අධ්‍යාපනයේ මහිමයෙන් ලෝකය ජය ගත් හේනේ පැලක පාඩම් කළ ශ්‍රී ලාංකිකයා

ඡායාරූප මූලාශ්‍රය, Sugath Rathnayake|Facebook
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා - එ සැඩ මනා වත් වතුරෙන් වළ නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා - උගත මනා ශිල්පයමයි මතු රැකෙනා...
අධ්‍යාපනය ලැබීම යනු 'ඇස් පෑදීම' යන වහර ද අප සමාජයේ කොතෙකුත් භාවිත වෙයි. එහි අදහස අධ්‍යාපනය ලැබීමෙන් ලෝකය නිවැරදිව දැකීමේ අවස්ථාව හිමි වන බව ය.
(ජනවාරි 24වැනිදා) ට යෙදෙන ජාත්‍යන්තර අධ්‍යාපන දිනය නිමිත්තෙන් අප සැරසෙන්නේ, ශ්‍රී ලංකාවේ දිළිඳු ම දිස්ත්‍රික්ක වලින් එකක් ලෙස සැලකෙන මොනරාගල ඉපිද, 'වදන් කවි පොතේ' සඳහන් වන පරිදි අල්ලට සිඟා වත් රස නැති කැවිලි කමින්, ඇල්මෙන් අකුරු ඉගෙනගෙන ලෝකය ජය ගත් සුවිශේෂී පුද්ගලයෙකු හඳුන්වා දීමට ය.
ඔහු නමින් සුගත් රත්නායක ය. ඔහු මොනරාගල, දඹගල්ල නමැති දුෂ්කර ගම්මානයේ ඉපිද, ගමේ පාසල වන දඹගල්ල පියරතන මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලබන තෙක් අධ්‍යාපනය ලැබූ ඔහු මේ වන විට චීනයේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර යි.
මේ සියලු දුර ඔහුට තරණය කිරීමට මග සැකසුණේ අධ්‍යාපනයේ මහිමය නිසා ම ය.
"මගේ පාඩම් කාමරය වුණේ හේනේ සහ කුඹුරේ පැල"
හේන් සහ කුඹුරු ගොවිතැන්වල නිරත වූ මව සහ පියා සමග සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් සමන්විත පවුලක ඉපිද අධ්‍යාපන කටයුතුවල සාර්ථකව නිරත වීම සුගත්ට එතරම් පහසු කටයුත්තක් නොවී ය.
"මම හැදී වැඩුණේ ගමේ. මගේ පාසල මොනරාගල, දඹගල්ල පියරතන මහා විද්‍යාලය. සරසවි වරම් ලබන තෙක් ම ඉගෙන ගත්තේ මේ ගමේ ඉස්කෝලෙන්. අම්මයි තාත්තයි කුඹුරු හා හේන් ගොවිතැන් කළේ. ඒ නිසා මම බොහෝවිට පාඩම් කළේ හේනේ හරි කුඹුරේ හරි ඉඳලා. හේනේ කුඹුරේ පැල තමයි මගේ පාඩම් කාමරය වුණේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මම පාසල් ගිය කාලයේ අපේ ගමට විදුලිය තිබුණේ නැහැ. අපි පාඩම් කළේ මේස ලාම්පුවෙන් නැතිනම් කුප්පි ලාම්පුවෙන්. මගේ මතකයේ හැටියට 2010දී වගේ තමයි අපේ ගමට විදුලිය ලැබුණේ. වැහි දවස්වලට ඉස්කෝලෙ යන්න බැහැ. ඇළවල් උතුරලා. පාරවල් මඩ වෙලා.
අපේ පවුලේ අම්මයි තාත්තයි එක්ක 13 දෙනෙක්. ඉතින් අම්මයි තාත්තයි උපයපු සියලු මුදල් වැය කළේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට. ඒ දෙන්නා නිසා තමයි අද අපි මේ වගේ තැන්වල ඉන්නේ. නමුත් අපේ දියුණුව දකින්න අද ඒ දෙන්නා ම ජීවතුන් අතර නැහැ," සුගත් රත්නායක සිය කටුක අතීතය ආවර්ජණය කළේ එලෙස ය.
සිය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා තමන්ට ඇති එක ම මාර්ගය සාර්ථක අධ්‍යාපනයක් ලැබීම පමණක් ම බව සුගත් රත්නායක කුඩා කල සිට ම වටහාගෙන සිටියේ ය.
