ඌෂා වෑන්ස්: ග්‍රීන්ලන්තයේ ආන්දෝලනාත්මක සංචාරයකට සූදානම් වන එක්සත් ජනපද උපජනපති ආර්යාව

Usha Vance speaks at a podium

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ජූඩ් ෂීරින්
    • Role, බීබීසී පුවත්, වොෂින්ටන්

පෙර කිසිදාක සමාජ අවධානයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොතිබූ දේශපාලනඥ බිරියකට වඩාත් ගැලපෙන හා සාම්ප්‍රදායිකව ධවල මන්දිර ජීවිතයකට පමණක් සීමා වූ ඇමෙරිකානු උපජනපති ආර්යාවගේ භූමිකාවට ඌෂා වෑන්ස් පිවිස සිටින්නීය.

නමුත්, ඇයගේ මිතුරන්ට අනුව 39 හැවිරිදි ඌෂා වෑන්ස් තම ස්වාමිපුරුෂයා වන ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගේ ශීඝ්‍ර නැගී සිටීමේදී ඔහුට පවා දෙවැනි නොවන කාර්යභාරයක් ඉටුකොට ඇත.

එපමණක් නොව, තම ස්වාමිපුරුෂයා බලයට පැමිණීමෙන් පසුව ඇය විටින්විට මාධ්‍යයේ අවධානයට ද යොමු වූයේ, මතභේදාත්මක ලෙසින් ග්‍රීන්ලන්තයට චාරිකාවක් පවා සැලසුම් කරමිනි.

සංක්‍රමණික පවුලක උත්සහවන්ත දරුවෙකු ලෙසින් ජීවිතය අරඹා ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වන කේම්බ්‍රිජ් සහ යේල්හි අධ්‍යාපනය ලබා ශ්‍රේෂ්ඨාධිකරණයට පිවිසෙමින් සමාජයේ ඉහළ ම තලයන්ට ළගා වූ ඌෂා වෑන්ස් ඇමෙරිකානු සිහිනයේ ජීවමාන ප්‍රතිමූර්තිය ලෙසින් ළබැඳියන්ගේ ඇගැයීමට පවා ලක්ව සිටින්නීය.

හතලිස් හැවිරිදි ඇයගේ ස්වාමිපුරුෂයා පවා ඇයගේ විශිෂ්ට කුසලතාවන්ගෙන් ඉමහත් විස්මයට පත්ව සිටියි. ඔහායෝහි හිටපු සෙනෙට් සභිකයෙකු වන ඔහු පවසා ඇත්තේ, ඇයගේ ජයග්‍රහණයන් ඉදිරියේ තමන්ට "යටහත් පහත් බවක්" දැනෙන බවයි.

JD and Usha Vance at a diner in St Cloud, Minnesota, on 28 July 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි සිට සංක්‍රමණය වූ යාන්ත්‍රික ඉංජිනේරු පියෙකුට සහ අනුක ජීවවිද්‍යාඥ මවකට දාව කැලිෆෝර්නියාවේ සැන් ඩියාගෝ වැඩබිම් නගරයෙහි දී ඌෂා වෑන්ස් (විවාහයට පෙර චිලුකුරි) උපත ලබා හැදී වැඩුණා ය.

යේල් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ ඇය ප්‍රාග්පුරාතන ඉතිහාසය විෂයය සම්බන්ධයෙන් දර්ශනපති උපාධිය ලබාගත්තේ කේම්බ්‍රිජ් සරසවියෙහි ගේට්ස් විද්‍යාර්ථියෙකු ලෙසට ය.

යේල් නීති විද්‍යාලයේ සිසුවියක ලෙසින් පළමු වරට වෑන්ස් ඇයට හමුවන්නේ 2010 වසරේ පැවති "සුදු ඇමෙරිකාවේ සමාජයීය පිරිහීම" මැයෙන් පැවති සාකච්ඡා සමූහයකට සහභාගී වන අතරවාරයේදී ය.

එම හමුවීම ආභාෂයෙන් ඇයගේ අනාගත ස්වාමිපුරුෂයා 2016 වසරේදී ලියා නිකුත් කළ 'හිල්බිලි එලෙජි' නමැති වැඩි ම අලෙවියක් වාර්තා කළ ඔහුගේ චරිතාපදානයෙන් කියැවෙන්නේ, ඇමෙරිකානු රස්ට් බෙල්ට්හි වැඩකරන සුදුජාතික පන්තිය සම්බන්ධයෙන් වූ ඔහුගේ ළමාවියෙහි අත්දැකීම් සමූහයයි. එය 2020දී රොන් හොවාඩ් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් බවට පත් විය.

