AI උගන්වන්න කතා කරන රටේ වැසිකිළි යන්න බැරිව රෝගී වූ බස්නාහිර පළාතේ දරුවෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කෘත්‍රිම බුද්ධිය ඉගැන්වීමටත්, ටැබ් පරිගණක ලබා දීමටත් යෝජනා කර ඇති පරිසරයක් තුළ පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක වැසිකිළිවල අපිරිසුදුභාවය නිසා මුත්‍රා නොකිරීමෙන් රෝගී වූ දරුවෙකු පිළිබඳව බීබීසී සිංහල සේවයට දැනගන්නට ලැබිණි.
සිද්ධියට මුහුණ දුන් 13 හැවිරිදි දරුවා එම පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
ඔහුගේ සැබෑ නම හෙළි නොකර ප්‍රභාෂ් යන නාමයෙන් මෙතැන් සිට ඔහු හඳුන්වමු.
"අම්මේ මගේ බඩ රිදෙනවා. මුත්‍රා කරන්නත් අමාරුයි," ප්‍රභාෂ් මුලින් ම සිය රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිය මව දැනුවත් කළේ එලෙසිනි.
එදිනෙදා නිවෙස්වල සේවය කරමින් ජීවිකාව සපයා ගන්නා ඔහුගේ මව සිය පුතුගේ අමාරුකම් ඉවසිය නොහැකි තැන වෛද්‍යවරයෙකු වෙත ප්‍රභාෂ් රැගෙන ගියා ය.
එහිදී, ඇයට දැන ගන්නට ලැබුණේ සිය පුත්‍රයාට මුත්‍රා අඩස්සි තත්ත්වයක් ඇති වී ඇති බව ය.
වෛද්‍යවරයාගේ ප්‍රශ්න කිරීමේදී දරුවා ප්‍රකාශ කර තිබුණේ, පාසලේ වැසිකිළි අපිරිසුදු හෙයින් පාසල නිම වී නිවසට පැමිණෙන තුරු මුත්‍රා නොකර සිටීමට ඔහු පුරුදු වී සිටි බව ය.
පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව
ඉහත සිදුවූ සත්‍ය සිද්ධිය සුළු කරුණක් ලෙස පෙනෙන්නට තිබුණ ද, එම සිද්ධිය පසුපස බරපතළ සෞඛ්‍ය ගැටලුවක් තිබේ.
ඒ, පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව පාසල් අධ්‍යාපනය සම්බන්ධ බලධාරීන් දක්වන උනන්දුවේ තරම ය.
ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් බීබීසී සිංහල සේවයට පැවසූ පරිදි, වැසිකිළි පහසුකම් නොමැති පාසල් 500කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.
2013 වසරේදී කළ සමීක්ෂණයකට අනුව පාසල් දරුවන්ගෙන් 25%කට පමණ මූලික සනීපාරක්ෂක පහසුකම් පවා නොතිබිණි.
මේ අතර, 2015 වසරේදී යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව පාසල් දරුවන් ආශ්‍රිතව කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, සිය පාසල තුළ වැසිකිළි පහසුකම් ඇති බව පවසා ඇති සිසුන්ගේ ප්‍රතිශතය 79 - 82% අතර වන බව ය.
මේ අතර, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් බහුතරයක් පාසල් සිසුන් භාවිත කරන වැසිකිළිවල තත්ත්වය නිරීක්ෂණය කර නැතැයි ද එම වාර්තාවේ දැක්වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, සනීපාරක්ෂාව නිර්වචනය කරන්නේ, "පෞද්ගලිකත්වය, අභිමානය සහ සැමට පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයක් සහතික කරන අපජලය සහ අපද්‍රව්‍ය සඳහා සේවා සහ පහසුකම් භාවිතය සහ ප්‍රවේශය සනීපාරක්ෂාව ලෙස සැලකෙන," බව ය.
'පාසල්වල වැසිකිළි නැති රටක කෘත්‍රිම බුද්ධිය උගන්වන්න කතා කරනවා'
ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් පවසන්නේ, "වැසිකිළි පහසුකම් පවා නොමැති රටක පාසල් දරුවන්ට කෘත්‍රිම බුද්ධිය ඉගැන්වීමට කතා කරන," බව ය.
"අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සමීක්ෂණ වාර්තා අනුව පාසල් 570 ගාණක් තියෙනවා, වැසිකිළියක් නැති. එහෙම රටක තමයි, කෘත්‍රිම බුද්ධිය උගන්වන්න කතා කරන්නේ. වැසිකිළියක්වත් නැති ඉස්කෝල තියෙන රටක කෘත්‍රිම බුද්ධිය උගන්වන එකෙන් කෙරෙන්නෙ තවත් විෂමතාවක් හදන එක යි. අධ්‍යාපනයට ප්‍රමුඛතාව දෙනකොට දරුවන්ගේ අවම අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ කරන්න බැරි රටක් තමයි මේ තියෙන්නෙ. පළමුවෙන් ම හිතන්න ඕනෙ සෑම ළමයෙක් ම දරුවෙක්," අමිල සඳරුවන් පැවසීය.