"ඇත්තට ම මම මුලදී ම වටහා ගත්තා අපි වගේ අයට ජීවිතය ජය ගන්න තිබෙන එක ම මාර්ගය හොඳින් ඉගෙන ගැනීම විතරයි කියලා. අනික මම දැක්කා අපේ අම්මයි තාත්තයි අපිට උගන්වන්න විඳපු දුක. ඉතින් ඒ නිසා ඔවුන්ගේ කැපවීමට මම සාධාරණයක් කළ යුතුයි, ඉදිරියේදී ඔවුන් රැකබලා ගත යුතුයි කියලා හැම වෙලාවක ම හිතුවා. ඒ වගේ ම ඉස්කෝලේ මට උගන්වපු ගුරුවරුත් මම ගැන ඉහළ බලාපොරොත්තු තියාගෙන හිටියා හොඳින් විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාලයට යයි කියලා. ඒ නිසා මම ඔවුන්ගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරනවා කියන චේතනාවෙන් දැඩි කැපවීමකින් සහ මහන්සියෙන් ඉගෙන ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මට විශ්වවිද්‍යාල වරම් ලබන්න පුළුවන් වුණේ."
කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසි සුගත්, ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ගත්තේ ය. එහෙත්, ඔහුගේ දැඩි කැමැත්ත වූයේ, මාධ්‍යවේදියෙකු බවට පත්වීම ය.
මාධ්‍යවේදියෙකු වීමේ අරමුණින්, ඔහු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ම 'දිනමිණ' සහ 'ලංකාදීප' වැනි ජාතික පුවත්පත් කිහිපයක නිදහස් ලේඛකයෙකු ලෙස ද කටයුතු කළේ ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම ද නියෝජනය කළ ඔහු, උපාධිය ලැබීමට පෙර, ජනමාධ්‍ය, පරිගණක සහ ඉංග්‍රීසි ඩිප්ලෝමා කිහිපයක් ම සාර්ථකව නිම කළේ, උපාධිය ලබා ගැනීමෙන් පසු රැකියාවක් සොයා ගැනීම පහසු කර ගැනීමට ය.
"මේ නිසා උපාධිය ලබා ගත්තට පස්සේ මට රැකියාවක් හොයා ගන්න අපහසු වුණේ නැහැ. රැකියා පෝලිම්වල ඉන්න වුණේත් නැහැ. දේශපාලඥයින් පසුපස ගියේත් නැහැ. ඉතින් අද ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා විද්‍යාර්ථීන්ටත් මෙය ආදර්ශයක් කියලා මම හිතනවා. අපි විශ්වවිද්‍යාලවලින් පිටවෙන කාලයේ ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන් බහුතරයක් හිටියා. ඔවුන් රැකියා ලබා දෙන ලෙස ඉල්ලා මාරාන්තික උපවාස පවා පැවැත්වුවා. ඉතින් අපි අවබෝධ කර ගන්න ඕන, අපට රැකියා නැත්තේ ඇයි කියලා. ඊට පස්සේ ඒකට අපි පිළිතුරු හොයන්න ඕන. මම හැදෑරුවේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධියක්. නමුත් මම ජනමාධ්‍ය පිළිබඳ හැදෑරීම් ද නොකඩවා ම කරගෙන ගියා. ඇයි මම එහෙම ක්ෂේත්‍ර දෙකක හැදෑරීම් කළේ? රටේ පැවති විරැකියා වාතාරණය තුළ මොන ක්ෂේත්‍රයකින් හරි ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා හිතලා," සුගත් රත්නායක පැවසීය.
මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීම
"ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධියක් හැදෑරුවාට ඇත්තට ම මගේ වැඩි කැමැත්ත තිබුණේ මාධ්‍යවේදියෙක් වෙන්න. ඒ සඳහා අවශ්‍ය දැනුම තමයි මම උසස් පෙළ විභාගයෙන් පස්සෙත්, විශ්වවිද්‍යාල කාලය තුළත් එකතු කර ගත්තේ. ඉතින් විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ අවසාන කාලයේ මම සිරස ප්‍රවෘත්ති අංශයට අයදුම්පතක් යොමු කළා. මාස කිහිපයකට පස්සේ මට සම්මුඛ සාකච්ඡාවට එන්න කිව්වා. ඉතින් වට තුනක් සම්මුඛ සාකච්ඡා පවත්වලා මම ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් විදිහට සිරස ප්‍රවෘත්ති අංශයට බඳවා ගත්තා. ඒ තමයි මගේ වෘත්තීය මාධ්‍ය ජීවිතයේ ආරම්භය. සිරස ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙක්, ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් හා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ආදි වශයෙන් විවිධ තනතුරු දරමින් අවුරුදු 13ක් පමණ සේවය කළා. සිරස ප්‍රවෘත්ති අංශය කියන්නේ වෙන ම පාසලක්. එහිදී මා ලද අත්දැකීම් බොහෝ යි."

ඡායාරූප මූලාශ්‍රය, Sugath Rathnayake|Facebook
චීන ගුවන් විදුලියේ සිංහල උපදේශකයෙකු වීම
චීන ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකවරයෙකු ලෙස පත්වීම සිය වෘත්තීය ජීවිතයේ ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බව සුගත් රත්නායක පවසයි.