The Vances arrive on New Year's Eve 2024 at Donald Trump's Mar-a-Lago club in Palm Beach, Florida

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

යේල්හිදී තමන් ඌෂාට "දැඩිව ආකර්ෂණය" වූ ආකාරය වෑන්ස් එම ග්‍රන්ථයෙන් විස්තර කර දක්වන්නේ, පරමාදර්ශී ගුණයන් රැසකින් හෙබි ඇය "දුර්ලභ සුවිශේෂී චරිතයක්" ලෙසට පවා වර්ණනා කරමිනි.

"සියලු ම නූතන ප්‍රේම කිරීමේ නීති බිඳ දමමින්" තමන් ඇයට ආදරය කරන බව පළමු දිනයේදී ම ඌෂාට පැවසූ අයුරු ඔහු සිහිපත් කරයි.

නමගිය විශ්වවිද්‍යාල අටකින් සුසැදි ඉතා තරගකාරී අයිවි ලීගයෙහි නීතිය හදාරන්නන්ට උපකාර ලබා දීමට ඇයට තිබූ කැමැත්ත නිසා ඇය අන්අය අතරින් කැපීපෙණුනු ආකාරය ද ඇයගේ පන්ති සගයෝ මෙනෙහි කරති.

මේ වන විට නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙසින් කටයුතු කරන චාර්ල්ස් ටයිලර් බීබීසීය වෙත පවසා සිටියේ, ඇයට ද ලබාගැනීමට අවශ්‍ය වූ ඉතා අගනා නීතිඥ ලිපිකරු තනතුරුවලට අයැදුම් කරන ආකාරය පිළිබඳව අනෙකුත් සිසුසිසුවියන්ට උපදෙස් දීමට පවා ඌෂා වාන්ස් ඉදිරිපත් වූ බව ය.

The Vances vote in Cincinnati, Ohio, on 5 November 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නිර්නාමිකව පෙනී සිටිමින් බීබීසීය වෙත අදහස් දැක්වූ තවත් පන්ති සගයෙකුට අනුව, බලහත්කාරයෙන් තමන්ට අවස්ථා ලබාගැනීමේ ආකල්පයක් ඇයට නොතිබිණි.

"අපි හිටපු නීති පන්තියේ ඉහළින් ම හිටපු ඇය ඉතාමත් දක්ෂ සිසුවියක්," යනුවෙන් ඇය කියා සිටින්නීය. "ඒ වගේ ම, සමහර වෙලාවට අනෙකාට වඩා ඉහළින් ඉන්න ඒ වගේ අයට ඕන වෙනවා කියලා ඔබ දන්නවා."

"නමුත්, ඇය තම සටහන් අන් අය සමග නිතර ම බෙදා ගත්ත කෙනෙක්. ඒ සටහන් හොඳට හදලා, වර්ණකේතක පවා යොදා තිබුණා."

ඌෂා වෑන්ස්ගෙන් ඇයගේ ස්වාමිපුරුෂයා ඉමහත් ආභාෂයක් ලැබූ බව ද ටයිලර් කියා සිටී.

අනෙක් මිතුරා ද ඒ සම්බන්ධයෙන් තම එකගත්වය පළ කරයි.

"ඇය නිතර ම ඔහුට හොඳින් සවන් දුන්න කෙනෙක් වගේ ම උපදෙස් දුන්න කෙනෙක් විදිහට ක්‍රියා කළා," ඇය කියා සිටින්නීය. "ඒ විතරක් නෙවෙයි, යේල් විශ්වවිද්‍යාලයේ හිටපු කාලයේ ඉඳලා ම ඔහුට හරි පාර පෙන්නන්නත් ඇය කටයුතු කරමින් සිටිනවා."

