ජනාධිපතිවරණය ඇතුළු එළඹෙන මැතිවරණ පැවැත්වෙන්නේ කවදා ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024 වර්ෂය තුළ අනිවාර්යෙන්ම රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2019 වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය සහ 2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් පසුව රට තුළ ඇතිවූ දරුණු ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පසුවන්නේ එදිනෙදා තම ජීවිකාව ගැට ගහ ගැනීමේ සටනක ය.

පවතින ආර්ථික හා සමාජයීය තත්ත්වය හේතුවෙන් මෙරට බොහෝ දෙනෙකුට මැතිවරණ සම්බන්ධයෙන් පවතින්නේ කලකිරීම් සහගත ස්වභාවයක් වුවත් දේශපාලන වේදිකාවේ මැතිවරණ උණුසුම නම් දිනෙන් දිනම ත්‍රිව වෙමින් තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024 වර්ෂය තුළ අනිවාර්යෙන්ම රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

ජනාධිපතිවරණය ගැන ඇමති හරින් ගේ ඉඟිය

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් වන හරින් ප්‍රනාන්දු පසුගිය පෙබරවාරි මස 05 වෙනිදා දඹුල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලබන ඔක්තෝම්බර් 14 වෙනිදා වන විට රටේ නව ජනාධිපතිවරයෙකු පත්ව සිටිනු ඇති බවයි.

"මම විශ්වාස කරන්නේ මේ ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මාසයේ පලවෙනි සතියේ තියයි. "

"කොහොමත් ඔක්තෝම්බර් 14 වෙනිදා වෙද්දී මේ රටේ අලුත් ජනාධිපති කෙනෙක් පත්වෙන්න ඕන."

"ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වෙනවා. මට ඒක කැට තියලා කියන්න පුළුවන්. අනිත් අයටත් ඉදිරිපත් වෙන්න පුළුවන්." අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

කැබ්නට් හමුවේදී කළ දැනුම් දීම

මේ අතර ඊයේ (පෙබරවාරි මස 06 වෙනිදා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළ බවය.

"මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළා රජයේ පවතින සීමිත මුදල් අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තුව මගින් රුපියල් බිලියන 10ක් වෙන් කරලා තිබෙන බව."

"ඒ අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන වියදම් එම ප්‍රතිපාදන තුළ මෙම මැතිවරණ ක්‍රියාවලිය කළමනාකරණය කළ යුතු බවට ජනාධිපතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා." යැයි අමාත්‍යවරයා පවසන ලදී.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත පරිදී මැතිවරණයන් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන අතරම ඒ සඳහා වන ප්‍රධාන බාධකය වී ඇත්තේ ප්‍රමාණවත් අරමුදලක් වෙන් කර ගැනීම වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

" ඒ ගැටළුකාරී තත්ත්වය එලෙසින්ම පැවතුණත් 2024 වර්ෂය තුළදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් රුපියල් බිලියන 12ක් වෙන් කළ බවට ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා යෝජනාවක් විදිහට." අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදී.

"ඒ අනුව අපි මේ අවුරුද්දේ ජනාධිපතිවරණයට අදාළව අයවැය ඇස්තමේන්තුවට රුපියල් බිලියන 10ක් ඉල්ලලා යවලා තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'ජනාධිපතිවරණයට බිලියන 10ක් ඉල්ලලා යැව්වා'

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් නිසි බලධාරියා ලෙස කටයුතු කරන මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉදිරි මැතිවරණ පැවැත්වීමේ සුදානම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කරුණු විමසීමක් සිදුකළේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අදහස් දක්වමින් කියා සිටියේ මෙම වසරේ නොවැම්බර් මාසයට පෙර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.

"2019 මැතිවරණයෙන් අවුරුදු 05 කට පස්සේ ජනාධිපතිවරණය තියන්න ඕන"

"ඒ අනුව අපි මේ අවුරුද්දේ ජනාධිපතිවරණයට අදාළව අයවැය ඇස්තමේන්තුවට රුපියල් බිලියන 10ක් ඉල්ලලා යවලා තියෙනවා."

