අසෝක රන්වලගේ රුධිර හා මුත්‍රා සාම්පලවල මත්පැන් හෝ මත්ද්‍රව්‍ය අඩංගු නොවන බව රස පරීක්ෂක වාර්තාවේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි

 අසෝක රන්වල

ඡායාරූප මූලාශ්‍රය, facebook

    • Author, බීබීසී සිංහල

සපුගස්කන්ද රිය අනතුරට සම්බන්ධ හිටපු කතානායක පාර්ලිමෙන්තු මන්ත්‍රී අසෝක රන්වලගේ රුධිර හා මුත්‍රා සාම්පලවල මත්පැන් හෝ මත්ද්‍රව්‍ය අඩංගු නොවන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ලද වාර්තාවේ සඳහන්ව ඇතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම රියඅනතුරට අදාළ නඩුව ලබන ජනවාරි 16 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව ඇති බවයි.

'පොලිසිය රාජකාරි පැහැර හැරලා, පොලිස්පති නියමයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට විමර්ශනයක්'

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල සම්බන්ධ රිය අනතුරේ දී සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් සහ එම පොලිසිය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් රාජකාරිය පැහැර හැරීමක් නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය (දෙසැම්බර් 18 වැනිදා) නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පොලිස්පතිවරයාගේ නියමයෙන් එම රිය අනතුරේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරින් නිසි පරිදි රාජකාරිය සිදුකර ඇති දැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදු කරනු ලැබූ බවයි.

"එම විමර්ශනයේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරින් විසින් රාජකාරි පැහැර හැරීමක් සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇත." යැයි එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Asoka Ranwala

සපුගස්කන්ද රිය අනතුර: 'මන්ත්‍රී රන්වලගේ රථයේ තිරිංග දෝෂයක්'

වාහන අනතුරක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල වෙත එල්ල වී ඇති චෝදනාවලට අමතරව තවත් චෝදනාවකට නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"වාහනය පරික්ෂා කිරීම එක්සැමිනර් ඔෆ් මෝටර් වෙහිකල් ලවා, අපිට වාර්තාව ලැබිලා තියෙනවා. ඒ වාර්තාව අනුව යම් කිසි යාන්ත්‍රික දෝෂයක් තිබිලා තියෙනවා. ඒ යාන්ත්‍රික දෝෂය නිසි පරිදි කළමණාකරණය කරලා නැති බවක් තමයි තියෙන්නේ. ඒකට විරුද්ධවත් අපි නඩු දාන්න කටයුතු කරනවා."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම යාන්ත්‍රික දෝෂය, වාහනයේ තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එමෙන්ම මන්ත්‍රීවරයාගේ රුධිර සම්පාල කොළඹ ජාතික රෝහලෙන් ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බව මෙන්ම එම වාර්තාව ලද විගස ඉදිරි නෛතික කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පැවසීය.

සපුගස්කන්ද, දෙනිමුල්ල මංසන්ධියේදී දෙසැම්බර් 11 සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල ඇප මත මුදා හැරියේ දෙසැම්බර් 12 වන දින ය.

එම කාර්යාලය සඳහන් කළේ, මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු ඇප මත මුදා හරිනු ලැබූ බව ය.

අසෝක රන්වල අත්අඩංගුවට ගැනුණේ, එදින දහවල් කාලයේදී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් සඳහන් කළ පරිදි, අනතුරක් වළක්වා නොගැනීම සහ අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව ය.

රිය අනතුර සිදුවූ අවස්ථාවේදී ඔහු බීමත්ව සිටියා ද? යන්න පිළිබඳ වාර්තාව තවමත් ලැබී නැතැයි එදින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ, දෙසැම්බර් 11 දිනයේ රාත්‍රී 7.45ට පමණ මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබිණි.