ඝාතනයට ලක්වු වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ගැන මහජන ආරක්ෂක ඇමති පැවසූ කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Facebook
- Author, බීබීසී සිංහල
සමගි ජනබලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඔක්තෝම්බර් 22 වැනිදා පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ප්‍රාදේශීය සභාව තුළට ඇතුළු වූ පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ සභාපතිවරයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මිය යන විට ඔහු 38 වැනි වියේ පසුවිය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ලසන්ත වික්‍රමසේකර යනු කවුද?
ලසන්ත වික්‍රමසේකර පළමුවරට වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නේ පසුගිය මැයි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජනබලවේගයෙන් තරග කරමින් ය.
පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයක් වැලිගම ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමි කර නොගැනීම නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ලද විවෘත ඡන්ද විමසීමකින් ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්විය.
ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අවස්ථාවේදී, ලසන්ත වික්‍රමසේකර ඡන්ද 23ක් ලබා ගත්තේ ය.
සභාපති ධුරය සඳහා තරග කළ ජාතික ජන බලවේගයේ (NPP) සභිකයාට ලැබී තිබුණේ ඡන්ද 22ක් පමණි.
විපක්ෂයේ සභික පූජ්‍ය දෙනගම රාහුල හිමි ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්විය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්දය විවිධ ගැටලු හේතුවෙන් කිහිප වතාවක් ප්‍රමාද විය.
'එතුමා ප්‍රාදේශීය සභාවේ සභාපති වෙන කොට ඇතුළේ නොයෙක් කලබල ඇතිවුණා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ සමගි ජනබලවේගය නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරමින් පැවසුවේ මහජන දිනය පවත්වන අතරතුර වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාට වෙඩි තැබීම බරපතළ තත්ත්වයක් බව ය.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ, පොලිසිය මෙම සිද්ධිය ගැන විමර්ශන කරමින් පවතින බව ය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරි පැය කිහිපය තුළ මෙම විමර්ශන ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.
මේ අතර, ඔක්තෝම්බර් 22 වැනිදා පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමගි ජනබලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙම වෙඩි තැබීම ගැන අදහස් පළ කළේ ය.
"අද රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නය කොච්චර බැරෑරුම් ද කිව්වොත් අපේ පක්ෂයේ නොබෝදා ජනතා ඡන්දයෙන් තේරී පත්වෙච්ච වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාට කාර්යාලට ඇවිල්ලා වෙඩි තියලා තියෙනවා."
"අපිට මතකයි එතුමා ප්‍රාදේශීය සභාවේ සභාපති වෙන කොට ඇතුළේ නොයෙක් කලබල ඇතිවුණා. මැර කල්ලි ඇවිල්ලා එතුමා සභාපති වෙනවාට විරුද්ධව කටයුතු කළා. මන්ත්‍රීවරු අතුරුදන් වුණා. ඉතින් එවැනි වාතාවරණයක් යටතේ තමා මේ සභාපතිවරයාට වෙඩි තියලා තියෙන්නේ."
"අද රටේ ජාතික ආරක්ෂාව විශාල ප්‍රශ්නයක්. මේ රජය යටතේ මේ අවුරුද්ද ඇතුළත විතරක් මෙවැනි සිද්ධි 100කට වඩා වෙලා තියෙනවා. 50කට වැඩිය ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා," යැයි ඔහු සඳහන් කළේ ය.
"රටේ ආරක්ෂාව සම්බන්ධව විශාල ප්‍රශ්නයක් මෙතන මතුවෙනවා."
සමගි ජනබලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ධුරයට පත්වූ දිනයේදී ද නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බව ය.
"ඇතුළේ ගහ ගත්තා, දෙතුන් සියයක් සෙනඟ ගෙනවා. මන්ත්‍රීවරු අතුරුදන් වුණා. රජය මං හිතන්නේ ආරක්ෂාව සම්බන්ධ වගකීම භාර ගන්න ඕනේ කියලා මං මෙතන ප්‍රකාශ කරනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ඝාතන විමර්ශනයට පොලිස් කණ්ඩාම් 4ක්
මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ය.
ඔහු පැවසුවේ, මෙම ඝාතනය සඳහා උණ්ඩ 4ක් භාවිත කර ඇති බව ය.
මේ අතර, තමන්ට එල්ල වී ඇති තර්ජන ගැන, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්න වික්‍රමසේකර පසුගිය අගෝස්තු මාසයේදී තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වන අතර, මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ වුට්ලර්ගෙන් විමසා සිටියේ ය.
කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එවැනි ලිපියක් පිළිබඳ තමන්ට වාර්තා වී නොමැති බව ය.
