මෝදිගේ එක්සත් ජනපද සංචාරය: ඇමෙරිකාව ඉන්දීය අගමැතිට මෙතරම් පිළිගැනීමක් ලබාදෙන්නේ ඇයි?

U.S. President Joe Biden (R) and Indian Prime Minister Narendra Modi participate in a bilateral meeting in the Oval Office of the White House on September 24, 2021 in Washington, DC.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවල හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙයි
    • Author, විකාස් පාණ්ඩේ
    • Role, බීබීසී පුවත්, දිල්ලි

ගෝලීය ආර්ථික හා භූ දේශපාලනික අභියෝග මධ්‍යයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එක්සත් ජනපදයට සිදුකළ සංචාරය විශාල වැදගත්කමක් උසුලන්නක් ලෙස සැලකෙයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ කටයුතු සඳහා ධවල මන්දිරය දැඩි වෙහෙසක් දරා තිබුණි. එය රාජ්‍ය සංචාරයක්, එනම්, එරටට පැමිණෙන නායකයින්ට සත්කාර කිරීමෙහිලා එක්සත් ජනපදය අනුගමය කරන ඉහළ ම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික පිළිවෙත යි. ජනාධිපති ජෝ බයිඩන් හා සාකච්ඡා කිරීමට පෙර, අගමැති මෝදි වෙත බ්‍රහස්පතින්දා (ජූනි 22) ධවල මන්දිරයේ දී චාරිත්‍රානුකූල පිළිගැනීමක් ලබාදෙනු ඇත.

ඉන් පසු රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහය, ප්‍රධාන විධායක නිලධාරීන් සමග හමුවක්, කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරය ඇමතීම සහ ඉන්දීය-අමෙරිකානුවන් ඇමතීම ආදිය පැමිණෙයි. ඒ, මෝදි මීට පෙර සිදුකළ එක්සත් ජනපද සංචාරවල කැපී පෙනුණු අවස්ථා ය.

දැඩි සකසීරුවෙන් සංවිධානය කරන ලද මෙම උත්සව පිටුපස ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ඇති සබඳතාවලට නව ජීවයක් ලබාදීම පමණක් නොව ගෝලීය වශයෙන් ද බලපෑමක් ඇති කළ හැකි සාකච්ඡා පවතියි.

ඉන්දු-පැසිෆික් කලාපය යනු, මේ මොහොතේ එක්සත් ජනපදයට වෙනත් ඕනෑ ම කලාපයකට වඩා ඉන්දියාවේ බලපෑම අවශ්‍ය විය හැකි කලාපය යි.

එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ කලාපය තුළ වර්ධනය වන චීන බලපෑම තුලනය කිරීමට උපකාර වන මිත්‍ර රාජ්‍යයක් ලෙස ඉන්දියාව සැලකූමුත්, ඉන්දීය රජය කිසි විටෙකත් එම භූමිකාව පිළිගැනීමට එතරම් කැමැත්තක් දක්වා නොමැත.

ඇතැම් විට ඉන්දියාවේ අකමැත්ත හමුවේ වුව ද, චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ඇති සබඳතා මෙහෙයවන ප්‍රධාන උත්ප්‍රේරකයක් ලෙස අඛණ්ඩව කටයුතු කරයි.

එහෙත් චීනය අමනාප කරවනසුළු තීරණ ගැනීමෙන් ඉන්දියාව වැළකී නැත. පසුගිය වසරේ දී, ඉන්දියාව හිමාල දේශසීමාවේ චීනයට මායිම්ව ඇති උත්තරාඛණ්ඩ් ප්‍රාන්තයේ දී එක්සත් ජනපද හමුදාව සමග යුද්ධ අභ්‍යාස පැවැත්වීය. චීන රජයේ කෝපාවිෂ්ඨ ප්‍රතිචාර නොතකා, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ජපානය ද සාමාජිකත්වය දරන චතුර්පාර්ශ්වික ආරක්ෂක සංවාදය සඳහා ඉන්දීය රජය අඛණ්ඩව, ක්‍රියාකාරීව සහභාගි වී ඇත.

