පොලිස් දෙපාර්තමේන්තුවට රියැදුරන් බීමත් දැයි පරීක්ෂා කෙරෙන බැලුන් වල හිඟයක් තිබේ ද?

කාර් රථයක් පරික්ෂා කෙඅන පොලිස් නිලධාරීන් දෙදෙනෙක්

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

    • Author, බීබීසී සිංහල

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල මුහුණ දුන් රිය අනතුරත් සමග බීමතින් රිය පැදවීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇතිව තිබේ.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මත්පැන් පානය කර ඇති දැයි සොයා බැලීමට සිදුකරන ශ්වසන පරීක්ෂණයක් නොකිරීම සම්බන්ධව පොලිසිය වෙත ද දැඩි විවේචන එල්ල වෙමින් පවතියි.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ ජාතික රෝහලෙන් ලබා ගත් රුධිරය සාම්පල, රජයේ රස පරීක්ෂක වෙත යොමු කර අනතුර සිදුවන අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මත්පැන් පානය සිටියාදැයි පරීක්ෂා කිරීමට පියවර ගත් බව ය.

මේ අතර ඇතැම් මාධ්‍ය, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ දී ශ්වසන පරීක්ෂණ කට්ටලවල හිඟයක් තිබූ බව ය.

'ඒකෙන් අදහස් වෙන්නේ නැහැ බැලුන් නෑ කියලා'

ඉදිරියේදී උත්සව සමය එළැඹෙන පසුබිමක රට තුළ බීමත් රියැදුරන් පරීක්ෂා කරනු ලබන ශ්වසන පරීක්ෂණ කට්ටලවල (බැලුන්) හිඟයක් තිබේ දැයි බීබීසී සිංහල විසින් ආනන්ද විජේපාල අමාත්‍යවරයාගෙන් විමසීමක් කරනු ලැබී ය.

"බැලුන් හිඟ වෙනවානේ වරින් වර, එතකොට ප්‍රොසෙස් එකක් ගිහිල්ලා පෙරේදා වෙනකොට. ඔක්කෝම ගෙනල්ලා ගොඩගහගෙන ඉන්නේ නෑනේ. පෙරේදා වෙනකොට, ප්‍රොකියුමන්ට් එකේ පොඩි ප්‍රමාදයක් තිබිලා ඒක ඇවිල්ලා තියෙනවා."

"ස්ටොක් සිස්ටම් එකේ අඩු වේගෙන යනකොට, අපිට පාවිච්චි කරන්න පුළුවන් නොවැම්බර් 30 දක්වා නම්, 30 වෙනකොට ගේන ස්ටොක් එකක් තියෙනවා නේ. ඒ අතර පොඩි ප්‍රමාදයක් වෙලා සමහර තැනක අඩු වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ බැලුන් නෑ කියලා," යැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ය.

'තත්ත්ව පරීක්ෂණයට ලක් කරපු ගමන් සියලු ම පොලිස් ස්ථානවලට බෙදා දෙනවා'

බීමත් රියැදුරන් පරීක්ෂා කරන බැලූන හිඟතාවයක් තිබූ බවත් මේ වන විට එම කට්ටල මෙරටට ආනයනය කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ ය.

"හිඟතාවයක් තියෙනවා, නමුත් හිඟතාවයට පිළියමක් ලෙස පොලිස්පතිතුමාගේ ඉල්ලීම මත මේවා (බැලුන්) ගෙන්න ගත්තේ. ඒවා තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා මේ දවස්වල. තත්ත්ව පරීක්ෂණයට ලක් කරපු ගමන් ඒක සියලුම පොලිස් ස්ථානවලට බෙදා දෙනවා."

කඩිනමින් ශ්වසන පරීක්ෂණ කට්ටල පොලිස් ස්ථාන වෙත බෙදා දීමට පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

එමෙන් ම බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට වෙනත් ක්‍රම ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පැවසීය.

"බීමත් රියදුරන් පරීක්ෂා කරන ඒවා (බැලුන්) හිඟයක් තියෙනවා. නමුත් හිඟයක් තියෙනවා කියලා අපිට නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න බැහැ. ඊට අමතරව වෙන විශේෂ ක්‍රම තියෙනවා, උදාහරණයක් හැටියට ළඟ ම ඉන්න රජයේ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරන්න ඕනේ," ඔහු පැවසුවේ ය.

