ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (ඔක්තෝබර් 26 වැනිදා) පෙරවරු 7ට ආරම්භ විය.
    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (ඔක්තෝබර් 26 වැනිදා) අද පස්වරු 4:00ට අවසන් විය.

ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වුණු අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 63%ක් විය.

ඒ අනුව, මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන තුළ ම ඡන්ද ගණනය කිරීම ආරම්භ වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළේ, අද රාත්‍රී 10:00න් පසු සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ය.

සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු මැතිවරණය මෙයයි.

පුංචි ඡන්දයක් ලෙස පැවැත්වුණ ද, මහ මැතිවරණ උණුසුම මැද පැවැත්වෙන මෙම ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල වැඩි අවධානයක් යොමු වී තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා එක් ස්වාධීන කණ්ඩායමක් සහ දේශපාලන පක්ෂ 8ක් තරග කරයි.

ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනසෙත පෙරමුණ, සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් සන්ධානය, ජාතික ජනතා පක්ෂය, දෙවන පෙරමුණ එම පක්ෂ අතරට අයත් ය.

ඡන්ද මධ්‍යස්ථාන 47කදී මේ වන විට ඡන්ද විමසීම පැවැත්විණි.

මෙම මැතිවරණයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28 දෙනෙකු තොරා පත් කර ගැනීමට නියමිතය.

රටේ අනෙකුත් පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම්වලින් වෙන් ව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම වෙන ම පැවැත්වෙන්නේ ඇයි?

2018 වසරේදී හරස්වුණු තහනම් නියෝගය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ, ඒ වන විට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ හෙයිනි.

2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබිණි.

ඒ අනුව, 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ, එම නඩුව අවසන් වන තුරු එම ඡන්දය පැවැත්වීම වළක්වාලමිනි.

2019 වර්ෂයේදී එම පෙත්සමේ අවසන් තීන්දුව ලබා දුන් අතර, එහිදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පිළිගෙන නැවත මැතිවරණය පවත්වන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කරන ලදී.

2019 ඔක්තෝබර් 11 වන දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ අතර, ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේ ය.

'නිල කාලය අවසන් නිසා මැතිවරණය පවත්වනවා'

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම රටේ අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර පැවැත්වීමට හේතුව කුමක්දැයි බීබීසී සිංහල සේවය මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු පැවසුවේ, එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් නිසා නියමිත කාලයට මැතිවරණය පවත්වන බව ය.

"නඩු තීන්දුව දුන්නයින් පසුව මැතිවරණය පවත්වලා දැන් ඒ නිල කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මැතිවරණය පවත්වන්නේ," මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.

එහිදී අප විමසුවේ, අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර මෙය පවත්වන්නේ ඇයි ද යන්න ය. එයට කොමසාරිස් ජනරාල්වරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

"ඒ මැතිවරණය ගිය අවුරුද්දෙ පවත්වන්න තිබුණේ. නමුත් ඒක කල් ගියා. ඒකට අපට කරන්න දෙයක් නෑ. දැන් මේ පළාත් පාලන ආයතනය පත්වෙලා අදාළ කාලය ගත වෙලා ඉවර නිසා තමයි මේ නිසි කාලයේදී මැතිවරණය පවත්වන්නේ," ඔහු පැවසුවේ ය.

කල් දැමූ පළාත් පාලන මැතිවරණය - 2023

2023 පළාත් පාලන මැතිවරණය නොපවත්වා කල් දමන විටත් මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණය සඳහා රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර තිබිණි.

පළාත් පාලන මැතිවරණය පසුගිය වසරේ එනම්, 2023 මාර්තු 09 වන දින පැවැත්වීමට සූදානම් කර තිබූ අතර, තැපැල් ඡන්දය සලකුණු කිරීම පෙබරවාරි 22, 23, 24 සහ 28 දින දිනවල පැවැත්වීමට නියමිතව තිබිණි.

නමුත් එම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නියමිත දිනයට සිදුකර ගැනීමට නොහැකි වූ නිසා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කළේ ය.

එම මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ අතර, එයට විරුද්ධව නැවත පෙත්සම් ඉදිරිපත් විය.

අවසානයේදී මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට දින නියම කළත් එම දිනයේ ද මැතිවරණය පැවැත්වීමට හැකි වූයේ නැත.

මෙම මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය රජයට පළාත් පාලන මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා තබා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමක එය නොතකමින් වීම ද විශේෂත්වයකි.

කල් ගිය පළාත් පාලන මැතිවරණය, මහ මැතිවරණය අවසන් වීමෙන් පසු පැවැත්වීමට බලාපොරොත්තු වන බව මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරන ලදී.

2023 මාර්තු 19 වනදාට පසුව පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් වීමත් සමග ම ඒවායේ පාලනය මහජන නියෝජිතයන්ගෙන් ගිලිහී විශේෂ කොමසාරිස්වරුන් අතට පත්විය.

ඒ අනුව, මහ නගර සභා 29ක බලය නාගරික කොමසාරිස්වරුන් යටතට පත්ව ඇති අතර නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක බලය එම ආයතනවල ලේකම්වරුන්ට පැවරී ඇත.

ඇල්පිටිය පුංචි ඡන්දය කුමක් සඳහා ද?

2024 අගෝස්තු 26 වන දා ප්‍රකාශයට පත් කළ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ නාම යෝජනා කැඳවීම සැප්තැම්බර් 12 වන දායින් අවසන් විය.

එහි තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් 14 වන දා සිදු කරන ලදී. ඔක්තෝබර් 20 වන දින වන විට සියලු ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර අවසන් අතර, මැතිඔවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 22 දා අවසන් විය.

මෙම මැතිවරණය සඳහා ලියාපදිංචි මුළු ඡන්දදායකයන් සංඛ්‍යාව 55,643කි.

ඡන්ද විමසීම සඳහා දේශපාලන පක්ෂ 8ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් වේ. නාම යෝජයා ඉදිරිපත් කළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහ එක් ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඔක්තෝබර් 25 වන දා සිදු කෙරුණි.

බීබීසී සිංහල කළ විමසීමකදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි ඡන්දය පැවැත්වීමට ඇති සූදානම පිළිබඳව විස්තර කළේ ය.

"ඡන්ද මධ්‍යස්ථාන 48ක දී මේ මැතිවරණය පැවැත්වෙන්න නියමිතයි. මේ සඳහා ඡන්දදායකයන් 50,000කට වඩා සුදුසුකම් ලබලා තියෙනවා. මැතිවරණය සඳහා නිලධාරීන් 600ක් පමණ යොදවනවා. හදිසි ආපදා තත්ත්වයක් ඇති වුණත් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ," දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ ය.