ආයුබෝවන්!ඔස්ත්‍රියාව සංක්‍රමණිකයන් පිළිගනියි

ඡායාරූප මූලාශ්‍රය, bb
බහුතරය අනාථයන් වූ සංක්‍රමණිකයන් දහස් ගණනක් හංගේරියානු දේශ සීමාව ඔස්සේ ඔස්ත්‍රියාවට ඇතුල් වූහ.
හංගේරියානු ආණ්ඩුව විසින් සංක්‍රමණිකයන්ට පනවා තිබුණ තහංචි ලිහිල් කරනු ලැබීමෙන් අනතුරුව බස් රථ මගින් ඔවුන් ඔස්ත්‍රියානු දේශ සීමාව කරා ගෙන ගිය බවයි වාර්තා වන්නේ.
සිය දේශ සීමාව ඔස්සේ පැමිණි සංක්‍රමණිකයන් ඔස්ත්‍රියානු සහන සේවකයන් විසින් පිළිගනු ලැබුණේ ආහාර සහ උණුසුම් තේ කෝපි ආදිය පිළිගන්වමිනි.
‘වියානා’ බලධාරීන් පවසන්නේ එක්කෝ එම ජනතාවට සියරටේ දේශපාලන සරණා ගතභාවය ඉල්ලා සිටීමට හෝ එසේ නැත්නම් ඔවුන්ගේ මනාපය පරිදි ජර්මනියට ගමන් ගත හැකි බවයි.
විදේශ ඇමති හමුවක්

මේ අතර ප්‍රකාශයක් කරන හංගේරියානු බලධාරීන් කියා සිටියේ තවත් බස් හෝ දුම්රිය පහසුකම් නොමැති බවයි.
දේශ සීමාව දෙසට ගමන් ගනිමින් සිටි සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව ගැන සිතා බස් රථ සැපයූ බව පවසන හංගේරියානු ආණ්ඩුව තමන් දැන් පවතින තත්වය අධීක්ෂණය කරමින් සිටින බවයි කියා සිටියේ.
මේ අතර යුරෝපා හවුලේ විදේශ ඇමතිවරුන් ලක්ෂම්බර්ග්හි අද ආරම්භ කෙරෙන දින දෙකක සාකච්ඡාවක් සඳහා සූදානම් වෙමින් සිටින බවත් වාර්තා වෙයි.
නැගෙනහිර ප්‍රතිචාරය
අනාථයන්ට සහ සංක්‍රමණිකයන්ට සලකන ආකාරය මුල් කර ගත් මතභේද එම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වී ඇත.
යුරෝපා කොමිසමේ ද සහයෝගය ලබන ජර්මනිය කියා සිටින්නේ යුරෝපා හවුලේ සාමාජික රටවල් සංක්‍රමණික ප්‍රජාව ‘කෝටා’ ක්‍රමයක් අනුව බෙදා ගත යුතු බවයි.

එහෙත් යුරෝපා හවුලේ නැගෙනහිර සාමාජික රටවල් එම යෝජනාවට විරෝධය පළ කරති.
හංගේරියාව අනුගමනය කරන දැඩි පිළිවෙතට සහයෝගය පළ කරමින් ඊයේ සිකුරාදා පෝලන්තය චෙක් ජනරජය සහ ස්ලොවේකියාව කියා සිටියේ දේශ සීමා පාලනයට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවයි








