අඟහරු මෙහෙයුම්: අභ්‍යවකාශ යානා තුනක් රතු ග්‍රහයා වෙත එකවර සමීපවෙන්නේ ඇයි?

ඉදිරි දින කිහිපය අඟහරු ගවේෂණයට අදාළව මානව වර්ගයා කාර්යබහුල වන කාල වකවානුවකි.
රතු ග්‍රහයා වෙත සමීප වන අභ්‍යවකාශ යානා තුනක් මගින් එහි භූ ස්වභාවය මෙන්ම වායුගෝලය අධ්‍යයනය කෙරෙන අතර පුරාණ ක්ෂුද්‍ර - බැක්ටීරියානු ජීවය පිළිබඳ තිබිය හැකි යැයි අනුමාන කෙරෙන ලකුණු ද විමසා බලනු ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දියත් කරන ලද අභ්‍යවකාශ යානය වන 'හෝප්' (Hope) අඟහරුවාදා (පෙබරවාරි 09) පළමුව එහි ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරිණි.
දින දෙකකට පසු චීනයේ 'තියාන්වෙන්-1' (Tianwen-1) අඟහරු මත ගොඩබැසීමට නියමිත අතර ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් යවන ලද 'පර්සිවියරන්ස්' (Perseverance) යානය පෙබරවාරි 18 වෙනිදා අඟහරු මත ගොඩබසිනු ඇත.
පෘථිවිය හා අඟහරු අතර ඇති සමීප දුර මෙම අභ්‍යවකාශ මෙහෙයුම්වල වාසියට යොදාගෙන තිබේ. සූර්යයා වටා පරිභ්‍රමණය වීමේදී පෘථිවිය හා අඟහරු සතු වෙනස් වේගය හේතුවෙන් ග්‍රහලෝක දෙක අතර දුර නිතර වෙනස්වේ. අඩු ඉන්ධන ප්‍රමාණයක් වැය කළ හැකි මෙහෙයුම් දියත් කළ හැකි වන්නේ සෑම මාස 26 ට වරක් ය.
නමුත් වෙනත් ඕනෑම අඟහරු මෙහෙයුමක් සේ ම මෙම අභ්‍යවකාශ යානා තුනද මුහුණ දෙන අභියෝග ඇත. කුප්‍රකට "විනාඩි හතේ භීතිය" ද ඊට ඇතුළත් ය. මෙම කාලයෙන් හැඟවෙන්නේ අඟහරු වායුගෝලයේ ඉහළ සිට ග්‍රහ පෘෂ්ඨය මත ගොඩබෑමට අභ්‍යවකාශ යානයකට ගතවන කාලය වේ.
රතු ග්‍රහයා වෙත දියත් කෙරුණු පෙර මෙහෙයුම්වලින් අඩක් ම අසාර්ථක විණි.
එසේනම්, මෙවර එම මෙහෙයුම් සාර්ථක කරගැනීමට විද්‍යාඥයින් අපේක්ෂා කළේ කෙසේද? ඔවුන් සොයාගන්නට අපේක්ෂා කරන්නේ මොනවා ද?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝප් මෙහෙයුම

ඡායාරූප මූලාශ්‍රය, PA Media
එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ග්‍රහයා වෙත සිදුකල සිය පළමු මෙහෙයුම අඟහරුවදා සමරුවේ තම හොපේ නමින් කක්ෂගත කළ යානය රතු ග්‍රහයා වෙතට ඉතාමත් සාර්ථකව කක්ෂගත වීමත් සමඟ ඔවුන් එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය, යුරෝපය සහ ඉන්දියාවට පසුව එසේ අභ්‍යවකාශ ගමන් සිදුකළ පස්වන රට බවට පත්වීම නිසාය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුම් පසුගිය වසරේ ජූලි මාසයේ දියත් කෙරුණේ ජපානයේ දී ය.
රතු ග්‍රහයා ගේ වායුගෝලය ගවේෂණය කිරීම එම යානයට පැවරුණු කාර්යය වන අතර එය මීට පෙර අඟහරු මෙහෙයුම්වල සිදු නොවූ කාර්යයකි.
