වැරදි සෙවීමට වෙලාව නොවෙයි - විවියන් රිචර්ඩ්ස්

ඡායාරූප මූලාශ්‍රය, AFP
පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයන් වන බංග්ලාදේශ් ක්‍රීඩක සොහග් ගාශි සහ සිම්බාබ්වේ ක්‍රීඩක ප්රෝස්පර් උත්සේයා ගේ පන්දු යැවීමේ ඉරියව් ක්‍රිකට් නීතියට පටහැනි බව ස්වාධීන පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඔවුන්ට ජාත්‍යන්තර තරඟ තහනමක් පනවන ලද බවත් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහවුරු කොට තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය, පන්දුව දමා ගසන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට තහනමක් පැනවූ අතර පාකිස්ථාන් ක්‍රීඩක සයීඩ් අජ්මාල්ටද එවැනිම තහනමක් පනවන ලදී.
මෑතකදී ඉන්දීය සංචාරය තුළදී බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුනිල් නාරායන්ටද පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ල කෙරිණ.
පන්දු යවන්නන්ගේ ඉරියව් පිළිබඳ විවේචන එල්ල කල යුත්තේ නිසියාකාරව සහ පුළුල් ලෙස සොයා බැලීමෙන් අනතුරුව බවයි, ක්‍රිකට් ලෝකයේ දැවැන්තයකු වන බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන ශ්‍රීමත් විවියන් රිචර්ඩ් පවසන්නේ.
නිවුස් ෆස්ට් නාලිකාව හා සාකච්ජාවකට එක්වෙමින් ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් කියා සිටින්නේ මේ ක්‍රීඩකයන් පන්දු දමා ගසන බව මතු කරන කාලය සහ අවස්ථාව නුසුදුසු බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty
එම ක්‍රීඩකයන් ඉන්දියානු ප්‍රිමියර් තරඟාවලියට කලක සිට සහභාගිවෙමින් සිටින බව පැවසූ ඔහු ලෝක කුසලාන තරඟ අත ළඟ ක්‍රීඩකයන්ගේ පන්දු යැවීම සම්බන්ධව කතා කිරීම පිළිගත නොහැකි බව ප්‍රකාශ කළේය.
“මම දන්නේ නැහැ මේ ගැන මේ වෙලාවේ කථා කරන්නේ ඇයි කියල. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කරන නිසාද? එහෙම නැත්නම් ලෝක කුසලාන තරඟාවලිය ලබන අවුරුද්දේ පැවැත්වෙන නිසාද? මට නම් හිතෙන්නේ ක්‍රීඩකයන්ගේ පන්දු යැවීමේ ඉරියව් ගැන කථා කරන්න හොඳ වෙලාවක් නොවෙයි මේක. මම හිතනවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මේකෙන් හානියක් සිද්ධ වෙනවා. ඔබ දන්නවා සුනිල් නාරායන් කියන්නේ හිතන්න බැරි චරිතයක්, හරියට මුරලි වගෙයි. මමත් ඔහු පන්දු එවන වෙලාවට සෙල්ලම් කරන්නේ තරමක සැකයෙන්” ඔහු ප්‍රකාශ කළේය.








