'ශ්‍රී ලංකාව බහු ආගමික, බහු වාර්ගික රටක් විය යුතුයි'

ඡායාරූප මූලාශ්‍රය, Getty/ LAKRUWAN WANNIARACHCHI
යෝජිත නව ව්‍යවස්ථාව තුළින් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වශයෙන් නොව බහු ආගමික රාජ්‍යයක් ලෙස නම් කිරීම වඩාත් යෝග්‍ය බව සමාජයීය සහ සාමයික කේන්ද්‍රයේ ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා පවසති.
උන්වහන්සේ ඒ බව කියා සිටියේ නව ව්‍යවස්ථාව සැකසීමේදී බුදු දහමට ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇති අයිතිය එලෙසින්ම සුරැකිය යුතු බවට කාදිනල් මැල්කම් රංජිත් හිමියන් විසින් සිදු කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
"අපේ ලංකාවේ ආගමක් නැතිකම නොවෙයි. ආගම් හතරක් නියෝජනය වෙනවා. මුස්ලිම් ආගමිකයන්ට මෑත කාලයේ සිදු වූ දේවල් අපි දන්නවා. ඒ නිසා සෑම ආගමක්ම අදහන පුද්ගලයන් ආරක්ෂා විය යුතුයි," ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා සඳහන් කළහ.
ඉන්දියාව සහ ප්‍රංශය
බහු ආගමික, බහු සංස්කෘතික පරිසරයක් ඇති රටක් තුළ එක් ආගමකට පමණක් ප්‍රමුඛත්වයක් ලබා දීම වර්තමාන සමාජයට කෙතරම් උචිත දැයි යන්න උන්වහන්සේ ප්‍රශ්න කරති. (සාකච්ඡාවට සවන්දෙන්න)
"උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ ව්‍යවස්ථාව තුළ කියලා නැහැ හින්දු ආගම ආරක්ෂා කරන්න ඕන, පෝෂණය කරන්න ඕනි කියලා. ප්‍රංශයේ කියලා නැහැනේ කතෝලික ආගම පෝෂණය කරන්න ඕන කියලා. ඉතාලියෙවත් එහෙම කියලා නැහැ."
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශය කතෝලික සභාවේ මතය යැයි තමා විශ්වාස නොකරන බවත් ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා සඳහන් කළහ.
"ලංකාවේ මුළු කතෝලික සභාව වෙනුවෙන්ම කතා කළ හැකි තනතුරක් උන්වහන්සේට ලබා දීල තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ," සමාජීය සහ සාමයික කේන්ද්‍රයේ ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා වැඩිදුරටත් පැවසූහ.
ශ්‍රී ලංකා රාජ්‍යය බුද්ධාගම පෝෂණය කර ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය නව ව්‍යවස්ථාවටත් ඇතුලත් විය යුතු යයි කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පසුගියදා කළ ප්‍රකාශයට දැඩි විරෝධය පළකරමින් ඔස්වල්ඩ් ෆර්ත් පියතුමා ඇතුළු කතෝලික ප්‍රජා නායකයන් 99 දෙනකුගේ අත්සනින් නිවේදනයක්ද නිකුත් කර තිබුණි.









