චීනයේ ගුවන් ආරක්ෂක කලාපය භයානක පියවරක් - ජපානය

Disputed islands
ඡායාරූප ශීර්ෂ වැකිය, දෙරටම හිමිකම් කියන දූපත් සමූහයක් ඉහලින් එම කලාපය ප්‍රකාශයට පත් කොට තිබේ

නැගෙනහිර චීන මුහුදට ඉහලින් ගුවන් ආරක්ෂක කලාපයක් ප්‍රකාශයට පත් කිරීම මගින් චීනය භයානක පියවරක් තබා තිබෙන බව ජපානයේ අගමැති ෂින්සෝ අබේ ප්‍රකාශ කරයි.

ජපාන පාර්ලිමේන්තුව අමතමින් ඒ බව කියා සිටි අගමැතිවරයා, එමගින් අනවශ්‍ය ගැටලු පැන නැගීමට ඉඩ තිබෙන බවද සඳහන් කළේය.

දෙරටම හිමිකම් කියන දූපත් සමූහයක් ඉහලිනුයි එම කලාපය ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ.

දෙරට අතර මුහුදට ඉහලින් විශාල ප්‍රදේශයක් ගුවන් ආරක්ෂක කලාපයක් වශයෙන් නම් කරන බව මීට දින දෙකකට ඉහතදී චීනය නිවේදනය කළේය.

චීනයද හිමිකම් කියන, දැනට ජපානයේ පාලනය යටතේ පවතින දූපත් කිහිපයක අයිතිය ලබා ගැනීමේ වැඩ පිළිවෙලක කොටසක ලෙසිනුයි චීනයේ එම නිවේදනය දක්නට ලැබෙන්නේ.