මදුරුවන්ගේ ලිංගික හැසිරීම පාලනය කිරීමෙන් ඩෙංගු ව්‍යාප්තිය අඩු වෙයි ද?

A mosquito sits on a person's hand, ready to take a blood meal

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, මිෂෙල් රොබට්ස්
    • Role, ඩිජිටල් සෞඛ්‍ය සංස්කාරක, බීබීසී පුවත්

ඩෙංගු, කහ උණ සහ සිකා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝගවලට එරෙහිව සටන් කිරීමට අමුතු ම ක්‍රමවේදයක් සොයාගෙන ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති - ඒ, පිරිමි මදුරුවන් බිහිරි කරවීමෙන් සංසර්ගයට හා ප්‍රජනනයට බාධ කරවීමෙනි.

ගුවනේ පියාසර කරන අතරතුර මදුරුවන් ලිංගිකව හැසිරෙන අතර පිරිමි සතුන් ගැහැනු සතෙකු පසුපස හඹා යනු ලබන්නේ ගැහැනු මදුරුවන්ගේ තටු සැලීමේ ආකර්ෂණීය ශබ්දයට සවන්දීමෙනි.

මෙම ශබ්දයට සවන්දීම සඳහා පිරිමි මදුරුවන් භාවිතා කරන ජාන, වෙනස් කරමින් පර්යේෂකයන් විසින් අත්හදා බැලීමක් සිදු කරන ලදී. එහි ප්‍රතිඵලය වුයේ - දින තුනක් එකම කූඩුවක සිටියත් ඔවුන් ගැහැනු සතුන් සමඟ කිසිදු ශාරීරික සම්බන්ධතාවක් නොපවත්වන බවය.

ගැහැනු මදුරුවන් මිනිසුන්ට රෝග බෝ කරන්නන් වීම නිසා ඔවුන් ළදරුවන් බිහිකිරීම වැළැක්වීමට උත්සාහ කිරීම සමස්ත මදුරු ගහනය අඩු කිරීමට උපකාරී වේ.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක්, වන ඉර්වින් (Irvine) වසරකට මිලියන 400 ක පමණ පිරිසකට වෛරස් ව්‍යාප්ත කරන ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) මදුරුවන් පිළිබඳ අධ්‍යයනය කළේය.

තත්පර කිහිපයක සිට මිනිත්තුවකට අඩු කාලයක් අතර පැවතිය හැකි කෘමීන්ගේ ‘ගුවන් සංසර්ග පුරුදු - පිළිබඳ ඔවුහූ නිරීක්ෂණය කළ අතර - ජාන විද්‍යාව භාවිතයෙන් එය කඩාකප්පල් කරන්නේ කෙසේදැයි සොයා ගත්හ.

ඔවුන් ඉලක්ක කළේ ඇසීමට අත්‍යවශ්‍ය යැයි හැගෙන trpVa නම් ප්‍රෝටීනයකි.

විකෘති වූ මදුරුවන් තුළ, සාමාන්‍යයෙන් ශබ්දය හඳුනා ගැනීමට සම්බන්ධ වන නියුරෝන, සහකාරියන්ගේ පියාපත් නාදවලට හෝ පියාපත් ස්පන්දනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සිත් ඇදගන්නාසුළු ඝෝෂාව බිහිරි කන්වලට නෑසුණි.

ඊට පරස්පරව, සාමාන්‍ය (විකෘති නොවූ) පිරිමි මදුරුවෝ ඉක්මනින් ම, කිහිප වතාවක් සංසර්ගයේ යෙදී, ඔවුන්ගේ කූඩුවේ සිටින සියලුම ගැහැනු සතුන් පාහේ සංසේචනය කළහ.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්, PNAS සඟරාවේ සිය පර්යේෂණ කෘතිය ප්‍රකාශයට පත් කර තිබේ. බිහිරි පිරිමින්ගේ සංසර්ගය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බැවින්, ඔවුන් අවධාරණය කළේ, ජාන වෙනස් කිරීමේ බලපෑම "නියත" බවයි.

ජර්මනියේ ඕල්ඩන්බර්ග් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජෝර්ග් ඇල්බට් මදුරුවන්ගේ ප්‍රජනනය පිළිබඳ විශේෂඥයෙක් වන අතර ඔහු පර්යේෂණයෙන් කළේ කුමක්දැයි මම ඔහුගෙන් විමසුවෙමි.

ඔහු පැවසුවේ ශබ්ද සංවේදනය තුරන් කිරීම මදුරුවන් මර්දනය සඳහා හොඳ මාර්ගයක් වන නමුත් එය අධ්‍යයනය කර කළමනාකරණය කළ යුතු බවයි.

"අධ්‍යයනය පළමු සෘජු අණුක පරීක්ෂණයක්, මේකෙන් ඇඟවෙන්නේ ශ්‍රවණය සැබවින්ම මදුරුවන්ගේ ප්‍රජනනය සඳහා වැදගත් වනවා විතරක් නොවෙයි අත්‍යවශ්‍ය වෙනවා කියන එක”

"පිරිමි සතුන්ට ඇසීම සහ ශබ්ද ලුහුබැඳ යාමේ හැකියාව නැති වෙන කොට - ගැහැනු මදුරුවන් වඳ වී යන්න පුළුවන්."

පර්යේෂකයින් ගවේෂණය කරන තවත් ක්‍රමයක් වන්නේ මදුරුවන්ගෙන් ව්‍යාප්තවන රෝග ඇති ප්‍රදේශවලට වඳ පිරිමි සතුන් මුදා හැරීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මදුරුවන්ට රෝග රැගෙන යා හැකි වුවද, ඒවා ආහාර දාමයේ වැදගත් කොටසකි - උදාහරණයක් ලෙස මාළු, කුරුල්ලන්, වවුලන් සහ ගෙම්බන් සඳහා පෝෂණය සපයයි - සමහරු වැදගත් පරාග කාරක වේ.