ෆවුජා සිං: ලොව 'වයස්ගත ම' මැරතන් ධාවකයා මහමගදී අනතුරට ලක්කර පළා යාමෙන් පසු මියයයි

Singh seen at his home in Beas Pind, next to a photo of him wearing a medal

ඡායාරූප මූලාශ්‍රය, Pardeep Sharma/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, බීබීසී පන්ජාබි කණ්ඩායම ජූනි මාසයේදී පන්ජාබ් ප්‍රාන්තයේ බියාස් පින්ඩ් ගම්මානයේ පිහිටි ඔහුගේ පාරම්පරික නිවසේදී ෆවුජා සිං මුණගැසිණි
    • Author, සෞරාබ් දුග්ගල්
    • Role, බීබීසී පන්ජාබි සේවය

ලොව වයස්ගත ම මැරතන් ධාවකයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය-ඉන්දියානු ජාතික ෆවුජා සිං, වයස අවුරුදු 114 දී ඉන්දියාවේ මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් තිබේ.

පන්ජාබ්හි ඔහු ඉපදුණු ගම්මානයේ මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී හඳුනා නොගත් වාහනයක් ඔහු අනතුරට පත් කර ඇති බව පොලිසිය පවසයි. ප්‍රදේශවාසීන් ඔහුව රෝහලට ගෙන ගිය නමුත් එහිදී ඔහු මිය ගියේ ය.

ගෝලීය වශයෙන් ප්‍රකට පුද්ගලයෙකු වන ෆවුජා සිං, වයස අවුරුදු 100 ඉක්මවූ විට ඔහු ඇතුළු විවිධ වයස් කාණ්ඩ සඳහා මැරතන් ධාවන වාර්තා පිහිටුවීය. ඔහු වයස අවුරුදු 89 දී දිවීම ආරම්භ කළ අතර 2000 සහ 2013 අතර කාලය තුළ විශ්‍රාම යාමෙන් පසු පූර්ණ මැරතන් ධාවන තරග නවයකට සහභාගි විය.

ඔහුගේ ධාවන සමාජය සහ පුණ්‍යායතනය වන "Sikhs In The City" ආයතනය පැවසුවේ, ඔහු 1992 සිට ජීවත් වූ නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆර්ඩ්හි ඔහුගේ ජීවිතය හා ජයග්‍රහණ සැමරීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබුණු බව ය.

මෙම අනතුර සිදුවූයේ, වසර 100ක් සපිරුණු ඔහුගේ උපන් ගම්මානය වන බියාස් පින්ඩ්හි ඇවිදිමින් සිටියදී ය.

"සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා, සැකකරු ඉක්මනින් අත්අඩංගුවට ගන්නවා," දිස්ත්‍රික් පොලිස් ඉහළ නිලධාරියෙකු වන හර්වින්දර් සිං පැවසීය.

ඔහුගේ මරණය පිළිබඳ පුවත සැලවීමත් සමග ම, උපහාර පිදීම් ගලා ආවේ ය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔහු හැඳින්වූයේ, "ඇදහිය නොහැකි අධිෂ්ඨානයක් ඇති සුවිශේෂී ක්‍රීඩකයෙකු" ලෙස ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

Sikhs In The City ආයතනයේ ෆවුජා සිංගේ පුහුණුකරු හර්මන්දර් සිං, පළ කළ නිවේදනයක ඔහුගේ මරණය තහවුරු කරමින්, ඔහුව "අපගේ මනුෂ්‍යත්වයේ සලකුණ සහ ධනාත්මකභාවයේ බලාගාරය" ලෙස හැඳින්වීය.

ජූනි මාසයේදී බියාස් පින්ඩ්හිදී බීබීසී මාධ්‍යවේදීන් ඔහු හමුවූ විට, ඔහු කඩිසර හා ක්‍රියාශීලීව සිටි අතර දිනපතා සැතපුම් කිහිපයක් ඇවිද ගියේ ය.

