රුසියානු මලල ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරඟ තහනමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් රුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජවන සහ පිටිය ඉසව් වලට සහභාගී වීම සම්බන්ධයෙන් තාවකාලික තහංචියක් පනවනු ලැබ තිබේ.

රුසියාවේ මලල ක්‍රීඩා සම්මේලනයට මෙම තාවකාලික තහංචිය පනවා තිබෙන්නේ එරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වෙන බවට චෝදනා ඉදිරිපත් වීමෙන් පසුවයි.

ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබෙස්තියන් කෝ(Coe) ප්‍රකාශ කළේ එවැනි ක්‍රියාවක් සිදු වීම ඉතා ලජ්ජා සහගත දෙයක් බවයි.

ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබෙස්තියන් කෝ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබෙස්තියන් කෝ

ඉදිරිපත් වී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින් තහනම් උත්තේජක භාවිතය පරීක්ෂා කිරීම සඳහා රුසියාවේ මලල ක්‍රීඩා සම්මේලනයට අවශ්‍ය නව ප්‍රතිසංස්කරණ සම්පාදනයට සූදානම් බවයි මේ අතර එම කමිටුවේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ෂුකොෆ් පවසන්නේ.

2016 වසරේ බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් ඇලෙක්සැන්ඩර් ෂුකොෆ් කියා සිටියි.

රුසියාවේ ක්‍රීඩා ඇමති විතලි මුත්කෝ

ඡායාරූප මූලාශ්‍රය, epa

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාවේ ක්‍රීඩා ඇමති විතලි මුත්කෝ

ක්‍රීඩකයන් විසින් තහනම් උත්තේජක පාවිච්චි කරනු ලැබීම පරීක්ෂා කිරීම සඳහා අලුත් ආයතනයක් පිහිටුවන බවයි රුසියාවේ ක්‍රීඩා ඇමති විතලි මුත්කෝ පවසන්නේ.