ආබාධිතයන්ගේ ඉල්ලීම් ගැන 'ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑ'

ශ්‍රී ලංකාවේ ආබාධිතයෝ

ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ආබාධිතයන්ගේ ගැටළු පිළිබඳව අවධානය පළ කරන මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කරන ලද ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ආබාධිත ක්‍රියාධරයෙක් පවසයි.

තමන් ඇතුළු ආබාධිතයන් 3000 කට ආසන්න පිරිසක් පසුගිය දෙසැම්බර් මාසයේ අමාත්‍ය එස්බී දිසානායකද සමඟ එක් වී ආබාධිතයන්ගේ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් භාර දුන් බව පරිගණක විද්‍යා උපදේශකයකු වන ඊඑම් පුෂ්පසිරි බීබීසී සංදේශයට පැවසීය.

ශ්‍රී ලංකාවේ වෙසෙන ලක්ෂ විස්සකට අධික ආබාධිතයන්ගේ ජීවන තත්වය නගා සිටුවීම පිණිස පියවර ගන්නා මෙන් ආබාධිතයෝ එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.

විශේෂයෙන්ම ආබාධිතයන්ට රැකියා වෙළඳපොළට පිවිසීම පිණිස අවස්තාව සැලසෙන ආකාරයෙන් අධ්‍යාපන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ඔවුන්ගේ එක් ප්‍රධාන ඉල්ලීමක්.

ආබාධිත සොල්දාදුවෝ කොළඹ පැවති ක්‍රීඩා උළෙලක

ඡායාරූප මූලාශ්‍රය, AFP/ Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආබාධිත සොල්දාදුවෝ කොළඹ පැවති ක්‍රීඩා උළෙලක

"අපි කිසිම දෙයක් නොමිලේ දෙන්න කියල ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ අනුකම්පාව නෙවෙයි," කථිකාචාර්ය ඊඑම් පුෂ්පසිරි පැවසීය.

"අපේ ඉල්ලීම අනුන්ට අත නොපා ස්වාධීන ජීවිතයක් ගතකරන්න ආබාධිතයන්ටත් පහසුකම් සලසා දෙන්න කියන එක."

ආබාධිතයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සංවිධානය කිරීම පිණිස කමිටුවක් පත්කිරීම සඳහා යළිත් හමුවන මෙන් ආබාධිතයන්ගේ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළ නමුත්, තවමත් එයට ප්‍රතිචාරයක් නොලැබුන බවයි ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක බීබීසී සංදේශයට කියා සිටියේ.

"මම දන්නවා ඒක නිදහසට කාරණයක් නෙවෙයි. අපි දැන් වුවත් ඔවුන් හමුවෙලා ඒ ගැන ඉදිරි පියවර ගන්න සූදානම්," ශිරාල් ලක්තිලක සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට දහයකට ආසන්න පිරිසක් ආබාධිතයන් බවට තක්සේරු කෙරෙන අතර, දශක තුනක යුද්ධයෙන් ආබාධිතයන් වූ දහස් සංඛ්‍යාත පිරිසක්ද ඒ අතර සිටිති.

ආබාධිත ක්‍රීඩක ලාල් පුෂ්පකුමාර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ආබාධිත ක්‍රීඩක ලාල් පුෂ්පකුමාර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ

මේ අතර ජර්මානු ආධාර මත ඉදි කරන ලද මුල්ලේරියාවේ Sun Flower Village ආබාධිත පුහුණු මධ්‍යස්ථානය වසාදැමීම පිළිබඳවත් කථිකාචාර්ය ඊඑම් පුෂ්පසිරි දැඩි කනස්සල්ල පළ කළේය.

ආබාධිතයන් වෙනුවෙන්ම ශ්‍රී ලංකාවේ නිර්මාණය කෙරුණු පළමු පුහුණු පාසල වසා දමනු වෙනුවට සැබවින්ම කළ යුතුව තිබෙන්නේ තවත් එවැනි ආයතන පිහිටුවීම බවයි, ආබාධිත ක්‍රියාධරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ ආබාධිතයන්ගේ ඉරණම කෙරෙහි බොහෝ ජනමාධ්‍ය දක්වන නොසැලකිල්ල පිළිබඳව ඔහු අදහස් පළ කළේ වේදනාබර ස්වරයකින්.