රිළවුන් අඩු කිරීමේ ව්‍යාපෘතියක් අරඹයි: 'උගුල් අටවා අල්ලා' වන්ධ්‍යාකරණයට ලක් කරන හැටි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
රිළවුන් වන්ධ්‍යාකරණ නියමු ව්‍යාපෘතියක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 45ක මුදලක් වෙන් කර තිබේ.
මෙම නියමු ව්‍යාපෘතියේදී උගුල් කූඩු අටවා රිළවුන් අල්ලාගෙන ගිරිතලේ සත්ව සුරැකුම් කඳවුරට ගෙන ගොස් වන්ධ්‍යාකරණයට ලක් කර යළි මුදා හැරීමට නියමිත ය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුතුව දෙසැම්බර් 11 දින පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ බව ප්‍රකාශ විය.
කමිටු රැස්වීමේදී අදහස් දැක්වූ නියෝජ්‍ය ගමගෙදර දිසානායක පැවසුවේ, දෙසැම්බර් 12 මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන බව ය.
"මෙම රිළවුන් වඳ කිරීමේ ව්‍යාපෘතිය අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලත්, දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුත් මැදිහත් වෙලා ආරම්භ කරලා තියෙනවා. ආරම්භක දිනය වශයෙන් හෙට දිනයේදී [දෙසැම්බර් 12] අපි මේ කටයුත්ත ආරම්භ කරනවා," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.
අමිහිරි අත්දැකීම්
"අපේ ගෙදරට හොරු පැනලා වගේ"
මේ මාහට මීට දින කිහිපයකට පෙර මගේ මවගෙන් ලැබුණු ඇමතුමකි.
කාර්යාලයේ සේවයේ යෙදී සිටින අතරතුර මගේ මවගෙන් පැමිණි එම ඇමතුමෙන් කලබල වූ මම ඇයගෙන් සිදු වී ඇත්තේ කුමක් දැයි විමසා සිටියෙමි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඇය පැවසුවේ, රිළවුන් රංචුවක් නිවස තුළට පැන සියලු ම එළවළු හා පලතුරු කා දමා, රයිස් කුකරයේ පියන ඉවත් කර එහි තුබූ බත් ද කා දමා තිබූ බව ය.
මා කුඩා කාලයේ පටන් ජීවත් වූ ප්‍රදේශයේ එතරම් රිළවුන් ගහනයක් ඇති වූයේ කෙසේ දැයි මාහට පුදුම සිතුණේ, ඉඳ හිට දුටු රිළවෙකු දෙන්නෙකු මිස අප දැක තිබූයේ කළු වඳුරන් පමණක් වූ බැවින් ය.
මේ පිළිබඳව මා කාර්යාල සගයන් සමග අත්දැකීම් හුවමාරු කර ගත් විට ඔවුන්ගෙන් සමහරෙකු ද පැවසුවේ ඔවුන්ගේ නිවෙස් පිහිටි ප්‍රදේශවල ජනතාව ද මෙම ගැටලුවට මුහුණ දෙන බව ය.
මෑතකදී මා අනුරාධපුර පූජා නගරයේ චාරිකාවක යෙදී සිටියදී දුටු දසුනක් ද මා හට සිහි විය.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අරමුණින් පැමිණ සිටි විදේශීය පවුලක කුඩා දරුවන් දෙදෙනෙකු නෙළුම් මල් පොකුරු දෙකක් ගෙන සිය දෙමව්පියන් සමග යමින් සිටියේ රුවන්වැලි සෑය දෙසට ය.
එම මාර්ගය දෙපස රිලවුන් විශාල පිරිසක් සිටි අතර, රිළවුන් කිහිප දෙනෙකු එම කුඩා දරුවන් දෙදෙනා වෙත ක්ෂණයෙන් පැන මල් පොකුරු උදුරාගෙන ගිය අතර, එම කුඩා දරුවෝ බෙහෙවින් බියට පත්ව සිටිය හ.
එප්පාවල, ගල්නෑව ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත වන මාගේ මිතුරෙකු ද මෑතකදී මා සමග පැවසුවේ, ඔවුන්ගේ පොල් සහ කෙසෙල් අස්වැන්නට රිලවුන්ගෙන් විශාල වශයෙන් හානි සිදුවන බව ය.