ගෝලීය වේදිකාව තුළ ඉන්දියාවට සැලකිය යුතු කාර්යභාරයක් සහ බලපෑමක් ඇති කිරීමට මෙය තීරණාත්මක අවස්ථාවකැ යි ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු වඩා ත් විශ්වාසයෙන් පසුවෙති. ඊට වඩා ත් සාධාරණ හේතුවක් පවතියි. ඒ, අභියෝග මධ්‍යයේ වුව ද ඉන්දියාව මේ වන විට ලෝකයේ ආර්ථික වර්ධනයක් පෙන්වන රටවල් කිහිපයෙන් එකක් වීම ය. භූ දේශපාලනික තත්ත්වය ද ඔවුන්ට වාසිදායක වී තිබේ. බොහෝ රටවලට නිෂ්පාදන සඳහා චීනය වෙනුවට විකල්පයක් අවශ්‍ය වන අතර, වර්ධනය වන ක්‍රය ශක්තියක් ඇති මධ්‍යම පන්තියක් සහිත විශාල වෙළෙඳපොළක් ඉන්දියාව සතු ය.

ඇමෙරිකාවට වැදගත් වන්නේ ඉන්දියාවේ ක්‍රියාකලාපය මිස, ඉන්දියාව චීනය පිළිබඳව ප්‍රසිද්ධියේ සිදු කරන ප්‍රකාශ නොවන බව වොෂින්ටන් ඩීසීහි බෲකින්ස් ආයතනයේ 'දි ඉන්ඩියා ප්‍රොජෙක්ට්' හි අධ්‍යක්ෂ තාන්වි මදාන් පවසයි.

"අන්තිමේ දී, ඉන්දියාව ප්‍රසිද්ධියේ ඒ භූමිකාව වැළඳ ගත්ත ත් නැත ත්, චීනය සමග ගනුදෙනු කරද්දි එක්සත් ජනපද සබඳතා ප්‍රයෝජනවත්බව ඉන්දියානු රජය දැකලා තියෙනවා කියලා හොඳට ම පැහැදිලියි," ඇය පැවසුවා ය.

Indian Prime Minister Narendra Modi holds a meeting with US President Joe Biden (not pictured) during the Quad Leaders Summit at Kantei in Tokyo on May 24, 2022. (Photo by SAUL LOEB / AFP) (Photo by SAUL LOEB/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංචාරය අතරතුර මෝදි ජනාධිපති බයිඩන් සමග සාකච්ඡා පවත්වනු ඇත

වොෂින්ටනයේ පිහිටි බුද්ධි මණ්ඩපයක් වන විල්සන් මධ්‍යස්ථානයේ දකුණු ආසියා ආයතනයේ අධ්‍යක්ෂ මයිකල් කගල්මන් පැවසුවේ, දෙරට දැන් "ඉන්දු-පැසිෆික් කලාපය දෙස පොදු ඇසකින් බැලීමට" පටන් ගෙන ඇති බව ය.

"එක්සත් ජනපදය ඉන්දියානු සාගර කලාපයේ බටහිර දෙසට වන්නට ඇති කොටස්වල වැදගත්කම හඳුනාගෙන ඇති බව දැන් අපිට පේනවා. වසර ගණනාවක් තිස්සේ ඉන්දියාව, ඉන්දියානු සාගර කලාපය ගැන දැඩි අවධානයකින් පසුවුණේ, සාධාරණ හේතු නිසා. හරියට එක්සත් ජනපදයට පැසිෆික් සහ දකුණු චීන මුහුද වගේ. ඔවුන් දැන් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව දෙස බලාවි," ඔහු පැවසීය.

ඒකාබද්ධ ප්‍රකාශයේ චීනය පිළිබඳව ඍජුව සඳහන් කර නොතිබුණු නමුත්, නායකයින් දෙදෙනා ඉන්දු-පැසිෆික් කලාපයේ ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කරන විට චීනය ද අවධානයට ලක් වනු ඇත.

කෙසේ වෙතත්, ඔවුන් චීනය දෙස සමාන දෘෂ්ටිකෝණයකින් බැලුව ද යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් දෙරටේ ප්‍රවේශයන් වෙනස් ය.