එම අවස්ථාව හිමිවූ ආකාරය ඔහු මෙසේ පැහැදිලි කළේ ය.
"සිරස ප්‍රවෘත්ති අංශයේ සේවය කරන අතරතුර චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයට උපදේශකවරයෙක් බඳවා ගන්න කොළඹදී සම්මුඛ පරීක්ෂණ පවත්වන බව මගේ යහළුවෙක් මට කිව්වා. ඒ වෙන කොට රජයේ සහ පෞද්ගලික මාධ්‍ය ආයතන රැසක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යවේදීන් විශාල පිරිසක් මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී තිබුණා. මම තමයි මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වුණු අන්තිමයා. අවසානයේදී මාව තමයි ඒ සඳහා තෝරා ගෙන තිබුණේ. ඇත්තට ම මේක මගේ වෘත්තීය ජීවිතයේ ලබපු ලොකු ජයග්‍රහණයක් වගේ ම මාධ්‍යවේදියෙකුට ලැබෙන දුර්ලභ අවස්ථාවක් ලෙසයි මා දකින්නේ. ඒ අනුව වසර 4ක් මම චීනයේ බෙයිජිං නුවර චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළා."

ඡායාරූප මූලාශ්‍රය, Sugath Rathnayake|Facebook
චීන සිසුන්ට සිංහල ඉගැන්වීමට අහම්බෙන් ලැබුණු අවස්ථාව
වසර 4ක් චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සේවය කළ සුගත්, 2020 වසරේ ලෝකය වෙළාගත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළේ ය. කොවිඩ් නීති අනුව ඔහුට චීනයේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා රජයෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතු විය.
සුගත් රත්නායකට යුන්නාන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වීමට අවස්ථාව හිමි වූයේ, එකී අවසරය ලබා ගැනීමේදී ඇති වූ ප්‍රමාදය හේතුවෙනි.
"මේ අවසරය එන්න ටික කාලයක් ගත වුණා. ඒ අතර තමයි යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයට එන්න කියලා මට ආරාධනා කළේ. ඉතින් මම ඒ ආරාධනය පිළිගත්තා. ඒ අනුව අපි 2020 සැප්තැම්බර් මාසයේ ළමයි 20 දෙනෙකුගෙන් සිංහල අධ්‍යයන අංශය ආරම්භ කළා. මම තමයි එහි පළමු විදේශීය කථිකාචාර්යවරයා. මාත් සමග තවත් චීන කථිකාචාර්යවරියන් තුන් දෙනෙක් අප අධ්‍යයනාංශයේ වැඩ කරනවා. ඇත්තට ම මෙය භාෂා අධ්‍යයන අංශයක් වුණාට අපි ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සමාජය, ආර්ථිකය, දේශපාලනය, සාහිත්‍ය, කලාව මේ සියල්ලක් ම උගන්වනවා.

ඡායාරූප මූලාශ්‍රය, Sugath Rathnayake|Facebook
ඇත්තට ම, මට යුන්නාන් විශ්වවිද්‍යාලයට එන්න කියලා මේ ආරාධනය ලැබුණේ මගේ අධ්‍යාපන පසුබිම සහ වෘත්තීය පළපුරුද්ද හේතුවෙන්. ශාස්ත්‍රවේදී උපාධියෙන් පස්සේ රැකියාව කරන අතරතුර තමයි මම ශාස්ත්‍රපති උපාධියත්, දර්ශනපති උපාධියත් දෙක ම හැදෑරුවේ," සුගත් රත්නායක පැවසීය.
අධ්‍යාපනය පළමු උපාධියෙන් නතර නොකළ යුතු බව සුගත් රත්නායකගේ අදහස යි.
"අද බොහෝ දෙනෙක් රැකියාවට ගියාට පස්සේ පළමු උපාධියෙන් ම අධ්‍යාපනයට තිත තියනවා. ශාස්ත්‍රීය හෝ වෘත්තීයමය පැත්තෙන් ඉදිරියට යාමක් ගැන හිතන්නේ බොහෝ ම සීමිත පිරිසක්. ඉතින් ඒකට කාටවත් බනින්න බැහැ. ඒකටත් විවිධ හේතු තියෙනවා. නමුත් මම කියන්නේ කුමන බාධක පැමිණියත්, තරුණ පරම්පරාව රැකියා පළපුරුද්ද වගේ ම අධ්‍යාපන හා වෘත්තීය කටයුතුවලිනුත් ඉදිරියට යන්න මහන්සි වෙන්න ඕන."