"මගේ කකුල් ශක්තිමත්ව තබා ගැනීමට මම තවමත් ගම වටේ ඇවිදිනවා. සියලු දෙනා තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත් විය යුතු යි," ඔහු පැවසීය.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා ගිනිසිළුව රැගෙන ගිය සිං, ඔහුගේ ධාවන දිවිය තුළ සන්ධිස්ථාන කිහිපයක් වාර්තා කළ අතර, 2011 දී ටොරොන්ටෝහි පූර්ණ මැරතන් තරගයක් සම්පූර්ණ කළ පළමු 100 හැවිරිදි පුද්ගලයා බවට පත්විය.

කෙසේ වෙතත්, ලොව වයස්ගත ම මැරතන් ධාවකයා යන ඔහුගේ විරුදාවලිය ගිනස් ලෝක වාර්තාව මගින් පිළිගනු ලැබුවේ නැත. මන්ද ඔහුට 1911 උප්පැන්න සහතිකයක් පෙන්වීමට නොහැකි වූ හෙයිනි. සිංගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ ඔහුගේ උපන් දිනය 1911 අප්‍රේල් 1 ලෙස දක්වා ඇති බවත්, ඔහුගේ 100 වන උපන්දිනයට සුබ පතමින් බ්‍රිතාන්‍ය රැජිණගෙන් ලිපියක් ලැබුණු බවත් බීබීසී එකල වාර්තා කළේ ය.

ඔහුගේ පුහුණුකරු හර්මන්දර් සිං පැවසුවේ, සිං ඉපදුණු කාලයේ ඉන්දියාව තුළ උප්පැන්න සහතික නිකුත් නොකළ බව ය.

ගිනස් ලෝක වාර්තා නිලධාරීන් පැවසුවේ, "ඔහුට ගිනස් වාර්තාව පිරිනැමීමට" ඔවුන් කැමති වුව ද, ඔවුන්ට "උපන් වර්ෂයේදී නිකුත් කරන ලද නිල උප්පැන්න සහතික පමණක් පිළිගත හැකි" බව ය.

පන්ජාබයේ හැදී වැඩුණු කුඩා පිරිමි ළමයෙකු ලෙස, සිංගේ කකුල් දුර්වල වූ අතර ඔහුට වයස අවුරුදු පහ වන තුරු නිසි ලෙස ඇවිදීමට නොහැකි වූ නිසා ඔහුගේ ගම් වැසියන් ඔහුට උසුළු විහිළු කළහ.

"ඔහුගේ දුර්වලකම ගැන සමච්චලයට ලක්වුණ ඒ පිරිමි ළමයා ම ඉතිහාසයක් නිර්මාණය කළා," ඔහු ජූනි මාසයේදී බීබීසී පන්ජාබි සේවයට පැවසීය.

ගොවියෙකු වූ සිං, වයස අවුරුදු 40 සම්පූර්ණ වීමට පෙර, ලෝක යුද්ධ දෙකෙහි ම කැලඹිලි සහිත තත්ත්වයන්ට මුහුණ දුන් අතර කම්පනයන්ට මුහුණ දී තිබිණි.

"මගේ තරුණ කාලේ 'මැරතන්' කියල වචනයක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ," සිං බීබීසී පන්ජාබි වෙත පැවසීය. "මම කවදාවත් පාසල් ගිහින් නැහැ, කිසි ම ආකාරයක ක්‍රීඩාවකට සම්බන්ධ වෙලාත් නැහැ. මම ගොවියෙක්, මගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ කුඹුරුවල."

ඔහු මුලින් ම දිවීම ආරම්භ කළේ, දුක අමතක කර ගැනීම සඳහා ය.

1990 දශකයේ මුල් භාගයේදී ඔහුගේ බිරිඳ ගියාන් කාවුර්ගේ මරණයෙන් පසු, ඔහු තම වැඩිමහල් පුත් සුක්ජින්දර් සමග ජීවත් වීමට ලන්ඩනයට ගියේ ය. නමුත් ඉන්දියාවේ සංචාරයකදී, ඔහුගේ බාල පුත් කුල්දීප් හදිසි අනතුරකින් මිය යන ආකාරය දුටු ඔහුට එය මහත් කම්පනයක් විය.

