ගෝලීය සුපිරි බලවතාගේ තැන චීනයෙන් උදුරා ගැනීමට ඉන්දියාවට හැකි වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, රිකාඩෝ සෙන්රා
- Role, ගෝලීය ජනගහණ වාර්තාකරු
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි පෘථිවියේ වැඩි ම ජනගහණය හිමි රට ලෙස චීනය අභිබවා යාමට ඉන්දියාව සමත් විය.
ඉන්දියාවට සිය බලවත් අසල්වැසියා වන චීනයේ ගෝලීය සුපිරි බලවතාගේ තත්ත්වයට සම වීමට හෝ අභිබවා යාමට හැකි වේ ද?
ආර්ථික වපසරිය, භූ දේශපාලනික බලපෑම සහ හමුදා බලය අතින් චීනය තවමත් බොහෝ ඉදිරියෙන් සිටියි. එහෙත්, විශේෂඥයින් පවසන්නේ, එම තත්ත්වය වෙනස් වෙමින් පවතින බව ය.
2001 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගලාභියා වූ මයිකල් ස්පෙන්ස් පවසන පරිදි, ඉන්දියාවේ වාරය දැන් පැමිණ තිබේ.
"ඉන්දියාව චීනය අභිබවා යාවි," ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ පීඨාධිපති ද වන මහාචාර්යවරයා බීබීසී ය වෙත පැවසීය. "චීනයේ ආර්ථිකය මන්දගාමී වේවි, ඒත් ඉන්දියාවේ එහෙම වෙන්නෙ නෑ."
එහෙත්, ඉදිරියේ දී අභියෝග රැසක් හමුවනු ඇත.
ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය චීනය සතු වන අතර, එය පස්වන ස්ථානයේ පසු වන ඉන්දීය ආර්ථිකයට වඩා පස් ගුණයකින් විශාල ය.
සාපේක්ෂව කුඩා පරිමාණයේ මධ්‍යම පන්තියකට හිමිකම් කියන ඉන්දියාවට, "චීන-මාදිලියේ" දියුණුවක් ළඟා කර ගැනීම සඳහා අධ්‍යාපනය, ජීවන තත්ත්වය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ ආර්ථික ප්‍රතිසංස්කරණ යන අංශවල දැවැන්ත ආයෝජනය කිරීම් අවශ්‍ය වේ.
එමෙන් ම, ගෝලීය සුපිරි බලවතා බවට පත් වීම ජනගහණයෙන් සහ ආර්ථිකයෙන් ඔබ්බට යන කාරණයකි. එය, ඉන්දියාව බොහෝ පිටුපසින් සිටිනා ක්ෂේත්‍රයක් වන භූ දේශපාලනික හා හමුදා බලය මත තීරණය වේ.
සංස්කෘතික බලය ද මෙහිදී කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරයි. ඉන්දියාව ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ දී බොලිවුඩ් සිනමා කර්මාන්තය අතිශය ඵලදායී ය. එය Netflix වාර්තා බිඳ දමා තිබේ.
එහෙත්, අනෙක් අතට 'චයිනාවුඩ්' නමින් ද සිනමා කර්මාන්තයක් පවතියි: වේගයෙන් වර්ධනය වන චීන සිනමා කර්මාන්තය 2020 වසරේ දී ලොව විශාලතම බොක්ස් ඔෆිස් වාර්තාවට හිමිකම් කියමින් හොලිවුඩය පරාජය කළේ ය. 2021 වසරේ දී ද එය එසේ ම සිදු විය.
ඉන්දියාවේ ආර්ථික ගම්‍යතාව

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වර්තමානයේ දී, චීනයේ දෛනිකව දරුවන් 49,400 දෙනෙකු උපදින විට, ඉන්දියාවේ දෛනිකව දරුවන් 86,000ක් උපත ලබයි.
සරුභාවය පිළිබඳ අනුපාත පහළ අගයක පවතින හෙයින් චීනයේ ජනගහණය මේ වන විට ත් හැකිළීමකට ලක්ව ඇති අතර, මෙම ශතවර්ෂය අවසන් වන විට එය බිලියනයක් දක්වා පහත වැටීමට නියමිත ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, 2064 වසර වන තෙක් ඉන්දියාවේ ජනගහණය තවදුරට ත් වර්ධනය වන බව ය. ඒ අනුව, මේ වන විට ඉන්දියාවේ බිලියන 1.4ක් වන ජනගහණය 2064 වසර වන විට 1.7ක් දක්වා ඉහළ යනු ඇත.