විශේෂයෙන් ම, අඟහරු වෙතින් එහි වායුව මෙන්ම විශාල වශයෙන් ජලය ගිලිහී ගියේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් අපගේ දැනුමට එක්කිරීමට එයින් හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ කල්පනා කරති.
චීන සහ ඇමෙරිකානු මෙහෙයුම් මෙන් නොව, හෝප් යානය අඟහරු මත ගොඩ බසීමකින් තොරව ඒ වටා එක් අඟහරු වර්ෂයක් නොඑසේනම් දින 687 ක් පරිභ්‍රමණය වනු ඇත.
එයින් එවනු ලබන දත්ත ලබන සැප්තැම්බරයේදී පෘථිවියට ළඟා වෙතැයි අපේක්ෂා කෙරේ.
නමුත් ඊට ප්‍රථම, අඟහරු කක්ෂය නිසි ලෙස ග්‍රහණය කරගැනීම සඳහා වූ අවදානම් සහගත හැසිරවීමකට යොමු වීමට යානයට සිදුවනු ඇත. "අවදානම් සහ සංකීර්ණ" පියවරක් ලෙස එමීරයේ නිලධාරීන් විසින් හඳුන්වා දෙන ලද මෙම අදියර ලබන අප්‍රේල් මාසය තෙක් පවතිනු ඇත.

හෝප් මෙහෙයුම විද්‍යාත්මක ක්‍රියාවලියකින් ඔබ්බට ගිය මෙහෙයුමක් ලෙස බීබීසී හි විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකරු ජොනතන් ඒමොස් හදුන්වා දෙයි.
"මෙය සැලකෙන්නේ කිසියම් උත්තේජනයක් දෙන යානයක් හැටියටයි. පාසල් මෙන්ම උසස් අධ්‍යාපනයේදී විද්‍යා කටයුතු කෙරෙහි එමීර් රාජ්‍යයේ මෙන්ම අරාබි කලාපයේ තරුණ පිරිස් ආකර්ශණය කරන්නක් ලෙසයි." ඔහු සඳහන් කළේය.
මීට පෙර අඟහරු වෙත සාර්ථකව සමීපව තිබෙන්නේ එක්සත් ජනපදය, ඉන්දියාව, කළින් පැවති සෝවියට් සංගමය සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය පමණි.
හෝප් යානයේ අඟහරු සම්ප්‍රාප්තිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිර්මාණය වීමේ 50 වෙනි සංවත්සරයට සමගාමීව යෙදී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා ඇති සුවිශේෂී ස්ථාන රාත්‍රියේදී රත් පහන් ආලෝකවත් කෙරෙන අතර එරට ආණ්ඩුවට අයත් අන්තර්ජාල ගිණුම් #ArabstoMars (ඇරබ්ස් ටු මාර්ස් - අඟහරු වෙත යන අරාබි ජාතීන්) යන හෑෂ්ටැගයෙන් සරසා ඇත. මෙම සුවිශේෂ දිනයේදී, ලොව උසම කුළුණ ලෙස සැලකෙන ඩුබායි හි බර්ජ් ඛලීෆා (Burj Khalifa) ගොඩනැගිල්ල අඟහරු වෙත යාමේ සැමරුම්වල කේන්ද්‍රය බවට පත්විය.

චීනයේ තියාන්වෙන්-1 මෙහෙයුම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"සුරලොවට යොමු කෙරුණු ප්‍රශ්න" ("Questions to Heaven") යනුවෙන් අර්ථනැංවිය හැකි චීනයේ පළමු අඟහරු ගවේෂණ මෙහෙයුමට අනුව තවත් මාස තුනක් යන තෙක් එම යානය ගොඩ බැසීමක් නොකරනු ඇත.
අනතුරුදායී අවගමනයට පෙර වායුගෝලයේ තත්ත්ව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඉංජිනේරුවරුන්ට මෙයින් උදාවේ.
යානය අඟහරු මත ගොඩබෑමට නම් එහි "රෝද පහත හෙළන" අවස්ථාව වනවිට, පැයට කිලෝමීටර 20,000ක් වූ ග්‍රහයාට ඇතුළුවීමේ වේගය ඇවිද යන වේගයක් තරම් දක්වා අඩුකරගැනීමේ අභියෝගයට විද්‍යාඥන් මුහුණ දෙනු ඇත.
