේ දිස්වන බෝවෝටීස් සහ හර්කියුලිස් තාරකා මණ්ඩල අසල ඇති කුඩා අර්ධ වෘත්තාකාර චාපය දෙස බැලිය යුතු වේ. "මෙතන තමයි 'අලුත්' දීප්තිමත් තරුවක් විදිහට පිපිරීම සිද්ධ වෙනවා පේන්නේ, එම අභ්‍යවකාශ ආයතනය පැවසීය.
නමුත් වරදවා වටහා නොගන්න: ඇත්ත වශයෙන් ම සිදුවන්නේ නව තාරකාවක් බිහි වීම නොවේ. ඒ වෙනුවට සිදුවන්නේ, මෙම දූරස්ථ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලට ස්තූතිවන්ත වන්නට, T CrB තාරකාව පහසුවෙන් අපට දෘශ්‍යමාන වීම ය.
"ඒක දැනටමත් පවතින තරුවක්. ඒක හැම වෙලාවක ම එතන තමයි තිබුණේ. නමුට අපිට ඒක පේන්නේ අලුත් තරුවක් වගේ. මොක ද ඒක හැම වෙලේ ම අපිට දකින්න බැරි නිසා," මැක්ග්‍රෙගර් පැහැදිලි කරයි. "ශ්වේත වාමන තාරකා ඉතා කුඩා නිසා අපට ඒවා පියවි ඇසින් දකින්න බැහැ. නමුත් සිද්ධ වෙන විලයන ප්‍රතික්‍රියාව නිසා අපට එය තාවකාලිකව දැක ගන්න පුළුවන්. රෑට එළියට බැස්සොත් මේක දැක ගන්න පුළුවන්."
T CrB හි දීප්තිය එහි උච්චතම අවස්ථාවට පැමිණි පසු එය අඟහරු ග්‍රහයා තරම් දීප්තිමත් විය හැකි බව කූක් පවසයි. තව ද එය අවම වශයෙන් දින කිහිපයක්වත් දීප්තිමත් ලෙස පියවි ඇසට පෙනෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එහි සිදුවන පිපිරීම සතියකට වඩා වැඩි කාලයක් පැවතිය හැකි ය.
අනතුරුව, මෙම ශ්වේත වාමන තාරකාව (T CrB) විශාල රතු තාරකාවෙන් ආකර්ෂණය කරගත් සියලු ම ද්‍රව්‍යවලින් මුක්ත වූ පසු, නැවත වරක් අඳුරු වී, දශක ගණනාවක් පුරාවට නොපෙනී යනු ඇත…