එය ඉන්දියාවට "ජනවිකාස ලාභාංශයක්" ලබා දෙන අතර, වැඩ කරන වයසේ ජනගහණය ඉහළ යාම හේතුවෙන් වේගවත් ආර්ථික වර්ධනයකට මාර්ගය විවර වනු ඇත.
"ඉන්දියාවේ 1990 ගණන්වල වර්ධක ප්‍රතිසංස්කරණවල ලාභයන් දැන් ලැබෙමින් තියෙනවා. ඒත් ඒ ශ්‍රම බලකාය උගත්, සෞඛ්‍ය සම්පන්න, කුසලතාපූර්ණ සහ ආර්ථිකයට දායක වීමට හැකියාව ඇති අය වීම වැදගත්," යනුවෙන් නිව් යෝර්ක් නිව් ස්කූල්හි ඉන්දියා චීන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය මාක් ෆ්‍රේසියර් පැහැදිලි කරයි.
මෑත මාස කිහිපයේ දී Apple සහ Foxconn වැනි ප්‍රධාන බහුජාතික සමාගම් ආකර්ෂණය කරගෙන තිබියදී ත්, ඉන්දියාවේ අභ්‍යන්තර නිලධාරීවාදය සහ නිරන්තරයෙන් සිදුවන ප්‍රතිපත්ති වෙනස් කිරීම් හේතුවෙන් ඇති වන අස්ථාවරත්වයන් මඟින් ඇතැම් ජාත්‍යන්තර ආයෝජකයන් බියගැන්විය හැකි ය.
"ඔබේ ජනගහණය විශාල වන තරමට ඔබ බලවත්වන බව 19 වන සියවසේ පැවති මතයක්," මහාචාර්ය ෆ්‍රේසියර් කරුණු දක්වන්නේ ඊට තව ත් බොහෝ සාධක ඇති බව පැහැදිලි කරමිනි.
ලෝක බැංකුවේ දත්තවලට අනුව, වර්තමානයේ වැඩ කරන වයසේ පසු වන ඉන්දියානුවන් අතරින් සැබැවින් ම රැකියා කරන්නේ හෝ රැකියා සොයන්නේ අඩක් පමණි.
එම තත්ත්වය කාන්තාවන් සම්බන්ධයෙන් බලන විට 25%ක් දක්වා පහළ අගයක පවතින අතර, එම අගය චීනයේ 60%ක් සහ යුරෝපා සංගමයේ 52%ක් ලෙස පවතියි.
1980 සහ 1990 සිදු කෙරුණු ප්‍රතිසංස්කරණ මාලාවකින් පසුව චීනයේ ආර්ථිකය වෙනත් කිසිදු රටකට වඩා වර්ධනය විය. එහෙත්, කොවිඩ් ව්‍යාප්තිය, වයස්ගත ජනගහණය සහ බටහිර රටවල් සමග වර්ධනය වෙමින් පවතින උණුසුම් තත්ත්වය එරට ආර්ථික වර්ධනයට බලපා තිබේ.
ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය මේ වන විට ත් චීනයට වඩා වේගවත්ව වර්ධනය වෙමින් පවතින අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රක්ෂේපණවලින් පෙනී යන්නේ එම තත්ත්වය තවදුරට ත් පවතිනු ඇති බව ය.

කෙසේවෙත ත්, මන්දගාමී වර්ධන අනුපාතයක් පැවතීම යනු චීනයේ පසුබැසීමක් ද?
"2030 වසර වෙන තුරු චීනය 4%කින් හෝ 5%කින් වර්ධනය වෙනවා නම් ඒක ආකර්ෂණීය ජයග්‍රහණයක් වෙයි. 8-9%ක වර්ධන වේගයක් තියෙන රටකට මේක නරක මන්දගාමී තත්ත්වයක් කියලා මිනිසුන්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒ ගැන සිතිය යුතු නිවැරදි ක්‍රමය ඒක නෙවෙයි," මහාචාර්ය ස්පෙන්ස් පැහැදිලි කළේ ය.
"චීනය දැන් ඇමෙරිකාව වගේ. අපි කවදාවත් 8,9,10% වගේ අනුපාතවලින් වර්ධනය වෙලා නෑ. ඔවුන් නිෂ්පාදන වර්ධනය ගැන විශ්වාසය තියන් යනවා. මම හිතන්නේ ඔවුන්ට සාර්ථක වෙන්න පුළුවන් වෙයි, මොක ද, අධ්‍යාපනය, විද්‍යාව සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල දැවැන්ත ආයෝජන සිදුවන නිසා."
