G20: දිල්ලි සමුළුවට සහභාගී නොවන බව පුටින් මෝදිට කියයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලබන මාසයේ දිල්ලිහි දී පැවැත්වෙන G20 සමුළුවට සහභාගී නොවන බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පවසා තිබේ.
මෙවර සමුළුව, එහි සත්කාරකත්වය දරන ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දී සැප්තැම්බර් නවය සහ 10 දෙදින පැවැත්වීමට නියමිත ය.
සමුළුව සඳහා ඔහු වෙනුවට රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්ලොෆ් සහභාගී වනු ඇතැ යි පුටින් දුරකතන ඇමතුමක් හරහා මෝදිට පවසා ඇත.
නායකයින් දෙපළ "අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් විය යුතු කලාපීය සහ ගෝලීය ගැටලු" කිහිපයක් පිළිබඳව ද සාකච්ඡා කළ බව, නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියාව පැවසීය.
රුසියානු රජයේ ප්‍රකාශකයෙකු පසුගිය සතියේ පැවසුවේ, "කාර්ය බහුල න්‍යාය පත්‍රයක්" පැවතීම හේතුවෙන් පුටින් සමුළුවට සහභාගී නොවනු ඇති බව යි.
G20 කණ්ඩායම, යුරෝපා සංගමය සහ ලෝකයේ ධනවත් ම රටවල් 19කින් සමන්විත වේ. ඉන්දියාව G20 කණ්ඩායමේ වත්මන් සභාපතිත්වය දරන අතර, එය සාමාජික රටවල් අතර වාර්ෂිකව හුවමාරු වෙයි.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂී සුනක් ඇතුළු ලෝක නායකයින් සහභාගී වන දිල්ලි සමුළුවේ දී, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීම කතාබහට ලක් වන කරුණක් වනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.
පසුගිය සතියේ දී, පුටින් ජොහැන්නස්බර්ග් නුවර පැවති බ්‍රික්ස් සමුළුවට (බ්‍රික්ස් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල ඉංග්‍රීසි නමෙහි මුල් අකුරු එක් කර සැකසූ නාමයකි) වීඩියෝ සබැඳියක් ඔස්සේ සහභාගී විය. ඒ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගනු ලැබීමේ අවදානම වළක්වා ගැනීම සඳහා ය. යුක්රේනයේ යුද අපරාධ ගැන පුටින්ට චෝදනා කරන ජාත්‍යන්තර අපරාධ අධිකරණය, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.
ඉන්දියාව සඳුදා නිකුත් කළ නිවේදනයක් හරහා, මෝදි ඔහුට "රුසියාවේ තීරණය තේරුම් ගත හැකියැ"යි ප්‍රකාශ කළබවත්, ඉන්දියාව G20 කණ්ඩායමේ සභාපතිත්වය දරන අතරතුර දිල්ලියේ මුලපිරීම්වලට සහායවීම ගැන පුටින්ට ස්තුති කළ බවත් පැවසීය.
රුසියාවේ ප්‍රකාශය තුළ G20 සමුළුවට පුටින්ගේ නොපැමිණීම ගැන සඳහන් කර නොතිබූ නමුත්, ලබන වසරේ ජනවාරි පළමු දා ආරම්භ වන "රුසියාවේ බ්‍රික්ස් සභාපතිත්වයේ සන්දර්භය තුළ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට" දෙරට එකඟ වී ඇති බව පවසා තිබිණි.
"විශේෂයෙන්ම වරප්‍රසාද ලත් උපායමාර්ගික හවුල්කාරිත්වයක ජීව ගුණයෙන් යුතුව ප්‍රගතිශීලී ලෙස වර්ධනය වෙමින් පවතින රුසියා - ඉන්දියා සබඳතාවන්හි වත්මන් ගැටලු පිළිබඳව ද සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණු," බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.