වගා ආරක්ෂා කර ගැනීම සඳහා රතිඤ්ඤා වැනි දෑ භාවිත කළත් දැන් රිලවුන් ඒවාට පුරුදු වී සිටින බව ඔහු පැවසුවේ ය.
මේ මා ඉතා ම මෑත කාලයේදී අත්විඳි අත්දැකීම් කිහිපයකි.
රිළා ගහනය මෙතරම් වැඩි වුණේ ඇයි?
රිළවුන්ගේ ගහනය වැඩි වී තිබීමට හේතුව කුමක්දැයි අප ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපතිනිය වන ජ්‍යේෂ්ඨ මහාචාර්ය චාමලී නාහල්ලගේගෙන් විමසීමක් කළෙමු.
"රිළවුන්ගේ ගහණය එක්වර ම වැඩි වෙලා කියලා කියන්න බෑ. විවිධ සංවර්ධන වැඩ සහ වගාකිරීම් නිසා වනාන්තර ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. එතකොට වනාන්තර ඇතුළේ හිටපු රිළවුන්ට වාසස්ථාන අහිමි වීමත් එක්ක ඔවුන් මිනිස් වාසයන් තියෙන ගම්වලට එන්න පුරුදු වෙලා තියෙනවා," ඇය පෙන්වා දුන්නා ය.
රිළවුන් ස්වභාවිකව පාලනය නොවීම ද රිළවුන් බෝවීම වැඩි වීමට හේතුවක් වී ඇතැයි ඇය පැවසුවා ය.
"රිළවුන්ව දඩයම් කරන විලෝපිකයින් වන පිඹුරෝ, නරි වගේ සත්තුන් අඩු වෙමින් යනවා. ඒ නිසා රිළවුන් ව දඩයම් කරන්න විලෝපිකයන් අඩු වෙලා. මේ නිසා ස්වභාවික පාලනයක් සිදුවෙන්නේ නෑ. ඒකත් රිළවුන් වැඩි වෙන්න හේතුවක් වෙලා තියෙනවා."
වැඩිදුරටත් අදහස් දැක් වූ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරිය පෙන්වා දුන්නේ රිළවුන් පාලනය කිරීම සඳහා ගහනය වැඩි ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවලට ගෙන ගොස් දැමීම ද ප්‍රශ්නය තවත් සංකීර්ණ කරන බව ය.
"රිළවුන් වැඩි පූජා නගර වගේ පැතිවලින් අරගෙන ගිහින් කැළෑවට දැම්මට ඒ රිළවු දන්නේ නෑ කැළේ ඇතුළේදි කෑම හොයාගන්න. මොක ද එයාලා මිනිස්සු ඉවත දාන දේවල් හෝ දෙන දේවල් කන්න පුරුදු වෙලා මිනිස්සු එක්ක ම ඉන්න පුරුදු වෙලා නිසා. එතකොට ඒ රිළවු ඒ කැළෑවෙන් එළියට ඇවිත් ආපහු ඒ ආශ්‍රිත ගම්වලට එනවා," ඇය පෙන්වා දුන්නා ය.
"මේ ක්‍රමවේදය ලෝකයේ කරන්න සුදුසු නෑ කියලා පිළිගත්ත ක්‍රමවේදයක්. එහෙම තැනක ඉන්න සතෙක් තවත් තැනකට ගිහින් දැම්මා ම ඒ සත්තුන්ට ඒ ප්‍රදේශවල ඉන්න අමාරු යි."
ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක් ද?
ශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන සතුන් අතරින් රිළලවා යනු ප්‍රධාන වශයෙන් ම වගා හානි සිදු කරන සත්වයෙකි.
රිළවුන් බොහෝ විට පොල් සහ පලතුරු අස්වැන්නට හානි කරන බව ගොවියෝ චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් විවිධ ආණ්ඩුවලින් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට උත්සහ කළ නමුත් මෙතෙක් ඒවා සාර්ථක වී නොමැත.