ශෝකයෙන් වෙළී සිටි සිං, තම පුත්‍රයා ආදාහනය කළ ස්ථානය අසල පැය ගණනක් වාඩි වී සිටියේ ය. කනස්සල්ලට පත් ගම්වැසියෝ ඔහුගේ පවුලේ අයට ඔහුව නැවත එක්සත් රාජධානියට ගෙන යන ලෙස උපදෙස් දුන්හ.

ලන්ඩනයේ ඉල්ෆර්ඩ්හිදී, සීක් කෝවිලට ගිය එක් අවස්ථාවක, සිං එකට දුවන වැඩිහිටි පිරිමින් පිරිසක් මුණගැසිණි. පසුව ඔහුගේ පුහුණුකරු බවට පත් වූ හර්මන්දර් සිං ද ඔහුට හමු විය.

"මට හර්මන්දර් සිං මුණගැහිලා නැත්නම්, මම මැරතන් ධාවන තරගයට යොමු වෙන්නේ නැහැ," ඔහු ජුනි මාසයේදී පැවසී ය.

Pictured Singh's blue and white running shoes covered, worn out from use

ඡායාරූප මූලාශ්‍රය, Saurabh Duggal/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆවුජා සිංගේ නම සහිත නිල්-සුදු ධාවන සපත්තු

ෆවුජා සිං 2000 වසරේදී ලන්ඩන් මැරතන් තරගයට සහභාගී විය, ඒ වයස අවුරුදු 89 සම්පූර්ණ වීමට මාසයකට පෙර ය. ඔහු ගෝල්ඩන් බොන්ඩ් ප්‍රවේශය හරහා ඊට සහභාගී විය. (පුණ්‍යායතන විසින් ගාස්තුවක් ගෙවා මැරතන් තරගයේ ස්ථාන කිහිපයක් කලින් මිල දී ගන්නා ක්‍රමයකි.) ඔහු නොමේරූ ළදරුවන්ට ආධාර කරන පුණ්‍යායතනයක් වන BLISS සඳහා තරග කිරීමට තෝරා ගත්තේ ය. ඔහුගේ ආදර්ශ පාඨය: "බාලතමයා සඳහා වයස්ගතමයා දිවීම! ඔවුන් ඔහු තරම් කාලයක් ජීවත් වේවා" යන්න ය.

සිං පවසන්නේ, ධාවනයට පෙර ඉසව් නිලධාරීන් තමන්ට පට්කා (බොහෝ සීක් පිරිමි ළමයින් සහ පිරිමින් විසින් පළඳින හිස්වැස්මක්) පමණක් පැළඳිය හැකි බවත් හිස්වැස්මක් පැළඳිය නොහැකි බවත් පැවසූ බව ය.

"මගේ හිස්වැස්ම නොමැතිව ධාවනයේ යෙදීම මම ප්‍රතික්ෂේප කළා. අවසානයේදී, සංවිධායකයින් මට එය රැගෙන දුවන්න අවසර දුන්නා, මට නම්, ඒක මගේ ලොකු ම ජයග්‍රහණය යි," ඔහු පැවසීය.

ඔහු පැය හයක් සහ මිනිත්තු 54කින් තරගය නිම කළේ, විශිෂ්ට ගමනක ආරම්භය සනිටුහන් කරමිනි.

ලන්ඩන් මැරතන් තරගයේ ඔහුගේ අඛණ්ඩ තුන් වන අවස්ථාව වන විට, ඔහු ඔහුගේ පෙර හොඳ ම කාලයට වඩා මිනිත්තු නවයක් අඩු කරගෙන තිබිණි.