ඉන්දීය රජය රුසියාව ඍජුව ම විවේචනය කර නොමැත. විශ්ලේෂකයින් පවසන්නේ, යුද්ධෝපකරණ ආනයනය කිරීමේදී ඉන්දියාව රුසියාව මත විශාල වශයෙන් යැපීම සහ රුසියානු රජය සමග ඉන්දීය රජයට ඇති "දිගුකාලීන සහ කල් පවත්නා සම්බන්ධතාව" ඊට හේතුව බව ය.

ඉන්දියාව සිය ආරක්ෂක අවශ්‍යතාවලින් 50%කට ආසන්න ප්‍රමාණයක් සපුරා ගැනීම සඳහා රුසියානු රජය මත යැපෙන නමුත්, මීට එක ම හේතුව එය නොවේ. මෑත වසරවලදී හැඳින්වූ පරිදි 'නොබැඳි හෝ උපායමාර්ගික ස්වයං පාලනයක් පිළිබඳ ප්‍රතිපත්තිය' අනුගමනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සැමවිට ම ආඩම්බරයෙන් පසුවෙයි. ගෝලීය වශයෙන් එක් බලකණුවකට සීමා වීමට ඉන්දියාවට අවශ්‍ය වූයේ නැත. එම ක්‍රියාකලාපය රුසියාවේ යුක්රේන ආක්‍රමණයේ මුල් මාස තුළදී එ. ජනපද රාජ්‍යතාන්ත්‍රිකයින් කෝපයට පත් කිරීමට හේතු විය.

නමුත් මෑත මාසවලදී එක්සත් ජනපදය සිය ස්ථාවරය ලිහිල් කර තිබේ. ඉන්දියාව රුසියාවෙන් අඛණ්ඩව බොරතෙල් මිල දී ගැනීම පවා ඔවුන් නොසලකා හැර ඇත.

ඉන්දියාව ද යුද්ධය නවත්වන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් පියවරක් ඉදිරියට තබා තිබේ.

ආක්‍රමණය වෙත දක්වන ලද වෙනස් ප්‍රතිචාර, ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ඇති සබඳතා බිඳ වැටීමට හේතු නොවූ බව මදාන් පැවසුවා ය.

"උපායමාර්ගික වශයෙන් සමානාත්මතාවක් තියෙද්දී රටවල් දෙක ඒ අයගේ වෙනස්කම් කළමනාකරණය කර ගන්න පෙළඹෙනවා. ඇතැම් විට ඒවා ඉවත දාන්න නොවෙයි, ඒ අයගේ වෙනස්කම් කළමනාකරණය කර ගන්න. මම හිතන්නේ, රුසියාව පිළිබඳ ඔවුන්ගේ වෙනස් ස්ථාවරයන් සමග වෙලා තියෙන්නේ ඒක," ඇය පැවසුවා ය.

Russian President Vladimir Putin (L), Indian Prime Minister Narendra Modi (C) and Chinese President Xi Jinping (R) pose for a group photo prior to their trilateral meeting at the G20 Osaka Summit 2019 on June 28, 2019 in Osaka, Japan. Vladimir Putin has arrived in Japan to participate in the G20 Osaka Summit and to meet U.S.President Donald Trump. (Photo by Mikhail Svetlov/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාවේ යුක්රේනය ආක්‍රමණය සහ ආසියාව තුළ වර්ධනය වන චීන බලපෑම පිළිබඳව සාකච්ඡාවලදී අවධානයට ලක් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ

මේ අතර, සාකච්ඡාවට බඳුන් වීමට නියමිත අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර අතරට තාක්ෂණය, ආරක්‍ෂාව සහ ගෝලීය සැපයුම්දාම කළමනාකරණය ඇතුළත් වේ.

තීරණාත්මක හා නැගී එන තාක්ෂණය පිළිබඳ වැඩසටහන ලෙස ඔවුන් හඳුන්වන ගිවිසුමකට දෙරට අත්සන් තබා තිබේ. මෙම ගිවිසුම අනුව, තොරතුරු තාක්‍ෂණය, අභ්‍යවකාශය, ආරක්‍ෂාව, කෘත්‍රිම බුද්ධිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුළු විවිධ අංශවල එක්සත් ජනපද සහ ඉන්දියානු සමාගම් සහ විශ්වවිද්‍යාලවලට එක්ව කටයුතු කිරීමට ඉඩ සැලසේ.

