ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා - කොදෙව්: ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ජයග්‍රහණය උඩුයටිකුරු කළ තෙවන එක්දින තරගය
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති තුන් වන එක්දින ක්‍රිකට් තරගයෙන් කොදෙව් කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි විය.
ඒ, ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව පන්දු වාර 22කදී ලකුණු 196ක් රැස් කරමිනි.
කාසියේ වාසිය කොදෙව්වන්ට
තරගයේ කාසියේ වාසිය කොදෙව් නායක ෂේ හෝප්ට හිමි වූ අතර, ඒ අනුව ඔහු පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්තේ ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉනිමේ 18 වන පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී ක්‍රීඩාංගණයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට සිදු විය.
පසුව, වර්ෂාව හේතුවෙන් තරගය එක් කණ්ඩායමක් සඳහා පන්දු වාර 23කට සීමා කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 156ක් රැස් කළේ ය.
එහිදී, කුසල් මෙන්ඩිස් පන්දු 22කදී ලකුණු 56ක් රැස් කළ අතර, පැතුම් නිස්සංක පන්දු 62කදී ලකුණු 56ක් රැස් කළේ ය.
පළමු සහ දෙවන තරගවලදී පිත්තෙන් දස්කම් දැක්වූ නිෂාන් මධුෂ්ක මෙම තරගයට ඇතුළත් කර නොතිබිණි.
කොදෙව්වන්ට ලකුණු 195ක ඉලක්කයක්
ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව කොදෙව් කණ්ඩායමට පන්දු වාර 23කදී ලකුණු 195ක ඉලක්කයක් හිමි විය.
ඒ අනුව, පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස බ්‍රැන්ඩන් කිං ලකුණු 16ක් ලබා සිටියදී දැවී යන විට කණ්ඩායම ලකුණු 36ක් ලබා සිටියේ ය.
නායක ෂේ හෝප් ලකුණු 22කට දැවී ගියේ ය.
ආරම්භක පිතිකරු එවින් ලුවිස් සහ ෂර්ෆන් රදර්ෆර්ඩ් දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් කොදෙව් ඉනිම ගොඩ නැගූහ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ මුල් භාගයේ කොදෙව් ඉනිම යම් පාලනයකට නතු කර ගත්ත ද, පන්දු වාර 2කදී කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය දෙසට තරගය තල්ලු වී ගියේ ය.
තරගය උඩුයටිකුරු වූ පන්දු වාර දෙක
කොදව් කණ්ඩායමේ 17 වන පන්දු වාරය අවසන් වන විට කඩුලු 2ක් දැවී ඔවුන් රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 125කි.
ඒ අනුව, පන්දු වාර 6කදී ජයග්‍රහණය සඳහා ලකුණු 70ක් රැස් කිරීමට සිදුව තිබිණි.
කෙසේ වෙතත්, නායක චරිත් අසලංක 18 වන පන්දු වාරයේදී ලකුණු 14ක් ප්‍රතිවාදීන්ට ලබා දුන් අතර, 19 වන පන්දු වාරයේදී මහීෂ් තීක්ෂණ ලකුණු 18ක් ලබා දුන්නේ ය.
ඒ අනුව, එම පන්දු වාර දෙකේදී ලකුණු 32ක් රැස් කිරීමට කොදෙව් පිතිකරුවෝ සමත් වූහ.
ලුවිස්ගේ ශතකය සහ රදර්ෆර්ඩ්ගේ අර්ධ ශතකය
ආරම්භක පිතිකරු එවින් ලුවිස් වේගවත්ව පන්දුවට පහර දුන් අතර තරගයේ අවසන් මොහොත දක්වා ඔහුට ශතකය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබේවි දැයි සැකයක් විය.
ඒ, ෂර්ෆන් රදර්ෆර්ඩ් වේගවත්ව ලකුණු රැස් කරමින් සිටි හෙයිනි.
කෙසේ වෙතත්, රදර්ෆර්ඩ් පන්දු 26කදී නොදැවී ලකුණු 50ක් රැස් කරමින් අවසන් ලකුණු ලබා ගැනීමේ අවස්ථාව එවින් ලුවිස්ට ලබා දුන්නේ ය.
ශතකයට ලකුණු 4ක් අඩුවෙන් සිටි එවින් ලුවිස් 22 වන පන්දු වාරයේ අවසන් පන්දුවේදී ලකුණු 6ක් රැස් කරමින් සිය ශතකය මෙන් ම ජයග්‍රාහී ඉලක්කය ද පසු කළේ ය.
ඒ අනුව, කඩුලු 8ක පහසු ජයක් කොදෙව්වන්ට හිමි විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස එවින් ලුවිස් සම්මානයට පාත්‍ර වූ අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 145ක් රැස් කළ නායක චරිත් අසලංක නම් කෙරිණි.
තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලියේ පළමු තරග දෙක ම කඩුලු 5කින් ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේ ජය හිමි කර ගත්තේ ය.