චීන හමුදාමය ව්‍යාප්තිය
ඉන්දියාව සහ චීනය සතු න්‍යෂ්ටික බලය නිසා ඔවුන්ට ලෝක චෙස් පුවරුවේ උපායමාර්ගික ස්ථාන හිමි වී තිබේ.
ඇමෙරිකානු විද්‍යාඥයින්ගේ සම්මේලනය ඇස්තමේන්තු කර ඇති පරිදි චීනයේ න්‍යෂ්ටික අවි බලය ඉන්දියාවේ න්‍යෂ්ටික අවි බලයට වඩා 2.5 ගුණයකින් වැඩි ය.

චීනයේ සන්නද්ධ හමුදා සතුව ඉන්දියාවට වඩා 600,000ක් භටයින් සිටින අතර, ඔවුන් ආරක්ෂක කර්මාන්තය වෙත විශාල ලෙස ආයෝජනය කරයි.
"ඉන්දියාව විශාල වශයෙන් රුසියාව මත යැපෙන අතර තාක්ෂණය සහ විශේෂඥයින් ආනයනය කරනවා. ඒත් චීනය ආරක්ෂක යටිතල පහසුකම් සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සහ දේශීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අවිවාදිත යි," මහාචාර්ය ෆ්‍රේසියර් පවසයි.
ආරක්ෂක ක්ෂේත්‍රයේ පැහැදිලි වාසිය චීනය සතුවුව ද, ලෝක ආරක්ෂක බලයෙන් වැඩිමනක් දරන යුරෝපය සහ ඇමෙරිකාව සමග යහපත් සබඳතා පැවතීමේ වාසිය ඉන්දියාව සතු ය.
"නැගෙනහිර ආසියාව පමණක් නොව දකුණු ආසියාව ද, බටහිර පැසිෆික් සාගරය පමණක් නොව ඉන්දියන් සාගරය ද ආශ්‍රිතව චීනය වටා ආරක්ෂක කලාපයක් නිර්මාණය කරමින් සිටින ඇමෙරිකාව සඳහා ඉන්දු-පැසිෆික් කලාපයේ වැදගත් උපායමාර්ගික හවුල්කරුවෙකු වීමට ඉන්දියාවට පුළුවන්," මහාචාර්ය ෆ්‍රේසියර් වැඩිදුරට ත් පැවසීය.

භූ දේශපාලනික විකල්ප
ඉන්දියාව මේ වසරේ G20 සමුළුවේ සත්කාරකත්වය දරන අතර, සිය රටෙහි දී ම ගෝලීය ධනවතුන්ගෙන් 85%ක් වෙත ප්‍රවර්ධන කටයුතු කිරීමේ අවස්ථාවක් ලෙස එය පෙනී යයි.
එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති සමයේ සිට ලෝකයේ බලවත් ම රටවල් සමග චීන රජය පවත්වන සබඳතා විශාල ලෙස පළුදු වී තිබුණ ද, රුසියාව සහ දකුණු අප්‍රිකාවේ සිට සෞදි අරාබිය සහ යුරෝපා සංගමය දක්වා රටවල් 120කට වැඩි සංඛ්‍යාවක් සමග චීනය ප්‍රධාන ආර්ථික හවුල්කරු ලෙස ක්‍රියා කරයි.
එය සතු ඩොලර් ට්‍රිලියන ගණනක 'එක් තීරයක් එක් මාවතක්' (Belt and Road) ක්‍රියාන්විතය මඟින් විදේශයන්හි චීන දේශපාලන බලපෑම වර්ධනය කරයි.
ඉන්දියාව බටහිර වැදගත් භූ දේශපාලන හවුල්කරුවෙකු ලෙස සැලකුන ද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය ආසන පහෙන් එකක් චීනය සතුවන අතර, ඉන් අදහස් වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ගනු ලබන සෑම ප්‍රධාන ගෝලීය තීරණයක් සඳහා ම තීරණාත්මක සහ නිෂේධ බලය චීනය සතුබව යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ, ඉන්දියාව සහ වර්ධනය වන තවත් ආර්ථිකයන් විසින් වසර ගණනක් තිස්සේ වෙනස් කිරීම සඳහා අසාර්ථක උත්සාහයක නිරතවූ යමකි.
"1945 දී අවසන් වූ ගැටුමේ ජයග්‍රාහකයින් තවමත් ගෝලීය ආරක්ෂක නියෝගයන් ක්‍රියාත්මක කිරීමේ තේරුමක් නැතිබව අපි කවුරුත් දන්නා නමුත්, ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින්ගේ නව පෙළගැස්මක් සිදුවේවි කියලා මම හිතන්නේ නැහැ," මහාචාර්ය ෆ්‍රේසියර් පවසයි.