පසුගිය වසරේදී විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මහින්ද අමරවීර කටයුතු කළ සමයේ රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන වෙත යැවීමට යෝජනා වූ නමුත් සත්වවේදීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ එම යෝජනාව හකුළා ගැනීමට අමාත්‍යවරයාට සිදුවිය.
නව රජයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙසැම්බර් 05 වන දා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූයේ ය.
"රිළා ප්‍රශ්නය බරපතළ ම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ අය මේක කතා කරන්න පටන් අරන් තියෙනවා මේක රිළා ත්‍රස්තවාදයක් කියලා. ඒ ජාතියේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පොදුවේ ගත්තොත් වන සතුන්ගෙන් වන හානි බරපතළ ම ප්‍රශ්නයක් වෙලා තියෙනවා," ඔහු පැවසුවේ ය.
"ලංකාවේ ගොවි ජනතාවට කියන්නේ ඕනේ කාරණයක්, වගාවට හානි කරන මේ සත්තු තමන්ගේ වගා භූමියේදී අර වගාවට වෙන වෙනත් හානි සම්බන්ධයෙන් කටයුතු කරද්දී කරනවා වගේ ම, වගාවට වන හානිවලදී තමන්ගේ ඉඩම තුළදී, ගොවිපොළ තුළදී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවි ජනතාවට කිසි ම නීතිමය බාධාවක් නෑ. ගන්න පුළුවන් ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි කියනවා."
ඔහු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සංවාදයක් ඇති වී තිබේ.
අමාත්‍යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් සිය අමාත්‍යංශය කඩිනමින් විසඳුමක් ලබා දෙන බව ය.
"මේ ප්‍රශ්නයට උත්තර හොයන්න අපි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය වගකීම බාර අරගෙන තියෙනවා මේ ප්‍රශ්නෙ අපි වැඩිකල් යන්න කලින් විසඳනවා කියන පණිවුඩය මුලින් ම දෙන්න කැමති යි."
සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීහු විරෝධය දක්වති
අමාත්‍යවරයා පෙර දින පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සත්ව ශුභසාධනය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් පිරිසක් දෙසැම්බර් 06 දින පොල්දූව මංසන්ධියට එක් වී නිහඬ විරෝධතාවක් දැක්වූහ.
එහිදී අදහස් දැක්වූ සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් වන ආචාර්ය අජන්තා පෙරේරා ලාල් කාන්ත අමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරෝධය දැක්වූවා ය.
"දැන් මිනිස්සු ගෙවල් හදලා තියෙන්නේ, ගොවිපොළවල් දාලා තියෙන්නේ ඉස්සර සත්තු හිටපු වනාන්තර එළි කරලා. එහෙම කරලා සත්තුන් ඒ සත්තුන්ගේ වාසස්ථාන හොයාගෙන ආවා ම ගොවි මහත්තුරුන්ට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියන එක හරි ද කියලා මම ලාල්කාන්තගෙන් අහන්න කැමති යි," ඇය පැවසුවා ය.
"අලියෙක් ආපහු ඒ අලියා පැටවු දාපු හැදී වැඩුණු පරිසරයට එන විට එතන වනාන්තරය නැතිනම් ඒ සතා වැරදි වෙන්නේ කොහොම ද?" ඇය විමසයි.
මේ සම්බන්ධයෙන් පරිසර මධ්‍යස්ථානය ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබිණි. සමාජ මාධ්‍ය තුළ ද ඒ පිළිබඳ සංවාදයක් ගොඩ නැගී තිබිණි.
'ඇමතිවරයාගේ ප්‍රකාශය නීති විරෝධී යි'
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව නීති විරෝධී බව ය.
එම පනතේ 53(අ) උප වගන්තියට අනුව වන සතුන් මැරීම හෝ මත් කිරීමට වස හෝ පුපුරන ද්‍රව්‍ය භාවිතයත්, 52 වගන්තියට අනුව කෘත්‍රිම ආලෝකයකින් සත්ත්වයාගේ පෙනීම මුලා කර අල්ලා ගැනීම ද තහනම් බව සජීව චාමිකර උපුටා දක්වයි.
