ජනාධිපති දේශන කාලය නිව්ටවුන් ප්‍රහාරයෙන් මරා දැමුණ දරුවකුගේ මවකට
ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, සිය සුපුරුදු සෙනසුරාදා ජාතිය අමතා කරන කථාව සම්බන්ධයෙන්, මේ සතියේ පෙර කිසිදා නොවූ විරූ පියවරක් ගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ, කනෙක්ටිකට් ප්‍රාන්තයේ (Connecticut) නිව්ටවුන් නගරයේ (Newtown) පාසලකට එල්ල කෙරුණ ප්‍රහාරයේදී මරා දැමුණ දරුවකුගේ සොවින් තැවෙන මවකට ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට, තම ගුවන්විදුලි දේශන කාලය ලබා දීම එම සුවිශේෂී සිද්ධියයි.
එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් බිඳුණු හඬකින් ජාතිය ඉදිරියේ ප්‍රකාශයක් කළ ෆ්රන්සින් වීලර් (Francine Wheeler) නම් එම ඇමෙරිකානු මාතාව, රටේ තුවක්කු පාලන නීතිය දැඩි කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලීමක් කළාය.
ඇමෙරිකානු තුවක්කු නීතිය පිලිබඳ විවාදය සෙනෙට් සභාව ඉදිරියේ ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතරවාරයේ කතා කළ ෆ්රන්සින් වීලර් (Francine Wheeler) ඉතා දැඩි නීතිමය ප්‍රතිසංස්කරණ සම්මත කර ගන්නා මෙන් කොන්ග්‍රස් මණ්ඩලයට බල කළ යුතුව ඇති බවයි, කියා සිටියේ.
ඇමෙරිකානු ඉතිහාසයේ දීර්ඝ කාලයක් ඇතුළත, තුවක්කු පාලන නීතිය දැඩි කිරීමට පියවර ගෙන නැත.
ඒ සඳහා පියවර ගන්නා මෙන් කොන්ග්‍රස් මණ්ඩලයට දැන් සතියක් පුරා ඉදිරිපත් වෙමින් පවතින පෞද්ගලික මට්ටමේ ඉල්ලීම්වල කූඨප්‍රාප්තිය, ෆ්රන්සින් වීලර්ගේ ඉල්ලීමත් සමඟ සනිටුහන් කෙරිණ.
තුවක්කු කරුවෙකු පසුගිය දෙසැම්බර් මාසයේ "නිව්ටවුන්" පාසලට කඩා වැදී සිදු කළ වෙඩි තැබීමේදී, ෆ්රන්සින් වීලර්ගේ පුතා සහ තවත් ළමුන් විසිදෙනකු ද වැඩිහිටියන් හය දෙනකු ද මරා දැමිණ.