චීනයේදී ලැබූ ජයග්‍රහණ
චීන ගුවන් විදුලියේ සේවය කරන සමයේ ඔහුට චීනයේ ප්‍රදේශ රැසක සංචාරය කිරීමටත්, විවිධ උත්සවවලට සහභාගි වීමටත් අවස්ථාව සැලසිණි.
චීන සංස්කෘතිය හැදෑරීමට, විවිධ තරාතිරම්වල පුද්ගලයින් ඇසුරු කිරීමට ඔහුට ඉන් අවස්ථාව හිමි විය.
යුන්නාන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය ඇරඹීමෙන් පසු ඔහුට තවත් දොරටු රැසක් විවර විය.
ඔහු එහිදී විදේශීය කථිකාචාර්යවරයෙකු ලෙස ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය.
China Daily මාධ්‍ය ආයතනයේ සත්කාරකත්වයෙන් පැවති "My Campus Story" නමැති ජාත්‍යන්තර තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීම ඒ අතර ප්‍රධාන ය. රටවල් 115කින් ජාත්‍යන්තර සිසුන් ඉදිරිපත් කළ රචනා සහ කෙටි වීඩියෝ නිර්මාණ 1,474ක් අතරින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සුගත් රත්නායක සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Sugath Rathnayake|Facebook
ඊට අමතරව, චීනයේ යුන්නාන් පළාත් රජයේ තොරතුරු කාර්යාලය සහ විදේශ රටවල් සමග මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහා යුන්නාන් පළාත් ජනතා සංගමය සමඅනුග්‍රහයෙන් පැවැත්වූ "Love Yunnan iYunnan" නමැති කෙටි වීඩියෝ සහ රචනා තරගයෙන් විශිෂ්ටතා සම්මානයක් (Excellent award) ද ඔහුට හිමි විය. ඒ, රටවල් 37ක විදේශිකයින් ඉදිරිපත් කළ කෙටි වීඩියෝ 80ක් සහ රචනා 59ක් අතරිනි.
එමෙන් ම, පසුගිය කාලය පුරා විවිධ මාතෘකා ඔස්සේ චීනයේ පැවති ජාත්‍යන්තර සමුළු රැසක් ආමන්ත්‍රණය කිරීමට ඔහුට අවස්ථාව හිමි විය. ඒ අතර ප්‍රධාන දේශන (Keynote Speech), සමුළු දේශන (Forum Speech) හා උපසමුළු දේශන (sub Forum Speech) ද විය.
යුන්නාන් විශ්වවිද්‍යාලයට සිංහල පුස්තකාලයක්
සුගත් රත්නායකගේ මැදිහත් වීමෙන් යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල පොත් 1000කින් යුත් "ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව පුස්තකාලය" ආරම්භ කිරීම ද කැපී පෙනෙන සිදුවීමකි.
"මේ පුස්තකාලය ආරම්භ කිරීම මම ලැබූ වටිනා ම ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. යුන්නාන් විශ්වවිද්‍යලයේ සිංහල අධ්‍යයන අංශය ආරම්භ කරලා අවුරුදු දෙකක් යන්නටත් මත්තෙන් පරිත්‍යාගයක් ලෙස මේ පුස්තකාලය ආරම්භ කිරීමට මම වාසනාවන්ත වුණා. මේ හරහා ශ්‍රී ලාංකික අපේ පරිත්‍යාගශීලිභාවය හා මිත්‍රශීලිත්වය ලෝකයට පෙන්නුවා," සුගත් රත්නායක පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Sugath Rathnayake|Facebook
"සියල්ල ලැබුණේ අධ්‍යාපනය නිසයි"
"මට මේ සියල්ල කරන්න පුළුවන් වුණේ අධ්‍යාපනය නිසා යි. විශේෂයෙන් අපේ රටේ ක්‍රියාත්මක වෙන නිදහස් අධ්‍යාපනය නිසා තමයි මට ඉගෙන ගන්න පුළුවන් වුණේ. නැත්නම් අපි වගේ දුප්පත් පවුලක 11 දෙනෙකුට උගන්වන්න දෙමාපියන්ට කොහොමටවත් හැකියාවක් තිබුණෙ නෑ," සුගත් රත්නායක ප්‍රකාශ කළේ ය.
ඔහු සිය අත්දැකීම් සහ ජයග්‍රහණ ඔස්සේ තරුණ පරපුරට උපදෙසක් ද දුන්නේ ය.
"මම තරුණ පරපුරට කියන්නේ ඔබ කැමති සෑම දෙයක් ම නිසියාකාරව ඉගෙන ගන්න. ඔබට සාර්ථක වෙන්න පුළුවන් අධ්‍යාපනය ලැබීමෙන් විතර යි. අධ්‍යාපනය නිසා ඔබ ලෝකය තුළ මහිමයට පත්වන බව මගේ ජීවිතයෙන් ඉගෙන ගන්න පුළුවන්."