කිලෝග්‍රෑම් 250 ක් වන රෝවරය, අඟහරු මතුපිට ඇති යුතෝපියා (Utopia) ද්‍රෝණියේ තැනිතලාවක් මතට ලබන මැයි මාසයේ ගොඩබෑමට චීනය අපේක්ෂා කරයි. සූර්ය පැනල මගින් බල ගැන්වෙන රෝවරය, එම කලාපයේ භූ ස්වභාවය මෙන්ම පෘෂ්ඨයට මදක් යටින් ඇති තත්ත්වයද අධ්‍යයනය කරනු ඇත.
ඡායාරූප ගැනීමට මෙන්ම රෝවරය ධාවනයේදී දිශාව දැනගැනීම සඳහා සහය වන්නේ එහි ඇති උස් කුඹය කි. එහි ඇති තවත් උපකරණ පහක ආධාරයෙන් ප්‍රදේශයේ ඛනිජ තත්ත්වය මෙන්ම පාෂාණ නිරීක්ෂණය කෙරෙන අතර අයිස් බවට පත් ජලය තිබේද යන්නත් අධ්‍යයනය කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අවම තරමින් දින 90 ක කාලයක් මෙම රොබෝ යන්ත්‍රයේ සේවය ලබාගැනීමට චීන විද්‍යාඥයෝ අපේක්ෂා කරති. මෙතෙක් අඟහරු මත දිගු කාලයක මෙහෙයුමක් දියත්කිරීමට සමත්වී තිබෙන්නේ ඇමෙරිකානුවන් පමණි (සෝවියට් දේශයේ මාර්ස්-3 මෙන්ම යුරෝපයේ බීග්ල් - 2 මෙහෙයුම් අඟහරු මත ගොඩබෑවද ඉන් සුලු වෙලාවකින් අකර්මන්‍ය විණි).
'තියාන්වෙන්-1' යානයෙන් ලබාගත් අඟහරුගේ පළමු ඡායාරූපය දැනටමත් පෘථිවිය වෙත ඒවා ඇත. එම කළු - සුදු ඡායාරූපයෙන්, අඟහරු මත ඇති ෂියාපරෙලි (Schiaparelli ) ආවාටය මෙන්ම අඟහරු පෘෂ්ඨයේ දීර්ඝ බිම්කඩක් පුරා විහිද යන වැලිස් මැරිනේරිස් (Valles Marineris) ගැඹුරු දොරුව වැනි භූ ලක්ෂණ පෙන්නුම් කෙරේ.
එම ඡායාරූපය ගෙන තිබුණේ අඟහරු සිට කිලෝමීටර මිලියන 2.2 ක දුරකිනි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තියාන්වෙන්-1, අඟහරුට ළඟාවීමට චීනය දැරූ පළමු ප්‍රයත්නය නොවේ. රුසියාව සමග එක්ව 2011 වසරේ ගත් උත්සාහය අකාලයේ නතර උනේ අසාර්ථක විම නිසාවෙනි.
නමුත් චන්ද්‍රයා මතුපිට ට රෝවර දෙකක් යැවීමෙන් අනතුරුව ඒ පිළිබඳ විශ්වාසය ගොඩනගා ගැනීමට චීනය සමත් විය. සිය දෙවෙනි රෝවරය චීනය විසින් ගොඩබානු ලැබුවේ, චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශය වෙත සාර්ථක මෘදු ගොඩබෑමක් කළ පළමු රට බවට පත්වෙමිනි.

එක්සත් ජනපදයේ නොපසුබස්නා උත්සාහ මෙහෙයුම

ඡායාරූප මූලාශ්‍රය, EPA/Nasa/JPL-Caltech
නාසා ආයතනය දියත් කළ පර්සිවියරන්ස් (Perseverance-නොපසුබස්නා උත්සාහය) මෙහෙයුමේ අරමුණ අඟහරු මත පැරණි ක්ෂුද්‍රජීවය පිළිබඳ සාක්ෂි විමසා බැලීම ය. රතු ග්‍රහයා මත කෙදිනක හෝ ජීවයක් පැවතියේද යන්න පිළිබඳ මිල කළ නොහැකි ඉඟි සැපයිය හැකි පාෂාණ නියැදි එක්රැස් කිරීම මෙමගින් සිදු වේ.