තාක්‍ෂණික ක්ෂේත්‍රය තුළ, විශේෂයෙන් ම, චීනය ආධිපත්‍යය දරන අර්ධ සන්නායක නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සහයෝගිතාව වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද දෙරටේ නායකයින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇත.

ආරක්ෂක අංශය යනු, පොදු මතයක් පැවති යුතු ප්‍රධාන කරුණක් ලෙස ඉස්මතු වූ තවත් අංශයකි.

ඉන්දියාව ලොව විශාලතම ආයුධ ආනයනකරු වන අතර, ඉන් වැඩි කොටසක් (45%ක්) තවමත් රුසියාවෙන් ආනයනය කරන බව 2017 සහ 2022 වසරවල විශ්ලේෂණය කරන ලද දත්ත පෙන්වා දෙයි. නමුත් වැදගත් දෙය නම්, එය 2016 දක්වා පැවතියේ 65%ක ප්‍රතිශතයක වීම ය. එබැවින් එය වාසිදායක තත්ත්වයක් ලෙස එක්සත් ජනපදය දකියි.

එක්සත් ජනපදය ඉන්දියාවට ආයුධ අපනයනය කිරීමේ වර්ධනයක් පෙන්වන නමුත් ඒ 11%ක ප්‍රතිශතයක් පමණි. ඒ අනුව, එක්සත් ජනපදය ඇත්තේ ඉන් 29%ක කොටසක් හිමි ප්‍රංශයට පසුපසිනි. එබැවින් ඇතැම් මහා පරිමාණයේ ආරක්ෂක ගනුදෙනු සිදුවීම නොවැළැක්විය හැකි ය. බොහෝ විට ඔවුන්, යුද්ධ කටයුතුවලදී පරීක්ෂා කරනු ලැබ ඇති MQ-9A "රීපර්" ඩ්‍රෝන යානා මිල දී ගැනීම සම්බන්ධයෙන් සහ ඉන්දියාවේ ප්‍රහාරක ජෙට් යානාවල එන්ජින් නිෂ්පාදනය කිරීම සඳහා ජෙනරල් එලෙක්ට්‍රික් සමාගම (GE) සහ ඉන්දියානු රජයේ සමාගම් අතර ගිවිසුම්ගත වීමක් නිවේදනය කිරීමට ඉඩ ඇත.

කගල්මන් පවසන්නේ දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව "බොහෝ දුරක් පැමිණ ඇති" බව ය.

"ඔබ මෑතකාලීන වාර්තාව දෙස බැලුවොත්, එක්සත් ජනපදය ඉන්දියාවට සලකන විධිය ඔවුන්ගේ බොහෝ මිත්‍ර පාක්ෂික රටවල්වලට සලකන විධියෙන් වෙනස් වෙන්නේ නෑ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්," ඔහු පැවසීය.

President Joe Biden (R) gestures with India's Prime Minister Narendra Modi as the two leaders met in a hallway as Biden was going to a European Commission on the Partnership for Global Infrastructure and Investment on the sidelines of the G20 Summit in Nusa Dua, on the Indonesian island of Bali, on November 15, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නායකයින් දෙදෙනා පසුගිය සරත් සෘතුවේදී මුණගැසිණි - මෝදිගේ එක්සත් ජනපද සංචාරය දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත

ආරක්‍ෂක සහ තාක්‍ෂණික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් බොහෝ විට විශාල මට්ටමේ නිවේදන කිහිපයක් නිකුත්වීමට ඉඩ ඇතත්, වෙළෙඳ ක්ෂේත්‍රය තුළ එවැනි යමක් බලාපොරොත්තු විය නොහැකි ය.