පනතේ 59 වගන්තියට අනුව මෙවැනි නීති විරෝධී ක්‍රියාවක් සිදු කිරීමට තැත් කරන හෝ වරදක් කිරීමට අනුබල දෙන ඕනෑ ම තැනැත්තෙකු ඒ වරද ම කළ බවට සලකා දඬුවම් ලබා දිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
තව ද ඔහු පෙන්වා දෙන්නේ, වත්මන් රජයේ "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ, "මිහිකත, ඔබ, අප, මතු පරපුරේ උරුමය වෙනුවෙන්" යන පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු හා ඇමතිවරයාගේ ප්‍රකාශය පරස්පර බව යි.
වගාවන්ට හානි පමුණුවන සතුන්ගේ වර්ධනය පිළිබඳ නිවැරදි අධ්‍යනයක් සිදු කර ජීව විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් ගහණය පාලනය කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ අන්තර්ගත වූ බව ඔහු පවසයි.
මෙම ප්‍රතිපත්ති ලේඛනවලට පමණක් සීමා කිරීම ආණ්ඩුව ජනවරමට පිටින් කටයුතු කිරීමක් බව නිවේදනයේ සඳහන් ය.
ගත හැකි විසඳුම කුමක් ද?
සතුන් නිසා සිදුවන වගා හානි අවම කරගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට අවශ්‍ය වූවත් ඒ සඳහා ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නැතැයි පාර්ලිමේන්තුවේදී කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා පැවසුවේ ය.
රිළවුන් වන්ධ්‍යාකරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද ප්‍රමාණවත් පශු වෛද්‍යවරුන් සංඛ්‍යාවක් නැතැයි ඔහුට දැනගන්නට ලැබුණු බව ද ඔහු පැවසුවේ ය.
රිළවුන් පාලනය කිරීමට ගත හැකි යම් පියවරක් තිබේ ද? යන්න පිළිබඳව බීබීසී සිංහල විසින් ජ්‍යේෂ්ඨ මහාචාර්ය චාමලී නාහල්ලගේගෙන් විමසන ලදී.
ඇය පැවසුවේ, මිනිසා සහ රිළවා අතර සහ පැවැත්මකින් (coexistance) මෙම ගැටලුව විසඳීම කළ යුතු බව ය.
"අපේ රටේ ඉන්න රිළවාගේ උපවිශේෂ තුනක් ඉන්නවා. ඔවුන් අපේ රටට ඒකදේශීය සතුන්. රිලවා අයිති වෙන්නෙත් අපි අයිති වෙන ප්‍රිමාටා කියන සත්ව ගෝත්‍රයට. ඒ නිසා ඔවුන්ට දේවල් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්," ඇය පෙන්වා දෙයි.
"මේ නිසා අපි විවිධ පාලන ක්‍රම භාවිත කළාට එයාලා ඒවා මගහැරලා යන්න ඉක්මනින් ම පුරුදු වෙනවා."
"ගොඩක් වෙලාවට රිළවු ඉන්නේ ඒ අයට ලේසියෙන් කෑම හොයා ගන්න පුළුවන් තැන්වල. පූජා ස්ථාන ආශ්‍රිතව රිලවු ඉන්නේ ඒ නිස යි. ඒ නිසා මිනිස්සු කල්පනා කරලා කසළ බැහැර කිරීම වගේ දේවල් හරියට කළොත් රිලවුන්ට කෑම ලේසියෙන් හොයා ගන්න බැරි නිසා ඒ වෙනුවට ආපහු කැළේට යන්න වෙන්න පුළුවන්."
ඇය පෙන්වා දෙන්නේ, මෙය එක්වර ම ගත හැකි පියවරයන්ගෙන් විසඳීම අපහසු බව ය.
"මෙතන පැහැදිලිව ම මිනිස්සුන්ගේ වගාවන්වලට හානි වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපට රිළවුන්වත් රැක ගන්න අවශ්‍ය යි. සත්තුන්ට හරි වැරැද්ද මොකක් ද? කියලා තේරෙන්නේ නෑ. ඒ නිසා මිනිස්සුන්ට සිදුවෙනවා ඒ සත්තුන්වත් ආරක්ෂා කරගෙන මේ සම්බන්ධයෙන් විසඳුමක් ගන්න."