2003 වසරේදී, ටොරොන්ටෝ වෝටර්ෆ්‍රන්ට් මැරතන් තරඟයේදී, ඔහු පැය එකයි මිනිත්තු පහකින් විස්මයජනක ලෙස තම වේගය වැඩි දියුණු කර ගත් අතර, පැය පහයි මිනිත්තු 40කින් තරගය නිම කළේ ය.

2004 දී අඩිඩාස් සමාගම විසින් මොහොමඩ් අලි වැනි දැවැන්තයින් ද ඇතුළත් ඔවුන්ගේ වෙළෙඳ දැන්වීම් සඳහා ෆවුජා සිං අත්සන් කළ විට ඔහු ජාත්‍යන්තර කීර්තියට පත්විය.

2005 වසරේදී, එවකට පකිස්ථාන අගමැති විසින් ඔහුට පළමු ලාහෝර් මැරතන් තරගයට සහභාගී වන ලෙස ආරාධනා කරන ලදී. වසරකට පසුව, 2006 දී, බකිංහැම් මාලිගය නැරඹීමට දෙවන එලිසබෙත් රැජිණගෙන් විශේෂ ආරාධනයක් ඔහුට ලැබිණි.

පන්ජාබයේ ෆවුජා සිංගේ නිවසේ ප්‍රදර්ශනය කර ඇති බොහෝ සිහිවටන සහ සහතික අතර ඔහු රැජිණ සමග සිටින රාමු කරන ලද ඡායාරූපයක් ද ඇත.

A wall with Singh's certificates and photos.

ඡායාරූප මූලාශ්‍රය, Pardeep Sharma/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, පන්ජාබයේ ෆවුජා සිංගේ නිවසේ බිත්තියේ එල්ලා ඇති සිහිවටන සහ සහතික කිහිපයක්

ඔහු වයස අවුරුදු 100 ගෙවුණු පසුව ද මැරතන් තරග සඳහා දිගට ම සහභාගී වූ අතර "ටර්බන්ඩ් ටෝනාඩෝ" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබී ය. ඔහුගේ අනුග්‍රහකයින්ගෙන් ලැබෙන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ඍජුව ම පුණ්‍යාධාර ආයතන වෙත පරිත්‍යාග කළේ ය.

"මම ධාවන ලෝකයට එන්න කලින් හිටපු ෆවුජා සිං ම තමයි. ඒත් දුවන්න පටන් ගත්තට පස්සේ මගේ ජීවිතයට අර්ථයක් ලැබුණා විතරක් නෙවෙයි ගෝලීය පිළිගැනීමකුත් ලැබුණා," ඔහු සිහිපත් කළේ ය.

2013 වසරේදී, ඔහු හොංකොංහි පැවති ඔහුගේ අවසන් දිගු දුර තරගයට සහභාගී වූ අතර, පැයයි මිනිත්තු 32ක් සහ තත්පර 28කින් ඔහු කිලෝමීටර් 10ක දුරක් සම්පූර්ණ කිරීමට සමත් විය.

ඔහුගේ අවසන් වසර කිහිපයේදී, සිං තම බාල පුතා ජීවත් වන ඉන්දියාව සහ ඔහු පදිංචි වී සිටි එක්සත් රාජධානිය අතර කාලය බෙදා ගත්තේ ය.

ඔහු තම සෞඛ්‍ය සම්පන්නභාවය හා දීර්ඝායුෂ ලැබීමට හේතුව ලෙස දක්වන්නේ, සරල ජීවන රටාවක් සහ විනයගරුක ආහාර වේලක් ලබා ගැනීම ය.

"අඩුවෙන් කෑම කන එක, වැඩිපුර දුවන එක සහ සතුටින් ඉන්න එක - ඒක තමයි මගේ දීර්ඝායුෂ පිටුපස තියෙන රහස. හැමෝට ම මගේ පණිවිඩය ඒක යි," ඔහු ජූනි මාසයේදී පැවසීය.

අතිරේක වාර්තාකරණය: ප්‍රදීප් ශර්මා