කොළඹ නගර සභා ඡන්දයට පැවති බාධා ඉවතට

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (අප්‍රේල් 7 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි මස 6 වන දා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (අප්‍රේල් 11) නියම කළේ ය.

එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ ය.

එහිදී වග උත්තරකාර තේරීම් භාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට අදාළව වග උත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් නොකරන බව දැනුම් දුන්නේ ය.

මෙම නාම යෝජනා සම්බන්ධයෙන් වග උත්තරකරුවන් නීත්‍යනුකූලව කටයුතු කර ඇති බවත්, කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ, අදාළ ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා යළි භාර ගන්නා ලෙස තේරීම්ර භාර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගනු ලැබූ තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළේ ය.

ඉන් අනතුරුව එසේ ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් තවත් රිට් ආඥාවක් තේරීම් භාර නිලධාරීන් වෙත ද නිකුත් කෙරිණි.

ඒ අනුව උඩපළාත, පාතදුම්බර, පන්විල, අකුරණ, හාරිස්පත්තුව, හඟුරන්කෙත, කුලියාපිටිය ඇතුළු පළාත් පාලන ආයතන 18ක මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝග ඉවත් කිරීමට නියම කෙරිණි.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අප්‍රේල් 7 වන දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඊට අමතරව හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින්ද අධිකරණ නියෝග නිකුත් කර තිබිණි.

සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබිණි.