නාසා: කුඩා දැල්ලන් සිය ගණනක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

About 128 baby bobtail squid are set to be sent to the International Space Station

ඡායාරූප මූලාශ්‍රය, Jamie S. Foster / NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, කුඩා දැල්ලන් 128 ක් පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීය

කුඩා දැල්ලන් සියයකට වැඩි ප්‍රමාණයක් සහ ක්ෂුද්‍ර ජීවීන් 5,000 ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත යැවීමට නාසා ආයතනය බ්‍රහස්පතින්දා (ජූනි 3) දින ක්‍රියා කළේය.

මෙම සත්ත්වයන් සහ අධ්‍යයන සඳහා අවශ්‍ය වෙනත් උපකරණ සමග ස්පේස් එක්ස් හි ෆැල්කන් 9 රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කරනු ඇත.

අභ්‍යවකාශ ගමන්වල බලපෑම ගැන විද්‍යාඥයින්ට අවබෝධ කර ගැනීමට මෙම අත්හදා බැලීම්වලින් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රොකට්ටුව දියත් කිරීම ග්‍රිනීච් වේලාවෙන් 17:29 GMT ට නාසා ආයතනය සජීවීව විකාශනය කළේය.

ක්ෂුද්‍ර ජීවීන් හා සතුන් අතර ඇති ඵලදායී අන්තර්ක්‍රියාවලට අභ්‍යවකාශ ගමන්වලින් එල්ල වන බලපෑම පිළිබඳ සිදුකරන පර්යේෂණයේ කොටසකට මෙම කුඩා දැල්ලන් 128 භාවිත කරනු ඇත.

දැල්ලන්ට ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අතර එය මිනිසුන්ට සමාන වේ.

නාසා පවසන්නේ දිගු අභ්‍යවකාශ මෙහෙයුම් වලදී ගගනගාමීන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම වර්ධනය කිරීමට මෙම අත්හදා බැලීම ඉවහල් වන බවය.

"සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණ හා ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීම සඳහා මිනිසුන් ඇතුළු සතුන් ක්ෂුද්‍ර ජීවීන් මත රඳා පවතිනවා. අභ්‍යවකාශ ගමන් මගින් මෙම ප්‍රයෝජනවත් අන්තර්ක්‍රියා වෙනස් වන්නේ කෙසේදැයි අපට සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැහැ," පරීක්ෂණයේ ප්‍රධාන විමර්ශකයෙකු වන ජේමි ෆොස්ටර් පැවසීය.

"සත්ත්වයන්ගේ සෞඛ්‍යය සම්බන්ධ මෙම වැදගත් ගැටලු" විසඳීමට දැල්ලන්ට හැකි වනු ඇතැයි ඇය පැවසුවාය.

නැවත පෘථිවියට පැමිණීමට පෙර දැල්ලන් ශීත කෙරෙනු ඇත.

මේ තොරතුරු ද කියවන්න:

'ටාඩිග්‍රේඩ්' නැත්නම් 'වෝටර් බෙයා' ලෙස පොදුවේ හඳුන්වන ක්ෂුද්‍ර ජීවීන් 5,000ක් ද ස්පේස් එක්ස් රොකට්ටුවේ අභ්‍යවකාශ ගමනට එක් වී තිබේ. මෙම සතුන්ට අනෙක් බොහෝ ජීවීන්ට වඩා දැඩි පාරිසරික තත්ත්වයන් ඉවසා සිටීමේ හැකියාව තිබේ.

ආන්තික පරිසරයන්ට ජීවය ප්‍රතිචාර දක්වන ආකාරය හා අනුවර්තනය වන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා මොවුන් සුදුසුම ජීවීන් ලෙස හැඳින්වේ.

අභ්‍යවකාශයේ දී මිනිසුන්ට බලපාන ආතතිය හා සම්බන්ධ සාධක අවබෝධ කර ගැනීමට මෙම තොරතුරු උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

"අපි සැබවින්ම උනන්දු වන්නේ මෙම පරිසරය තුළ ටාඩිග්‍රේඩ් නොනැසී පවතින්නේ කොහොම ද යන්න ගැන සහ ප්‍රජනනය සිදු කරන්නේ කොහොම ද යන්න තේරුම් ගැනීම වගේම ඔවුන් භාවිත කරන උපක්‍රම පිළිබඳව අපට යමක් ඉගෙන ගන්න. ඉන්පසු ඒවා ගගනගාමීන්ගේ ආරක්ෂාව සඳහා අනුගත කිරීමට බලාපොරොත්තු වෙනවා," යනුවෙන් පරීක්ෂණයේ ප්‍රධාන විමර්ශකයෙකු වන තෝමස් බූත්බි පැවසීය.

ඉදිරියේ දී සිදු කිරීමට නියමිත අනෙකුත් අත්හදා බැලීම් අතර වර්චුවල් රියැලිටි තාක්ෂණය භාවිත කරමින් දුරස්ථව රොබෝ අත් ක්‍රියාත්මක කළ හැකිද යන්න සොයා බැලීම සහ සවිමත් බැවින් වැඩි කපු රෙදි නිෂ්පාදනය පිළිබඳ අධ්‍යයනයක් ද ඇතුළත් වේ.