දහතුනේ කල්ලියක කාන්තා සොර මුලක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
දහතුන් දෙනකුගෙන් සැදුම් ලත් ගෙවල් බිඳින්නියන් කණ්ඩායමක් ‘කවි නගර්හි’ මුද්‍රණාලයකට ඇතුල් වී ඡායාරූප මුද්‍රණයට යොදා ගනු ලබන ඇලුමිනියම් තහඩු පන්සීයක් සොරකම් කර ඇති බව ‘උත්තර් ප්‍රදේශ්’ ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
ඔවුන් විසින් සොරකම් කරනු ලැබ ඇති ඇලුමිනියම් තහඩු තොගයේ වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ පහක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.
තමන් විසින් ගෙනෙන ලද ප්ලාස්ටික් බෑග් වල ඇලුමිනියම් තහඩු තොගය තැන්පත් කර ඒවා රැගෙන පළා යාමේ සොරකම සඳහා කාන්තා සොර මුල ගත කර ඇති කාලය විනාඩි විස්සක් පමණි.
මෙයින් සති දෙකකට පෙර සිදු කරනු ලැබ ඇති සොරකම ගැන පොලිසිය තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඊයේ.
‘උත්තර් ප්‍රදේශ්’ ප්‍රාන්ත පොලිසිය පවසන්නේ සොර මුල ‘කාන්තාවන් වන ආකාරයක්’ පෙනී යන බවයි.
එහෙත් ‘කවි නගර්’ පොලිස් ස්ථානාධිපති අව්නීෂ් ගෞතම් සොර මුල කාන්තාවන් වන බව සහතික කරයි.
එම කාන්තා සොර මුල වයස අවුරුදු විසි ගණන්වල පසු වන්නියන් බව මුලින් ලද වාර්තා මගින් ප්‍රකාශ කෙරුණත් ඔවුන්ගෙන් ඇතැමෙක් වයස අවුරුදු තිස් ගණන් වල පසුවන්නියන් වීමට ද ඉඩකඩ ඇති බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසියේ අනුමානයයි.
අඩි දොළහක තාප්පයෙන්
කාන්තා සොර මුල ‘ඝෂියාබාද්’ කාර්මික කලාපයේ පිහිටි මුද්‍රණාලයට එහි අඩි දොළහක් උස තාප්පය උඩින් පනින ආකාරය CCTV කැමරාවල සටහන් වී ඇත.
ඔවුන් සොරකමට පැමිණෙද්දී මුහුණු ආවරණය කර ගෙන සිටින ආකාරය කැමරාවල සටහන් වී ඇත.
තාප්පයෙන් පැන ගත් කණ්ඩායම අනතුරුව මුද්‍රණාලය පිහිටි ගොඩනැගිල්ලේ අගුල් දෙකක් කඩා දමමිනුයි එහි අභ්‍යන්තරයට ඇතුල් වී තිබෙන්නේ.
‘උත්තර් ප්‍රදේශ්’ පොලිසිය සොරකම සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කර ඇති අතර CCTV කැමරාවලින් ලබා ගත් අදාළ දර්ශන පරීක්ෂකයන්ට ලබා දුන් බවයි පොලිසිය පවසන්නේ.
කාන්තාවන් සම්බන්ධ වූ මෙවැනි අපරාධ ගැන මින් පෙරත් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර වෙළෙඳුන් රවටමින් රත්රන් සොරකම් කිරීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු ලැබී ඇත.








