සිරියාවේ පර්යේෂණ ආයතනයකට ඊශ්‍රායල ප්‍රහාරයක්

Israel attack
ඡායාරූප ශීර්ෂ වැකිය, තම සතුරන් අතට අවි ආයුධ පත්වීම වැලැක්වීම තම අයිතිය බව ඊශ්‍රායලයේ සංචාරක අමාත්‍ය උසි ලැන්දෝ ප්‍රකාශ කළේය

සිරියාවේ දමස්කස් නුවර පිහිටි විද්‍යාත්මක පර්යේෂණ ආයතනයකට ඊශ්‍රායලය මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව සිරියානු බලධාරීහු පවසති.

නගරය අසල පිහිටි කඳු මුදුනක විශාල පිපිරීමක් සිදුවන ආකාරය අන්තර් ජාලයට එක්කර ඇති වීඩියෝ පටයකින්ද දැක්වෙයි.

සිරියානු කැරළිකරුවන්ගේ බලකොටුවලට රජයේ හමුදා විසින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ලකර ඇත්තේ ද මෙම කඳු මුදුනේ සිටයි.

මෙම ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලය මේ වනතෙක් කිසිදු නිළ ප්‍රකාශයක් නිකුත් කර නැති නමුත් තම සතුරන් අතට අවි ආයුධ පත්වීම වැලැක්වීම තම අයිතිය බව ඊශ්‍රායලයේ සංචාරක අමාත්‍ය උසි ලැන්දෝ Uzi Landau ප්‍රකාශ කළේය.

ජනාධිපති අසාද් බලයෙන් පහ කිරීමට කැරලිකරුවන් දිරි ගැන්වීම සඳහා ඊශ්‍රායලය ඉහත කී ප්‍රහාරය එල්ලකර ඇති බවයි සිරියානු මාධ්‍ය කියා සිටියේ.

ඊශ්‍රායලය පසුගිය ජනවාරියේදී ද මෙම පර්යේෂණ ආයතනය ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කළේය.