නව ව්‍යවස්ථාව: 'දැනට වඩා බලය විමධ්‍යගත කෙරේවි'

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය මට්ටමෙන් දැනට වඩා බලය විමධ්‍යගත කිරීමක් සිදු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.
විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ සාම්පූර් විද්‍යාලයේ පැවැත්වුණු කෘෂිකර්ම ප්‍රදර්ශනයක් විවෘත කළ අවස්ථාවේ.
පවතින ව්‍යවස්ථාව මගින්ද එක්තරා දුරකට පළාත්වලට බලය විමධ්‍යගත කර තිබෙන බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා, කෙසේ නමුත් එමගින් දෙමළ ජනතාව ඉල්ලා සිටින මට්ටමට බලය විමධ්‍යගත වී නැති බවත් පෙන්වා දුන්නේය.
එබැවින් නව ව්‍යවස්ථාව මගින් තවදුරටත් බලය විමධ්‍යගත කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව සඳහන් කළ ඔහු, නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂ මතුකරමින් සිටින පරස්පර විරෝධී අදහස් පිළිබඳව අවධානය යොමු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

උතුරු නැගෙනහිර පළාත්වල කෘෂිකර්මාන්තය පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂනායකවරයා, නුදුරු අනාගතයේදීම එම පළාත්වල බෝග නිෂ්පාදන අපනයනය කිරීමටත් අවස්තාව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාදාමය සමාජය තුල ප්‍රබල සංවාදයට බඳුන් වී පවතී.
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර පූර්ණ සංහිඳියාවක් ඇතිකරනු වස් ෆෙඩරල් ක්‍රමයක් මත පදනම් වූ අර්ධ අනාගමික රාජ්‍යයක් නව ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බ්‍රහස්පතින්දා කොළඹදී විශේෂ දේශනයක් පවත්වමින් සඳහන් කර තිබුණි.
මේ අතර නව ව්‍යවස්ථාව මගින් බුදුදහමට දැනට ලබා දී තිබෙන ප්‍රමුඛ ස්ථානය තවදුරටත් ආරක්ෂා කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පසුගියදා යළිත් වරක් අවධාරණය කර තිබුණි.

එහෙත් ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහුජාතික සමාජයක් බව අවධාරණය කරන සියයකට අධික කතෝලික ක්‍රියාධරයන් පිරිසක්, එවන් සමාජයක එක් ආගමකට පමණක් විශේෂ ස්ථානයක් ලබාදීම කෙතරම් උචිත දැයි කාදිනල් හිමියන්ගෙන් ප්‍රශ්න කරති.
නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීයභාවයට මෙන්ම බුදු දහමට හිමි ස්ථානයට හානියක් සිදු විය හැකි බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා කළ අනතුරු ඇඟවීම්වලට සවන් දුන් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ, ව්‍යවස්ථාවේ කෙටුම්පත පවා තවමත් සකස්කර නොමැති බැවින් ඒ පිළිබඳව අනවශ්‍ය සැකයක් ඇතිකරගැනීම අනුමැත කළ නොහැකි බව පැවසූහ.










