තානාපති නිලධාරීන් ඉවත් කරගන්න - උතුරු කොරියාව

North Korean leader
ඡායාරූප ශීර්ෂ වැකිය, පියෝන්ග් යෑන් බලධාරීන් මිසයිල දෙකක් එම ප්‍රහාර සඳහා යොදා ගනු ලබන උපකරණ මත ස්ථානගත කරන ලද බව දකුණු කොරියාව ප්‍රකාශ කරයි

පියෝන්ග් යෑන් අගනුවර පිහිටි තානාපති කාර්යාලවල නිරත කාර්ය මණ්ඩල ඉවත්කර ගනු ලැබීම පිළිබඳව සලකා බලන මෙන් උතුරු කොරියානු පාලනය බ්‍රිතාන්‍යය සහ රුසියාව ඇතුළු රටවල් කීපයකට දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරන බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය කියා සිටියේ, තම ඊළඟ පියවර පිළිබඳව සළකා බලමින් සිටින බවයි.

පියෝන්ග් යෑන් බලධාරීන් විසින් මධ්‍යම දුර ප්‍රමාණයේ ප්‍රහාර එල්ල කළ හැකි මිසයිල දෙකක් එම ප්‍රහාර සඳහා යොදා ගනු ලබන උපකරණ මත ස්ථානගත කරන ලද බවක් දකුණු කොරියාව විසින් ප්‍රකාශ කරනු ලැබීමත්, උතුරු කොරියාව ඉහත කී ආකාරයේ දැනුම් දීමක් කරනු ලැබුනේත් එකම මොහොතකයි.

ෆිදෙල් කස්ත්‍රෝ

එම මිසයිල දෙක උතුරු කොරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි මිසයිල ප්‍රහාරක මධ්‍යස්ථානයක් කරා දුම්රියකින් ප්‍රවාහනය කෙරුන බව ජ්‍යෙෂ්ට යුද හමුදා නිලධාරියකු උපුටා දක්වමින් "යොන්හැප් " (Yonhap) පුවත් සේවය වාර්තා කොට තිබේ.

Fidel Castro with brother Raul
ඡායාරූප ශීර්ෂ වැකිය, න්‍යෂ්ටික යුද්ධයක ප්‍රතිවිපාකය සමස්ථ මිහිතලයෙන් සියයට හැත්තෑ පහක්ම විනාශ කර දමනු ලැබීම වන බවට ෆිදෙල් කැස්ත්‍රෝ උතුරු කොරියාවට අනතුරු අඟවයි

එහෙත් ආරක්ෂක අමාත්‍යාංශය තවමත් එම පුවත තහවුරු කොට නැහැ.

මේ අතර උතුරු කොරියාවේ පැරණිතම මිතුරු රාජ්‍යය වන කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ ප්‍රකාශයක් කරමින් සංයමයෙන් කටයුතු කරන මෙන් පියෝන්ග් යෑන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි, අලුත්ම වාර්තා මගින් පැවසෙන්නේ.

උතුරු කොරියාව එරට තාක්ෂණික සහ විද්‍යාත්මක නව ජයග්‍රහණයන් පසුගියදා ප්‍රදර්ශනය කරන ලද බව කියා සිටින ෆිදෙල් කස්ත්‍රෝ, දැන් ඔවුන් ආපසු ගමන් කළ යුතුව ඇති බව ද පවසයි.

තවදුරටත් කරුණු දැක්වූ හිටපු කියුබානු නායකයා, න්‍යෂ්ටික යුද්ධයක ප්‍රතිවිපාකය සමස්ථ මිහිතලයෙන් සියයට හැත්තෑ පහක්ම විනාශ කර දමනු ලැබීම වන බවට අනතුරු අඟවමින්, එවැනි ක්‍රියාවකින් වලකින මෙන් උතුරු කොරියාවෙන් සහ එරට ප්‍රතිවාදීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් ද දැඩි ස්වරයෙන් කරුණු දැක් වූ ෆිදෙල් කස්ත්‍රෝ, න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් ජනාධිපති බරක් ඔබාමාගේ පාලනය එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම දුර්දාන්ත ආණ්ඩුව හැටියට ඉතිහාසයට එක්වනු ඇතැයි කියා සිටියේය.