වෙනත් ග්‍රහලෝකයක් මත ගොඩබෑම සඳහා මෙතෙක් යැවුණු විශාලතම මෙන්ම අධි තාක්ෂණික යානය ලබන බ්‍රහස්පතින්දා (පෙබරවාරි 18) ග්‍රිනිච් වේලාවෙන් රාත්‍රී 9 ට (2100 GMT) ඉතා ආසන්න වෙද්දී අඟහරු හි සමකයට ආසන්න ආවාටයක් වන ජෙසේරෝ (Jezero) මත ගොඩබෑමට අපේක්ෂා කෙරේ.
"යානය ගොඩබාන ස්ථානය ලෙස විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට ලක්වූ ජෙසේරෝ ආවාටය (Jezero Crater) ඔවුන් දකින්නේ සෑම දේ ගැනම විද්‍යාත්මක වශයෙන් වඩා ප්‍රතිඵලදායි තැනක් හැටියටයි. පැරණි ගංගාවක් ඒ හරහා ගලාගිය සලකුණු ඇති නිසා අතීත ජීවයක් සොයා යාමට නම් මෙතැනයි තැන කියා හිතනවා. නමුත් ජෙසේරෝ දෙස බලද්දී මට අනතුරක් පෙනෙනවා," යැයි පර්සිවියරන්ස් යානය ඇතුළුවීම, පහළට ගෙන ඒම සහ ගොඩබෑම (Entry, Descent and Landing) සම්බන්ධයෙන් ප්‍රධානත්වය දරන ඉංජිනේරු ඇලන් චෙන් පවසයි.
"හැමතැනම අනතුරක් තිබෙනවා. ප ගොඩබාන ස්ථානය හරහා ඇදී යන මීටර 60-80 අතර උසක් ඇති තද බෑවුමක් තිබෙනවා. බස්නාහිර පැත්ත බලද්දී පෙනෙන්න තියෙන්නේ, ආවාට සමුහයක්. ඉන් එකකට සාර්ථකව ගොඩබෑම කළත් ඉන් ගොඩවෙන්න හැකියාවක් නැහැ. නැගෙනහිර පැත්තට තියෙන්නේ විශාල ගල් පරුවත. ඒ මතට ගොඩබානවාට රෝවරය කොහෙත්ම සතුටුවෙන එකක් නැහැ," යැයි ඔහු බීබීසී සමග පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, NASA / JPL-Caltech
අත්හදා බලන ලද තාක්ෂණයකින් පර්සිවියරන්ස් සමන්විත වන බැවින් වාසනාවකට මෙන් අඟහරු පෘෂ්ඨයේ ආරක්‍ෂිත තැනකට ළඟාවීමට එයට හැකියාව ලැබෙනු ඇත.
ප්‍රමාණයෙන් කුඩා එස්යූවී රථයකට සමාන රෝවරය බරින් මෙට්‍රික් ටොන් එකකි.
දිනකට මීටර 200ක දුරක් ස්වයංක්‍රීයව ධාවනය කළ හැකි එම රථයෙහි කැමරා 19 ක් මෙන්ම මයික්‍රෝෆෝන දෙකක් සවි කර ඇත. එමගින් අඟහරු මත පළමු වරට ශබ්දය පටිගත කිරීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති.
පළමු වරට වෙනත් ලොවක දී ඩ්‍රෝන යානයක් පියාසර කරවීමේ ප්‍රයත්නයක් ද මෙම මෙහෙයුමට අයත් වේ. එම ඩ්‍රෝන යානයේ බර කිලෝග්‍රෑම් 1.8කි.
පොරොන්දු කෙසේවෙතත්, පර්සිවියරන්ස් මෙහෙයුමේ සොයාගැනීම්වල සම්පුර්ණ තත්ත්වය දැනගැනීමට ලැබෙනුයේ රතු ග්‍රහයා මතින් එක් රැස් කරගත් සාම්පල (නියැදි) පෘථිවිය වෙත ලැබීමෙන් පසු ය. එය සිදුවනු ඇත්තේ මෙතැන් සිට වසර දෙකක් ගිය තැන සටහන් වන මෙහෙයුමේ අවසානය සමගිනි.
මේ ගැනත් දැනගන්න:












