මියගිය හදවතට යලි පණ දෙයි

ඡායාරූප මූලාශ්‍රය, VICTOR CHANG INSTITUTE
‘මියගිය හදවතක්’ යොදා ගෙන කළ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදු කළ බව ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරු පිරිසක් පවසති.
බද්ධ කිරීම සඳහා හදවත් ලබා ගැනීම මෙතෙක් සිදුවුයේ මොලය මියගිය බවට සනාථ වූ එහෙත් හෘදයේ ස්පන්දනය නතර නොවූ පුද්ගලයන් වෙතින්.
මළත් පණ එයි
එහෙත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාන්ත වින්සන්ට් රෝහලේ වෛද්‍යවරු විසින් සොයාගනු ලැබුවේ ස්පන්දනය නතරවී විනාඩි විස්සක් දක්වා කාලයක් ගතවූ හදවතක් වුවත් බද්ධ කළ හැකි බවයි.
තමන් අවුරුදු දහයකින් තරුණ වුවා සේ දැනෙන බවයි මෙලෙස හදවත් බද්ධකිරීමකට ලක්වූ ප්‍රථම කාන්තාව පැවසුවේ.
හදවත දන් දුන් තැනැත්තෙකු මරණයට පත් වී හෘදස්පන්දනය නැවතුනු පසු ප්‍රයෝජනයට නොගන්නා එකම ඉන්ද්‍රිය වන්නේ හදවතයි.
පැය හතරක් අයිස් තුළ
බද්ධ කිරීම සඳහා ස්පන්දනය වෙමින් පවතින හදවත් සාමාන්‍යයෙන් ලබාගන්නේ මොලය පමණක් මියගිය පුද්ගලයන් ගෙන් වන අතර එසේ ලබා ගන්නා හදවත් පැය හතරක කාලයක් අයිස් තුළ තැබීමෙන් පසු රෝගියෙකුට බද්ධ කිරීම සිදුවෙයි.
මෙම හදවත් බද්ධ කිරීම පැහැදිලි කරන ශල්‍ය වෛද්‍ය කුමුද් දිටාල් පවසන්නේ මේ වනතුරු බද්ධ කිරීම පිණිස යොදා ගනු ලැබුවේ හෘද ස්පන්දනය නතර නොවූ මොලය මියගිය රෝගීන්ගේ හදවත් පමණක් බවයි
“හොඳින් රුධිර ගලනය සිද්ද වෙනව. ඒවගේම සියලු පෝෂක ද්‍රව්‍ය හොඳින් අවශෝෂණය කරගන්නා නිසා හදවතට යලි වැඩකරන්න පුලුඉවන්. හදවතට අවශ්‍ය වෙන්නේ මේ දේවල් ගලා එම පමණයි. යහපත් තත්වයක තියෙනව නම් එක වැඩ කරාවි නැත්නම් සමහර වෙලාවට විද්‍යත් කම්පනයක් ලබා දෙන්න සිද්ද වේවි” යන්න කුමුද් ගේ අදහසයි.
“පෙට්ටියේ දැමු හදවත”
ස්පන්දනය නතරවූ හදවතක් “පෙට්ටියේ දැමු හදවත” නමින් හැඳින්වෙන සුවිශේෂී යන්ත්‍රයක් හා සම්බන්ධ කිරීමෙන් පසු ය සිඩ්නි වෛද්‍යවරු විසින් මෙසේ එම හදවතට පන ලබා දෙන්නේ.
එම යන්ත්‍රය මගින් උණුසුම්ව තබන මළ සිරුරින් ඉවත් කරගත් හදවත ස්පන්දනය වීමට පටන්ගත් පසු දියර විශේෂයක් යෙදීමෙන් හදවතේ මාංශ පේශීන් වලට හානි සිදු නොවන සේ රැක ගන්නා බවයි පැවසෙන්නේ.
ලොව පුරා පර්යේෂණ අඩවි රැසක අත්හදාබැලීම් කර ඇති මෙම යන්ත්‍රය මගින් දිවි බේරා ගත හැකි රෝගීන් ගේ සංඛ්‍යාව 30% කින් වැඩිවන බවයි සිඩ්නි නුවර මෙම වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය පීටර් මැක්ඩොනල්ඩ් පවසන්නේ.


