"රටේ මුල්‍ය පාලනය කරන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව ඒ අයවැය සම්මත කරල තියෙනවා. ඒකට ඇතුලත් වනවා ජනාධිපතිවරණය සඳහා වන රුපියල් බිලියන 10ත්. මේ මුදල ජනාධිපතිවරණය වෙනුවෙන් පමණයි."

"මහ මැතිවරණය සඳහා සැලසුම් කරලා තියන්නේ 2025 වසරේදී"

"අපිට අමාත්‍යාංශයෙන් එවනවා හැම අවුරුද්දක්ම අයවැය සඳහා මේ වසරේ සහ ඉදිරි වර්ෂය සඳහා ඇස්තමේන්තු එවන්න කියලා. එතකොට අපි 2025 වසරේ මහ මැතිවරණය වෙනුවෙන් බිලියන 10ක් ඉල්ලලා තියෙනවා." මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

කල් ගිය මැතිවරණ ගැන දැක්වූ අදහස්

මේ වන විට නියමිත කාල සීමාව ඉක්මවා ගොස් තිබෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාව ගෙන තිබෙන පියවර කුමක්දැයි බීබීසී සිංහල සේවය විමසීමක් සිදුකරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ වන විට නියමිත කාල සීමාව ඉක්මවා ගොස් තිබෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාව ගෙන තිබෙන පියවර කුමක්දැයි බීබීසී සිංහල සේවය විමසීමක් සිදුකරන ලදී.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අධිකරණ තීන්දුවක් ලැබිය යුතු බවයි.

"පළාත් සභා මැතිවරණය තියන්න තිබ්බේ පසුගිය 2023 වසරේ මාර්තු මාසයේ 09 වෙනිදා. "

"ඒ මැතිවරණය තියන්න මුදල් නැහැ කියලා රජය කිව්වා. ඒ නිසා පාර්ශව කිහිපයක් අධිකරණය හමුවට ගියා."

"දැන් ඒ ගැන අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. මම දන්න විදිහට ඒ නඩුවත් ලබන මාර්තු මස 09 වෙනිදා දක්වා කල් දමා තිබෙනවා."

"අධිකරණ තීන්දුවක් එනකම් ඒ ගැන මොකුත් කරන්න අපට හැකියාවක් නැහැ."

"ඒ වගේම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නීතියක් නැහැ. මැතිවරණ කොමිෂන් සභාවක් තිබ්බට ‍‍ඡන්දය තියන්න රටේ නීතියෙන් සම්මත වෙන්න ඕන."

"සීමා නිර්ණය කිරීම සම්බන්ධයෙන් වූ වාර්තාව පාර්ලිමේන්තුව සම්මත කළේ නැහැ. ඒකට විකල්පය විදිහට එවකට අගමැතිවරයා විදිහට කටයුතු කරපු වත්මන් ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. නමුත් ඒ කමිටුවෙන් වාර්තාවක් ලබා දීලා නැහැ."

"ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න නීතියක් නැහැ." මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.

පුංචි ඡන්දය ගැන ආණ්ඩුවෙන් කියූ දේ

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේ පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය ලබන 2025 වසරේදී පැවැත්වීමට හැකි වනු ඇති බවයි.

"2024/25 වර්ෂවලදී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ දෙක පවත්වන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. "

"ඒ මැතිවරණ දෙක පවත්වන්න පෙර 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත ප්‍රකාරව ස්ථාපිත කරන ලද 2023 වසරේ ඔක්තෝම්බර් මස 16 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන නිර්දේශ මත අවශ්‍ය නම් මැතිවරණ නීති සංශෝධන සඳහා අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තු අනුමැතිය මත හඳුන්වා දිය යුතු බව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නා. "

"ඒ 2025 වර්ෂයේ පැවැත්වෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා." අමාත්‍යවරයා පැවසුවේය.

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් යෝජනා ඉදිරිපත් කර ඇති බවට එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

"මීට කලින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පත්කරපු කමිටුවට මැතිවරණ කොමිෂන් සභාව යෝජනා 42ක් ලබා දුන්නා. "

"ඒ වගේම මේ අලුතෙන් පත් කරපු හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවටත් අපි යෝජනා ලබාදීලා තියෙනවා." මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.