තාලිබාන් නියෝගයකින් ඇෆ්ගනිස්ථානයේ රූපලාවණ්‍යාගාර තහනම් කෙරෙයි

A beauty salon in Mazar-i-Sharif

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇෆ්ඝනිස්ථානයේ රූපලාවණ්‍යාගාර වසා දැමීමට මසක කාලයක් ලබා දී තිබේ
    • Author, නිකලස් යොං
    • Role, බීබීසී පුවත්, සිංගප්පූරුව

ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන් මුහුණ දෙන නවතම සීමාකිරීම ලෙස, රූපලාවණ්‍යාගාර වසා දැමීමට තලිබාන් සංවිධානය නියෝගකර තිබේ.

මෙය ක්‍රියාත්මක කිරීම සඳහා, මේ පිළිබඳව ප්‍රථම වරට දැනුම් දුන් ජූලි දෙවන දා සිට මාසයක කාලයක් ලබා දී ඇති බව දුරාචාර සහ ගුණධර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු බීබීසී පුවත් සේවයට පැවසුවේ ය.

2021 වසරේදී තලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු කාන්තා නිදහස වේගයෙන් සීමා කෙරිණි.

ඔවුන් නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමර, ව්‍යායාම් ශාලා සහ උද්‍යානවලට ඇතුළුවීම තහනම් කර ඇති අතර, කාන්තාවන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීම පවා මෑතකදී තහනම් කර ඇත.

කාන්තාවන් ඔවුන්ගේ ඇස් පමණක් පිටතට පෙනෙන ආකාරයට ඇඳුම් ඇඳිය යුතු බව ත්, ඔවුන් කිලෝමීටර් 72ට වැඩි දුරක් ගමන් කරන්නේ නම් පිරිමි ඥාතියෙකු සමග යා යුතු බව ත් නියෝග කර තිබේ.

කාන්තාවන් මෙන් ම, ඔවුන් වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරීන්ගේ විරෝධතාවන් ද, ජාත්‍යන්තර හෙළාදැකීම් ද නොතකා එම සීමාවන් දිගට ම ක්‍රියාත්මක වෙයි.

1996 - 2001 සමයේ තාලිබාන්වරුන් අවසන් වරට බලයේ සිටිය දී ඔවුන් විසින් පනවන ලද පුළුල් පරාසයක සීමාවන් අතර රූපලාවණ්‍යාගාර වසා දැමීම ද එකකි. එහෙත්, 2001 වසරේ ඇමෙරිකාව විසින් මෙහෙයවන ලද ඇෆ්ගනිස්ථාන ආක්‍රමණයෙන් පසු ගත වූ වසර කිහිපය තුළ ඒවා නැවත විවෘත විය.

නව තහනම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, නම සඳහන් නොකළ ඇෆ්ගනිස්ථාන කාන්තාවක, "තාලිබාන් එක ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ මූලික මානව හිමිකම් ඉවත් කරමින් ඉන්නවා,"යි බීබීසී වෙත පැවසුවා ය.

"උන් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය කරනවා. මේ තීරණයෙන්, කාන්තාවක් තව ත් කාන්තාවකට සේවය කරන එකත් අහිමි කරලා තියෙනවා. මේ ප්‍රවෘත්තිය අහපු ගමන් මම ෂොක් වුණා.

"මේකෙන් පේන්නේ, තලිබාන් එකට කාන්තාවන්ගේ සිරුරු ගැන හිතනවාට වඩා වෙනත් දේශපාලනික සැලසුමක් නෑ කියන එක යි. උන් උත්සහ කරන්නේ හැම ආකාරයකින් ම කාන්තාවන්ගේ පොදු ජීවිතයට වැට බඳින්න යි."

වසර දෙකකට පෙර ඇමෙරිකානු හමුදා ඉවත් වීමෙන් පසු තාලිබාන් යළි බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව ද රූපලාවණ්‍යාගාර ක්‍රියාත්මක විය. කෙසේ වෙත ත්, එම සාප්පුවල ජනේල ආවරණය කර ඇති අතර, රූපලාවණ්‍යාගාරවල පිටත ප්‍රදර්ශනය කරන කාන්තාවන්ගේ රූපවල මුහුණු වැසී යන පරිදි තීන්ත ආලේප කර තිබේ.

මෙම තහනමට බලපෑ කරුණු මොනවා ද යන්න හෝ, රූපලාවණ්‍යාගාර වසා දැමීමෙන් පසු ඒ සඳහා දෙන විකල්ප මොනවා ද යන්න පිළිබඳව තලිබාන් රජය පැහැදිලි කිරීමක් කර නැත.

නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි තව ත් ඇෆ්ගනිස්ථාන කාන්තාවක පැවසුවේ, කාබුල් සහ වෙනත් ප්‍රදේශවල පිහිටි රූපලාවණ්‍යාගාර වසා දමන බවට සිය හිතවතුන් තහවුරු කර ඇති බව ය. "මේක ඇෆ්ගනිස්ථාන කාන්තාවන් වැඩිපුර තිගැස්සෙන තව ත් ප්‍රවෘත්තියක්," ඇය බීබීසී පුවත් සේවයට පැවසීය. "මම එළියට ගිහින් බැලුවා. මම ඉන්න පැත්තේ හැම සැලෝන් එකක් ම වහලා දාලා."