JD Vance and his wife Usha Vance depart in Greenville, North Carolina, on 14 September 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඌෂා වෑන්ස්ගේ පෞද්ගලික දේශපාලන දර්ශනය ගත් කළ එය බොහෝ අනුමානයන්ට ලක්ව තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන්ගේ අනුග්‍රහයට ලක්වන අනන්‍යතාව සහ වර්ගයා පිළිබඳ අදහස් තම ස්වාමිපුරුෂයාගේ ගැරහීමට ලක් වෙද්දී, ඇය පසුගිය වසර 10ක පමණ කාලයක් තිස්සේ ලියාපදිංචි ඩෙමොක්‍රටික් පාක්ෂිකයෙකු ලෙසින් ක්‍රියා කළා ය. අවසන් ගිම්හාන කාලය තෙක් ඇය සැන් ෆ්‍රැන්සිස්කෝහි අත්‍යන්තයෙන් ම ප්‍රගතිශීලී ලෙසට කියැවුනු නීතිඥ සමාගමක් වන මුන්ගර් ටොලස් සහ ඔල්සන්හි විනිශ්චය නීතිඥවරියක ලෙසින් සේවය කළා ය.

දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවකු වන බ්‍රෙට් කවනගා වෙනුවෙන් ඇය වරක් කොලොම්බියා දිස්ත්‍රික්ක අභියාචනාධිකරණයේ විනිශ්චය නීතිඥවරියක ලෙසින් කටයුතු කළා ය. එමෙන් ම, ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ජෝන් රොබට්ස් ද ඇයගේ සේවය ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා ම උපරිමාධිකරණයේ මධ්‍යස්ථ මතධාරී බහුතරයෙහි බලකණු වෙයි.

මෙම බලසම්පන්න යුවළ දැඩිව එකග වන කාරණයක් වන්නේ, පවුලක වැදගත්කම සම්බන්ධයෙන් දක්වන එකගතාවයි.

ඔවුන් දෙදෙනා 2014දී කෙන්ටකිහිදී විවාහ දිවියට ඇතුළත් වූ අතර, එවාන් සහ විවේක් නම් පුතුන් දෙදෙනෙකු සහ මිරාබෙල් නමැති දියණියකගේ මව්පියන් වෙති.

The Vances kiss at the 2024 Republican National Convention in Milwaukee, Wisconsin, on 17 July 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පසුගිය අගෝස්තු මාසයේදී ෆොක්ස් නිවුස් වෙතට අදහස් දක්වමින් ඌෂා වෑන්ස් කියා සිටියේ, ආදරණීය නිවසක ඇති සංස්කෘතිකමය වැදගත්කම පිළිබඳව තම ස්වාමිපුරුෂයා අවධාරණය කර සිටින්නේ ඔහු ඇතිදැඩි වූ ආකාරය අනුව යමින් බව ය. "ඒ වගේ ම, මම පවුලට ලබාදෙන ස්ථාවරත්වය සහ සන්සුන්භාවයට හේතු වෙන්න, මගේ පිටිපස්සේ හිටපු පිරිසගෙන් මට ලැබුණු සෑම සහයෝගයක් ම සහ සියල්ල නිවැරදි බවට වන සහතිකයත් ඊට හේතුවක්," යනුවෙන් ඇය පැවසූවාය.

ඌෂා වෑන්ස්ගේ කතාන්දරයක් වැනි ජීවිතය ඉන්දියාවට ඉමහත් අභිමානයකි. එපමණක් නොව ඇයගේ ඥාතීන්ට ද ඇය අභිමානයකි.

ආන්ද්‍රා ප්‍රදේශ්හි වෙසෙන ඇයගේ නැන්දනියක බීබීසීයට පැවසූයේ, ඇමෙරිකානු උපජනාධිපති ආර්යාවගේ මෙම සාර්ථකත්වය පුදුමයට කරුණක් නොවන බව ය. හින්දු ප්‍රාඥයින් බිහිකළ පෙළපතකින් ඇය පැවත ඒම ඊට හේතුව වශයෙන් ඇය දක්වා සිටියා ය.

Chilukuri Santhamma, great-grand aunt of Usha Vance, at her residence in Visakhapatnam, Andhra Pradesh, India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චිලුකුරි ශාන්තම්මා, ඌෂා වෑන්ස්ගේ ලොකු නැන්දා

ආන්ද්‍රා ප්‍රදේශ්හි භෞතික විද්‍යා මහාචාර්යවරියක වන චිලුකුරි ශාන්තම්මා නම් ඇයට අනුව: "විදේශයකදී ඉහළ ම තැනට ළගා වී ගෞරවයට ලක් වීම හැමදෙනාට ම කළ නොහැකි දෙයක්. මිලියනයකින් කෙනෙකුට ලැබෙන එවැනි අවස්ථාවක් ඌෂාට ලැබීම වාසනාවක්."

අතිරේක වාර්තාකරණය දිල්ලියේ සිට සවුතික් බිස්වාස්