ජේම්ස් වෙබ්: බ්‍රහස්පති ග්‍රහයාගේ 'ඇදහිය නොහැකි' දර්ශන නිරාවරණය කළ අභ්‍යවකාශ දුරේක්ෂය

A composite image of Jupiter by the James Webb Space Telescope

ඡායාරූප මූලාශ්‍රය, NASA/ESA/CSA/Jupiter ERS Team/Judy Schmidt

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රහස්පති ග්‍රහයාගේ දර්ශනය නිර්මාණය කර ඇත්තේ අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබාගත් ඡායාරූප කිහිපයක එකතුවකිනි

ලෝකයේ විශාලතම සහ ප්‍රබලත්වයෙන් වැඩි ම අභ්‍යවකාශ දුරේක්ෂය බ්‍රහස්පති ග්‍රහයාගේ පෙර නොවූ විරූ දර්ශන නිරාවරණය කර තිබේ.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයාගේ ඡායාරූප සටහන් කර ගත්තේ, පසුගිය ජූලි මාසයේදීය.

අදාළ ඡායාරූපවල අරුණාලෝකය, යෝධ කුණාටු, චන්ද්‍රයින් සහ බ්‍රහස්පති වටා පිහිටි වළලු වඩාත් පැහැදිලි ආකාරයට සටහන් වී ඇති අතර, තාරකා විද්‍යාඥයින් එය හඳුන්වා ඇත්තේ, "ඇදහිය නොහැකි" දෙයක් ලෙසය.

අධෝරක්ත කිරණ මඟින් ගන්නා ලද එම ඡායාරූප (infrared images) විශේෂාංග පහසුවෙන් දැකිය හැකි පරිදි කෘත්‍රිමව වර්ණ ගන්වා තිබේ.

එසේ කරන ලද්දේ, ඉන්ෆ්‍රරෙඩ් ආලෝකය මිනිස් පියවි ඇසට නොපෙනෙන හෙයිනි.

"අපි කවදාවත් බ්‍රහස්පති මේ විදිහට දැකලා තිබුණේ නැහැ. ඒක අදහන්නත් බැහැ," මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන නියමුවෙකු වූ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ ඉම්කේ ඩි පේටර් පැවසීය.

"අවංකව ම කියනවා නම්, ඒක මේ තරම් හොඳ වෙයි කියලා අපි ඇත්තට ම අපේක්ෂා කළේ නැහැ," ඇය පැවසීය.

අමෙරිකානු ඩොලර් බිලියන 10ක් වැය කර නිර්මාණය කරන ලද ජේම්ස් වෙබ් දුරේක්ෂය අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර මෙහෙයුමකි. එහි සහකරුවන් ලෙස යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය කටයුතු කරයි.

නාසා ආයතනය පැවසුවේ, දුරේක්ෂයේ සටහන් වූ ඡායාරූප කිහිපයක එකතුවෙන් නිර්මාණය කරන ලද බ්‍රහස්පතිගේ සම්පූර්ණ දර්ශනයේ, බ්‍රහස්පති ග්‍රහයාගේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැව දෙකට ම ඉහලින් ඉහළ උන්නතාංශ දක්වා අරුණාලෝකය විහිදුණු බවය. අරුණාලෝකය යනු සූර්යයාගෙන් ඉවතට ගලා යන අංශු සමග අන්තර්ක්‍රියා කිරීමෙන් ඇති වන ග්‍රහලෝකයට ඉහළින් ඇති අහසේ දිස්වන ආලෝකයයි.

මේ අතර, The Great Red Spot නමින් හැදින්වෙන පෘථිවිය ගිල දැමීමට තරම් විශාලත්වයකින් යුතු කුණාටුවක හැඩය ගත් ලපය සුදු පැහැයෙන් දිස්වේ. ඒ එය හිරු එළිය පරාවර්තනය වීම නිසායි.

ජේම්ස් වෙබ් දුරේක්ෂය 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කෙරුණු අතර, වර්තමානයේ එය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.6ක් ඉහළින් ස්ථානගත කර තිබේ.

මහා පිපිරුමෙන් කෙටි කලකට පසු එනම්, වසර බිලියන 13කට පෙර විහිදෙන්නට පටන් ගත් ආලෝකය පවා එයට හදුනාගත හැකිය.

මීට පෙර ප්‍රසිද්ධියට පත්ව තිබූ හබල් දුරේක්ෂයේ අනුප්‍රාප්තිකයා ලෙස ජේම්ස් වෙබ් දුරේක්ෂය පිළිගැනෙන අතර මීළඟ වසර 20 තුළදී කරන සොයා ගැනීම්වලට මෙම දුරේක්ෂය ප්‍රබල දායකත්වයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Presentational grey line
වීඩියෝ ශීර්ෂ වැකිය, නාසා හි ඇම්බර් ස්ට්‍රෝන්: ජේම්ස් වෙබ් දුරේක්ෂය අධෝරක්ත කිරණවලින් දකින්නේ ඇයි?