ඉන්දියාවේ ගංවතුරෙන් දෙසීයකට වැඩි පිරිසක් මරුට

උතුරු ඉන්දියාවේ ගංවතුර උවදුරෙන් මියගිය පිරිස දෙසීයකට වැඩි බව ස්වදේශ කටයුතු භාර ඉන්දීය අමාත්‍ය සුශිල් කුමාර් ශින්ඩේ පවසයි.
ධාරානිපාත මෝසම් වැසි හේතුවෙන් උත්තරකාන්ද් ප්‍රාන්තයේ නිවෙස් සහ මහාමාර්ග විශාල සංඛ්‍යාවක් විනාශ වී ගොස්, පනස් දහසකට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවත්, මියගොස් ඇති සංඛ්‍යාව මිට වඩා ඉහල යනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර ගොඩනැගිල්ලක් කඩාවැටීම හේතුවෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළු දස දෙනකු පමණ මියගොස් ඇති බව මුම්බායි නගරයේ පොලිසිය පවසයි.
ඒ තුල තව කිහිපදෙනෙකු සිරවී සිටිනු ඇතැයි ද අනුමාන කෙරේ.
ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව තවම සොයාගන්නට ලැබී නැතත්, පසුගිය දිනවල මුම්බායි නගරයටද මෝසම් වැසි වැටුන බව වාර්තා වේ.




