ක්‍රිකට්: ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක්

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ශූරතාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත ඕවර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 168 ක් රැස්කර ගත්තේය.

ආබාධ හේතුවෙන් සහ ඩෙංගි රෝගය වැළඳීම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිට නැවත කණ්ඩායමට එක් වූ ලසිත් මාලිංග සිය පන්දුවාර හතර අවසානයේදී ලකුණු 29 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත්වීම තරගයේදී කැපී පෙනිණ.

එයට ප්‍රතිචාර වශයෙන් තියුණු තරගයක යෙදුනු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර විස්ස අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 172 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය.

ඕවර 19 යි පන්දු පහකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 168 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසාන පන්දුවේදී හතරේ පහරක් එල්ලකරමින් ජයග්‍රහණය ලබාගැනීමට සමත්වූහ.

ආබාධයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් මෙවර කණ්ඩායමට ක්‍රීඩා නොකරන අතර, පසුගියදා පැවති දකුණු අප්‍රිකානු සංචාරයේදී දක්ෂතා අතරට ඒමට අපොහොසත්වීමෙන් අනතුරුව උප නායක දිනේෂ් චන්දිමාල් මෙවර කණ්ඩායමට තෝරාගෙන නැති බැවින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවන්නේ උපුල් තරංග විසිනි.

විස්සයි විස්ස ජාතික කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග වදින අතරවාරයේ, ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරතව සිටීමත් විශේෂත්වයකි.