බීමත් රියදුරන් පරීක්ෂා කරන්නේ කොහොම ද?

රියැදුරෙකු බීමතින් සිටින බවට පොලිස් නිලධාරීන් හට සැකයක් ඇතිවුවහොත් එම රියදුරා පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් බීමතින්දැයි ශ්වසන පරීක්ෂණ කට්ටලයක් (බැලුන්) හරහා ඒ බව පරික්ෂා කරනු ලැබේ.

අදාළ පරීක්ෂණය සඳහා බැලුන් නොමැති නම්, එවැනි අවස්ථාවලදී සැක සහිත රියදුරන් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගනියි.

ඔහු බීමතින් සිටි බවට අනාවරණය වුවහොත්, ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර පොලිස් ඇප මත මුදා හරිනු ලබයි.

අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

බීමතින් රිය පැදවීමේ වරදට ඇති දඬුවම් මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බීමත්ව රිය පදවන රියදුරන්ට එරෙහිව පොලිසිය විසින් අදාළ පොලිස් බලප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලබන අතර, එසේ නඩු පැවරීමේදී අධිකරණය රුපියල් 25,000ක අවම දඩයක් නියම කරයි.

එමෙන් ම, රියදුරු බලපත්‍රය මාස 2කට හෝ මාස 3කට අත්හිටවනු ඇත.

මෙම වරද සඳහා ම දෙවන හා තුන්වන අවස්ථාවන්හිදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවහොත්, පනවනු ලබන දඩය සහ රියදුරු බලපත්‍රය අත්හිටවනු ලබන කාලසීමාව දීර්ඝ වනු ඇත.

තවද, බීමතින් රිය පදවා රිය අනතුරක් සිදුකළහොත් ලැබෙන දඬුවම මීට වඩා බරපතල විය හැකි ය.

2019 අංක 10 දරන මෝටර් වාහන (සංශෝධන) පනතේ 216 වගන්තියට අනුව බීමතින් රිය ධාවනය සඳහා රුපියල් 25,000ත් රුපියල් 30,000ත් අතර දඩ මුදලක් නියම වන අතර මාස 3ක් දක්වා සිරද⁣ඬුවම් සහ මාස 12ක් දක්වා රියැදුරු බලපත්‍රය අත්හිටුවීමට හැකියාව පවතී.

216 (අ) වගන්තියට අනුව බීමත්ව මුදලකට හෝ දීමනාවකට මගීන් ප්‍රවාහනය කරයි නම් රු.25,000ත් රු.30,000ත් දඩ මුදලක් මෙන්ම මාස 6 ක් දක්වා සිරද⁣ඬුවම් හෝ එම දෙකම සහ, රියැදුරු බලපත්‍රය අවලංගු කිරීම කළ හැකි ය.

බීමත්ව රිය පදවා යම් පුද්ගලයකුගේ මරණය සිදු කිරීම සඳහා 216 (අ) යටතේ දඩය රු.100,000- රු.150,000 හෝ වසර 2කට නොඅඩු සහ වසර 10ට නොවැඩි කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීම හෝ, එම ද⁣ඬුවම් දෙකම හෝ, රියැදුරු බලපත්‍රය අවලංගු කිරීම යන දෙකට ම යටත් කරනු ලබයි.

216 ආ( i) වගන්තියට අනුව බීමත්ව රිය පදවා සුලු තුවාල සිදු කිරීමේ වරදට දඩය රු.30,000-රු.50,000 වන අතර සිර ඳඩුවම වසර එකකට නොවැඩි කාලයක් සදහා ද එම දඬුවම් දෙකම ද රියදුරු බලපත්‍රය අවලංගු කිරීම ද සිදු කෙරේ.

බීමත්ව රිය පදවා බරපතල තුවාල සිදු කිරීමට 216 ආ (ii ) රු.50,000 - රු.100,000 අතර දඩ මුදලකට යටත් වන අතර වසර 5 දක්වා සිර දඬුවමත් ඉහත දඬුවම් දෙක ම හෝ ඊට අමතරව රියදුරු බලපත්‍රය අවලංගු කිරීමත් සිදු කරයි.