මැන්ඩෙලා දේහය උපන් ගමට

දෙසැම්බර් දාහතර වැනිදා,ඉරිදා, මිහිදන් කිරීමට නියමිත නෙල්සන් මැන්ඩෙලා දේහය ගුවන් මගින් දකුණු අප්‍රිකාවේ ‘ඊස්ටන් කේප්’(Eastern Cape) කරා ගෙන එනු ලැබුණි.
දින තුනක් මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණ මැන්ඩෙලා දේහය ප්‍රිටෝරියා සිටයි, ‘ඊස්ටන් කේප්’කරා ගෙන එනු ලැබුණේ.
මැන්ඩෙලා දේහය පිළිගැනීමට Mthatha ගුවන් තොටුපළට එක් රැස්ව සිටි ජනතාව අභාවප්‍රාප්ත නායකයාට උපහාර පිණිස ගී ගයමින් සිටි බවයි, වාර්තා වන්නේ.
නෙල්සන් මැන්ඩෙලා ගේ ළමා විය ගෙවුන ‘ඛුනු’(Qunu) ගම්මානයේ යි,දේහය මිහිදන් කිරීමට කටයුතු යොදා තිබෙන්නේ.
සදා සැතපීමට

නෙල්සන් මැන්ඩෙලා අයත් ජන ගෝත්‍රික සම්ප්‍රදාය අනුව යමින් ඔහුගේ මුනුබුරු මැන්ඩ්ලා(Mandla) දේහය සමඟ ගමන් ගනිමින් සිටින බවත් වාර්තා වෙයි.
මුනුබුරු මැන්ඩ්ලා ප්‍රකාශ කළේ, තම මුත්තණුවන් සදා සැතපීම සඳහා සිය ගම කරා ගමන් ගනිමින් සිටින බවයි.
දේහය ගුවන් මගින් ගෙන යනු ලැබීමට පෙර පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ දහසකට අධික සාමාජිකයන් නෙල්සන් මැන්ඩෙලාට අවසන් ගෞරවය දැක්වූ බව ප්‍රිටෝරියා සිට ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
ටුටුට ඇරයුමක් නැහැ

මේ අතර ප්‍රකාශයක් කරන කේප් ටවුන්හි හිටපු අග රදගුරු ඩෙස්මන්ඩ් ටුටු (Desmond Tutu)නෙල්සන් මැන්ඩෙලා අවමඟුල් උළෙලට ඔහු සහභාගී නොවන බව තහවුරු කර ඇත.
එම අවස්ථාවට සහභාගී වීමේ නියෝජිතයකු වශයෙන් තමා පිළි ගෙන නැති හෙයින් එම තීන්දුව ගත් බවයි, හිටපු රදගුරු ඩෙස්මන්ඩ් ටුටු පවසන්නේ.
ඇරයුමක් කෙරුණේ නම් තමා එම අවස්ථාවට සහභාගී වීම මිහිපිට කිසිදු හේතුවක් හේතුවෙන් මඟ නොහරින බවයි, අග රදගුරු ඩෙස්මන්ඩ් ටුටු විසින් නිකුත් කරනු ලැබ ඇති ප්‍රකාශනයක දැක්වෙන්නේ.
එහෙත් දකුණු අප්‍රිකානු ජනාධිපති ප්‍රකාශකයෙක් කලින් කියා තිබුණේ, හිටපු අග රද ගුරුවරයාට ආරාධනයක් කර ඇති බවයි.
නෙල්සන් මැන්ඩෙලා ගේ දිගුකාලීන මිතුරකු වන නොබෙල් ත්‍යාගලාභී හිටපු අග රදගුරු ඩෙස්මන්ඩ් ටුටු,දකුණු අප්‍රිකානු ආණ්ඩුව විවේචනයට ලක් කරන්නෙක්.