මහාචාර්ය මයිකල් ස්පෙන්ස් ද ඊට එකඟ ය.
"ඡන්ද බලයට තවදුරට ත් ආර්ථික තත්ත්වයට හෝ බලයට සම්බන්ධයක් නෑ. ඒ නිසා යම් අවස්ථාවක දී ලෝකය මේ ආයතන ප්‍රතිසංස්කරණය කරාවි, එහෙම නැත්නම් ඒවායේ වැදගත්කම අඩුවෙන්න පටන් ගනීවි. මොකද, ඒ සඳහා විකල්ප ආයතන බිහිවෙන්න පුළුවන්."
මේ වන විට ඇති ප්‍රධාන විකල්පයක් වන්නේ Brics සම්මේලනය යි. එය ගෝලීය උතුරේ ආර්ථික සහ භූ දේශපාලනික බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක්ව පිහිටුවාගත් සම්මේලනයකි.
සංස්කෘතික බලය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සියවසකට පෙර, ඇමෙරිකානු සාරධර්ම සහ බලපෑම අපනයනය කිරීම සඳහා හොලිවුඩ් සිනමාව බලවත් මෙවලමක් බවට පරිවර්තනය විය.
චීනය සහ ඉන්දියාව සාර්ථක ලෙස එම උපාය මාර්ගය අනුගමනය කරමින් සිටියි.
2007 වසරේ සිට චීනයේ සිනමා ශාලා සංඛ්‍යාව 80,000ක් දක්වා විසි ගුණයකින් ඉහළගොස් තිබේ (ඇමෙරිකා එක්සත් ජනපදයේ එම සංඛ්‍යාව 41,000ක් වන අතර ඉන්දියාවේ 9,300කි).
"වසංගතයට කලින් චයිනාවුඩ් සිනමා කර්මාන්තය, චිත්‍රපට සම නිෂ්පාදන කිරීමත්, හොලිවුඩ් චිත්‍රාගාර අත්පත් කර ගැනීමත් හරහා ඔවුන්ගේ වර්ධනය සහ බලපෑම පවත්වාගෙන ගියා," කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ මාධ්‍ය හා සංස්කෘතික අධ්‍යයන අංශයේ චීන මහාචාර්යවරයෙකු වන වෙන්ඩි සූ පවසයි.
එහෙත්, 2020 සහ 2021 අඛණ්ඩව වසර දෙකක් ඇමෙරිකාව චිත්‍රපට වෙළෙඳපොළ අභිබවා ගිය චීනයේ බොක්ස් ඔෆිස් මට්ටම 2022 වසරේ දී 36%කින් පහත වැටුණේ කොවිඩ් වසංගතය නිසා සිනමාහල් වසා දැමීම හේතුවෙනි.
බොලිවුඩ් සිනමා කර්මාන්තය 'ආසියානු හොලිවුඩය' ලෙස පොදුවේ සැලකෙද්දී, 'චයිනාවුඩ්' යන්න තවමත් බොහෝදෙනාට අප්‍රකට නමක්ව පවතියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ලෝකය පුරා බොලිවුඩ් ඇති කරල තියෙන බලපෑම ඉතා විශාල යි, ඒ වගේ ම ශක්තිමත්," මහාචාර්ය සූ පවසයි.
"චීනය තුළ පවා චීන ප්‍රේක්ෂකයින් අතරේ බොලිවුඩ් චිත්‍රපට දැවැන්ත බලපෑමක් කරල තියෙනවා. දංගල් (හිටපු මල්ලවපොර ක්‍රීඩක මහාවීර් සිං ෆොගාත් පිළිබඳව 2016 වසරේදී නිෂ්පාදනය කරන ලද බොලිවුඩ් චිත්‍රපටයක් - ආමීර් ඛාන් රංගනයේ යෙදෙයි) චීනයේ හැම හොලිවුඩ් චිත්‍රපටයක් ම ඉක්මවා අඛණ්ඩව දින 16ක් චීනයේ බොක්ස් ඔෆිස් අංක එකේ චිත්‍රපටය බවට පත්වුණා. ඒක දවස් 60ක් තිරගත කළා. ඒක ලෝක සිනමා ඉතිහාසයේ වැඩි ම කාලයක් දුවපු චිත්‍රපටවලින් එකක්."