එක්සත් ජනපදය ඩොලර් බිලියන 130ක් වටිනාකමකින් යුත් ගනුදෙනුවලට හිමිකම් කියමින් ඉන්දියාවේ විශාලතම වෙළෙඳ හවුල්කරු බවට පත්ව ඇත. නමුත් විශ්ලේෂකයින් පවසන්නේ තවමත් භාවිතා නොකළ විශාල විභවයක් පවතින බව ය. තීරුබදු සහ අපනයන පාලනය සම්බන්ධයෙන් දෙරට අතර ප්‍රධාන වෙනස්කම් පවතියි. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ඩුබායි යන රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති අතර, කැනඩාව, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය ඇතුළු අනෙකුත් රටවල් සමග ද එවැනි ම ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි. මෙම සංචාරයේ එවැනි කිසිදු ගිවිසුමකට එළඹීම සිදු නොවනු ඇති නමුත් ඒ පිළිබඳව නායකයින් සාකච්ඡා කිරීමට හෝ අනාගතයේ දී අවම වශයෙන් වෙළෙඳ කටයුතුවලට අදාළ ගැටලු විසඳීමට අවශ්‍ය මඟ සැකසෙනු ඇත.

කගල්මන් පැවසුවේ, වෙනස්කම් ඉවත නොදැමූ නමුත් අන්‍යෝන්‍ය වශයෙන් වඩා ත් වාසිදායක සහයෝගිතා ක්ෂේත්‍රවල අවශ්‍යතා සඳහා පසෙකට ඒවා දැමූ බව ය.

නමුත්, අන්තර් රාජ්‍ය වෙනස්කම් නොතකා මෑත වසරවලදී ඉන්දියානු සහ එක්සත් ජනපද සමාගම් අතර සිදුවූ වෙළෙඳ කටයුතු සාර්ථකත්වයක් ළඟා කර ගෙන ඇති බව ඔහු පැවසීය.

එය ඉහළ ම ප්‍රමුඛතාව නොවිය හැකිමුත්, වසංගතය සහ චීනයේ ඒකාධිකාරය හේතුවෙන් ඇති වූ ගෝලීය සැපයුම් දාම ගැටලු පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කරන විට වෙළෙඳ කටයුතු ද නිසැකව ම ඉස්මතු වනු ඇත.

"වෙළෙඳාම වේදනාකාරී විෂයයක් වුණ ත් මම හිතන්නේ අද දෙපාර්ශවය ම වෙළෙඳ ප්‍රතිපත්තියක් වෙත වෙනස් විධියට ප්‍රවේශ වෙනවා. නමුත් අවසානයේ වෙළෙඳාම ගැන සාකච්ඡා නොකර ගෝලීය සැපයුම් දාම ගැටලු දිහා බලන්න බෑ," මදාන් පැවසුවා ය.

දෙරටේ ම මැතිවරණ ලබන වසරේ පැවැත්වෙන පසුබිමක, නායකයින් දෙදෙනා ම තම ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම අපේක්ෂාවෙන් සිටින මොහොතක යෙදෙන මෙම සංචාරය සිත් ගන්නාසුළු ය.

එබැවින් පුවත් මවන ගනුදෙනු සිදුවීම නොවැළැක්විය හැකි ය. නමුත් දශක ගණනාවක් පුරා පැවති අවිශ්වාසයෙන් පසු විශ්වාසය යළි ගොඩනැගීම සහ ඉඳහිට ඇතිවන ගැටලු හමුවේ එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඇති සබඳතා සෑම විට ම සංකීර්ණ වී ඇත.

නමුත් මෝදි පාලනය යටතේ ඉන්දියාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති කරුණු ගැන එක්සත් ජනපදයේ ඇතැමුන් ප්‍රශ්න කළ ද, බයිඩන් ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ඇති සබඳතා ශක්තිමත් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මෑතක දී සිදු කළ ප්‍රකාශයෙන් සම්බන්ධයේ තත්ත්වය ගැන බොහෝ දේ පැහැදිලි වෙයි: "ඉන්දියාව සහ එක්සත් ජනපදය විශාල, සංකීර්ණ රටවල් කියලා අපි දන්නවා. විනිවිදභාවය ඉදිරියට ගෙන යන්න, වෙළෙඳ කටයුතු සඳහා ඇති ප්‍රවේශය ප්‍රවර්ධනය කරන්න, අපේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න, අපේ ජනතාවගේ හැකියාවන් පූර්ණ ලෙස මුදා හරින්න අවශ්‍ය පරිසරය හදන්න අපට නිසැකව ම කරන්න වැඩ තියෙනවා. ඒත් මේ හවුල්කාරිත්වය යන්නේ නොවැරදිය හැකි පාරක. ඒක පොරොන්දුවලින් පිරිලා තියෙන්නේ."