"පරක්කුවෙලා ආවට වෙලාව හරි" - අසේල

2016 වසර සඳහා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේ වැඩි සම්මාන ප්‍රමාණය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ තුන් ඉරියව්වේ ක්‍රීඩක අසේල ගුණරත්න සමත් විය.
රංගන හේරත් නැවත වතාවක් වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් නමුත් සම්මාන උළෙලේ වැඩි අවධානය යොමුවූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තම පළමු වසරේම සම්මාන 4ක් දිනාගත් අසේල ගුණරත්න වෙතය.
"සම්මාන බලාගෙන නෙවෙයි ආවේ, නමුත් මගේ දක්ෂතා අගයලා ලැබුණු සම්මාන ගැන සතුටුයි" අසේල ගුණරතන ඊයේ (ඔක්තෝබර් 31) කොළඹදී පැවති සම්මාන රාත්‍රියේදී බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.
අසේල ගුණරතනට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට හැකිවුයේ ඔහුට වසර 30ක් වන විටය. ඔහුට මීට පෙර අවස්ථාව ලැබිය යුතුව තිබූ බව ඇතැම් ක්‍රීඩා ලෝලීන්ගේ මතයයි.
"පරක්කුවෙලා තමයි ආවේ, නමුත් මම හිතනවා එක හරි වෙලාව කියලා, මහේල අය්යාලා කුමාර් අය්යලා දිගටම සෙල්ලම් කළ නිසා කණ්ඩායමට එන්න ගොඩක් අමාරුයි, මම හිතනවා මගේ හොඳම කාලයේ මට අවස්ථාව ලැබුනා කියලා"
"ඒ කාලේ අවස්ථාව ලැබුණානම් මෙච්චර දුර එන්නත් මට නොහැකි වෙන්න තිබුණා"
ශ්‍රී ලංකා කණ්ඩායම තුළ පසුගිය කාලයේ දක්ෂතා අතර ඉදිරියෙන්ම සිටි අසේල ගුණරත්න පසුගිය ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ අබාධයකට ලක්වූයේ පන්දුවක් ඇගිල්ලේ වැදී අස්ථි බිදීමක් හේතුවෙනි. ඒ නිසා ඔහුට ඉන්දීය සහ පාකිස්තාන සංචාර අහිමිවිය.
"මම පන්දුවට පහරදෙන්න පටන් ගෙන දැන් සතියක් විතර, පොඩ්ඩක් තාමත් අතේ රිදීමක් තියෙනවා, ඒක තියාගෙන තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ, ලොකු අවුලක් තියෙන්නේ පන්දු රැකීමේදී"
එළඹෙන ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයේදී ටෙස්ට් තරගාවලියට සහභාගිවීම තවමත් අවිනිශ්චිත බව අසේල ගුණරතන පැවසීය.
"මගේ ඇගිල්ල තාමත් 100%ක්ම හොඳ නැහැ, ඒ නිසා ඒ ගැන හරියට කියන්න බැහැ"
ඉන්දීය - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා අසේල ගුණරතන බොහෝවිට සහභාගිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.