'දේශපාලන පත්වීම් නිසා සිදුවන අර්බුදයක්'
මේ අතර, රජයේ පාසල්වල සනීපාරක්ෂක කටයුතු නිසි පරිදි සිදු නොවීමට බලපා ඇති ප්‍රධාන හේතුව "සනීපාරක්ෂක කම්කරුවන් දේශපාලන පත්වීම් මත සේවයට පැමිණ තිබීම" බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ, එවැනි දේශපාලන පත්වීම් ලැබූ කම්කරුවන් තමන්ට පැවරී ඇති රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන බව ය.
"ගොඩක් අය තමන්ට පත්වීම් දීපු දේශපාලනඥයාගේ බලය පාවිච්චි කරලා මේ වැඩ නොකර ඉන්නවා. ඔවුන් බොහෝවිට විදුහල්පතිවරයාටත් අවනත නෑ. මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. සමහර මහ ඇමතිවරු, ඇමතිවරු පාසල්වල සනීපාරක්ෂක පත්වීම් දීලා තියෙන්නේ තමන්ගේ ආධාරකරුවන්ට දෙන්න වෙන රස්සාවක් නැති නිසා. ඉතින් ඒ මහ ඇමතිවරු තමන්ගේ ආධාරකරුවන් සනීපාරක්ෂණ පත්වීම් දීලා එවනකොට විදුහල්පතිට කියනවා මේ අයගෙන් සනීපාරක්ෂක වැඩ ගන්න එපා කියලා. ඉතින් පාසල් ළමයින්ට අප්පිරියාවක් නැතුව වැසිකිළියකට යන්න පුළුවන් වෙයි ද?," ජෝසෆ් ස්ටාලින් පැහැදිලි කළේ ය.
ඉහත කී කරුණ ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් ද අනාවරණය කළේ ය.
'සනීපාරක්ෂක කටයුතු පවත්වාගෙන යන්නේ දෙමාපියන්ගේ මුදල්වලින්'
ජාතික පාසල් හැරුණුවිට සෙසු පාසල්වල සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් කම්කරුවන් නොමැති බවත්, ඒ වෙනුවෙන් බොහෝවිට දෙමාපියන්ගේ මුදලින් කම්කරුවෙකුගේ සේවය ලබා ගැනීමට සිදුව තිබෙන බවත්, ශ්‍රී ලංකා ජාතික විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මොහාන් පරාක්‍රම වීරසිංහ පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, දේශපාලන පත්වීම් ලබා සේවයට අනුයුක්ත කෙරෙන සනීපාරක්ෂක සේවකයින්ගෙන් නිසි සේවයක් ලබා ගැනීමට දුෂ්කර වී ඇති බව ය.
පාසල් රැසක වැසිකිළි පහසුකම් නැති බව ද ඔහු පැවසීය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්
මෙම ගැටලුව සම්බන්ධයෙන් බීබීසී සිංහල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර්ගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු පොරොන්දු වූයේ, ගැටලුව නිරාකරණය කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ය.
මෙම ගැටලුව ඇති වීමට සනීපාරක්ෂක සේවකයින් මෙන් ම ඇතැම් පාසල් දරුවන් ද වගකිව යුතු බව ඔහු ප්‍රකාශ කළේ ය.
"සමහර දරුවො ඉන්නවා, වැසිකිළි පාවිච්චි කළා ම ගොඩක් අපිරිසුදු කරනවා. අනික් අතට සනීපාරක්ෂක සේවකයින් තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන්න ඕන," රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
බීබීසී දැනුම් දීමෙන් පසු කඩිනම් චක්‍රලේඛයක්
මේ අතර, පළමු ඇමතුම දී මිනිත්තු කිහිපයක් ගතවෙද්දී බීබීසී සිංහල සේවයේ මෙම ලිපිය සම්පාදනය කළ මාධ්‍යවේදියා ඇමතූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් දැනුම් දුන්නේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට තමන් උපදෙස් දුන් බව ය.
පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව ගැන අවධානය යොමු කළ යුත්තේ ඇයි?
විවිධ වයස් කාණ්ඩවල පසු වන පාසල් දරුවෝ අවම වශයෙන් පැය 6ක පමණ කාලයක් පාසල තුළ ගත කරති.
පැය 6ක් වැනි දීර්ඝ කාලයක් පාසලක් තුළ ගත කරන දරුවන්ට බහිස්‍රාවීය අවශ්‍යතා ඇති වේ.
පාසල තුළ සිටින කාලයේදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, නිසි ලෙස බහිස්‍රාවීය අවශ්‍යතා ඉටු කර ගැනීම පාසල් දරුවෙකුගේ අයිතියකි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය පාලිත රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසුවේ, පාසලක් තුළ අධ්‍යාපනය ලබන දරුවන් නිසි පරිදි බහිස්‍රාවීය කටයුතු සිදු නොකළහොත් විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව ය.
"දීර්ඝ කාලයක් මුත්‍රා හෝ මළ පිට නොකර හිටියොත් මුත්‍රා අඩස්සිය හෝ මළබද්ධය ඇති වෙන්න පුළුවන්. පාසල් දරුවෙකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වුණොත් නිසි පරිදි අධ්‍යාපනයක් ලබන්න අමාරුයි. ඒ නිසා සෑම පාසලක ම දරුවන්ගේ මූලික අවශ්‍යතා ගැන හිතන එක අනිවාර්යයෙන් කළ යුතු යි."