'මහජන නියෝජිතයෙක් බවට පත් වුණාට මෙයා පාතාල අපරාධකරුවෙක්' - මහජන ආරක්ෂක ඇමති
ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර පාතාල කල්ලි ක්‍රියාකාරිකයෙකු බවත් ඔහුට විරුද්ධව නඩු 6ක් ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඔක්තොම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.
මෙම ඝාතනය පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බවත් එයින් මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතු නොවන බවත් ඔහු පැවසීය.
මොහු පාතාල කල්ලි ක්‍රියාකාරිකයෙකු නිසා මෙම ඝාතනය මහජන නියෝජිතයකු ඝාතනය කිරීමක් ලෙස සැලකිය නොහැකි බව ද ඇමති ආනන්ද විජේපාල සඳහන් කළේ ය.
කෙසේ වුව ද කිසිවෙකු ඝාතනය කිරීම සිය ආණ්ඩුව යුක්ති සහගත නොකරන බවත් ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
"මේ සිදුවීම හරහා රටේ මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් සිද්ධ වෙලා නැහැ. මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්නවා. ඔවුන් සතුව ආයුධ තිබෙනවා. ඔවුන් අතර ගැටුමක් තිබෙනවා.අපරාධකරුවන් අතර ගැටුම් තිබෙනවා. ඔවුන් ආයුධ සන්නද්ධව සිටිනවා. ඔවුන් අතර ගැටුම් සිද්ධ වෙනවා."
"අද දින සිදුවීමත් මම මේ සභාවට කියන්න කැමතියි, වැලිගම සභාපති තුමා ලසන්න වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා, මහජන නියෝජිතයෙක් බවට පත් වුණාට මෙයා පාතාල අපරාධකරුවෙක්. මොහුට නඩු 6 ක් තිබෙනවා. මාතර මහාධිකරණයේ නඩු දෙකක් තිබෙනවා. කුරුණෑගල මහාධිකරණයේ නඩු දෙකක් තිබෙනවා. ගාල්ල අධිකරණයේ නඩුවක් තිබෙනවා. සිර දඬුවම් ලබා තිබෙනවා. අත්හිටවූ සිරදඩුවම් මතයි ඔහු ඉදලා තියෙන්නේ. ඔහු පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි."
"මේ වනවිට ඉන්දුනීසියාවේ ඉදලා සිට රැගෙන ආ අපරාධකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රකාශ හරහා මොහු (සභාපතිවරයා) සතුව අවි ආයුධ තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේවා සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙනවා.
මත් ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගත් බවට අධිකරණයේ නඩුවක් තිබෙනවා.පාතාලයේ අපරාධකරුවන් අතර පසුගිය කාලයේ ආරවුල් පැවතියා. ඒ අපරාධකරුවන් අතර ආරවුලක් මේක."
පාතල අපරාධකරුවන් එකිනෙකා තමන් සතුව තියෙන ආයුධ, තමන් අතර තියන ආරවුල්, මේ විදිහට මිනිස් ඝාතන බවට පරිවර්ථනය කර ගන්නවා. මේකත් ඒ් හා සමාන සිදුවීමක්."
"අපි කිසිසේත්ම පාතාල හෝ වෙනත් පුද්ගලයෙක් මිය යාම අනුමත කරන්නේ නැහැ. මිනිස් ජීවිත අගයන ආණ්ඩුවක් තිබෙන්නේ. නමුත් මේ ගැන විධිමත් විමර්ශනයක් කරනවා. කවුරු වුණත් ඝාතන අනුමත කරන්නේ නැහැ."
"අපි කියන්නේ පාතාල ක්‍රියාකාරිකයෙක් යම් දේශපාලන පක්ෂය කටයුතු කරන්නේ නම්, මහජන නියෝජිතයෙක් විදිහට නෙමේ වැටෙන්නේ, ඔහු පාතාල ක්‍රියාකාරිකයෙක් ගණයට වැටෙන්නේ.ඔහු සම්බන්ධ විමර්ශන හරහා සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙක් බවට අවශ්‍ය තරම් තොරතුරු පොලිසිය සතුව තිබෙනවා. අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා."
"මහජන නියෝජිතයෙක් හැටියට පත්කරන පුද්ගලයා වඩාත් සමාජයේ නීතිගරුකව කටයුතු කරන පුරවැසියෙක් වුණා නම් මෙවැනි දේ සිදුවන්නේ නැහැ," යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල අමාත්‍යවරයා සඳහන් කළේ ය.














