තාලිබාන් සංවිධානය ඇෆ්ඝන් කාන්තාවන් ක්‍රමානුකූලව සීමාකර ඇති ආකාරය

Girls in tears on hearing the news at their school in Kabul on 23 March, 2022.

2021 අගෝස්තු 15 වන දින තාලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ පාලනය නැවත ලබාගත් දා සිට, කාන්තාවන්ට සීමාවන් පැනවීම සම්බන්ධ නිර්දේශ සහ නියෝග අන් සියල්ලටම වඩා වැඩියෙන් නිකුත්කර තිබේ.

සමස්තයක් වශයෙන් එවැනි සිදුවීම් 20කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අතර, පූර්ව නියෝගයක් හෝ නිර්දේශයකින් තොරව පවා පනවන ලද සමහර සීමාකිරීම් ද වෙයි.

කාන්තාවන්ට එරෙහි තාලිබාන් නිර්දේශයන් ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ආවරණය කරයි: දේශපාලනයෙන් බැහැර කිරීම; ප්‍රසිද්ධියේ පෙනී සිටීම හා ක්‍රියාකාරකම් සීමා කිරීම; අධ්‍යාපනය තහනම් කිරීම; සහ වැඩ කිරීමේ අයිතිය සීමා කිරීම ඒවා ය.

ඉස්ලාමිකයින්, ඔවුන් අවසන් වරට බලයේ සිටි කාලයට වඩා සෞම්‍ය ලෙස රාජ්‍යය පාලනය කරන බවට පොරොන්දු වී තිබියදීත්, කාන්තාවන් මත පනවා ඇති ප්‍රධාන සීමාවන් මේවා ය:

'පිරිමින්ගේ කැබිනෙට්ටුව' (2021 සැප්තැම්බර්)

2001 දී, පෙර පැවති තාලිබාන් පාලනය පෙරලා දැමීමෙන් පසු පැමිණි දශක දෙක තුළ, හමීඩ් කර්සායි සහ මොහොමඩ් අෂ්රෆ් ඝානිගේ නායකත්වයෙන් යුත් ආණ්ඩු දේශපාලනය තුළ වැඩි කාන්තා සහභාගීත්වයකට ඉඩකඩ සැපයීමට උත්සාහ කළේ ය - කාන්තාවන්ට පාර්ලිමේන්තු අසුන් හිමිවූ අතර, ඇමතිවරියන් සහ තානාපතිවරියන් ලෙස ද, පසුව ආණ්ඩුකාරවරියන් සහ බොහෝ ප්‍රධාන ආයතනවල ප්‍රධානීන් ලෙස සේවය කරන ලදී .

2021 අගෝස්තු 15 වන දින තාලිබාන් සංවිධානය නැවත බලයට පත් වූ විට, සටන්කාමී කණ්ඩායම කෙතරම් වෙනස් වී ඇත්දැ යි ලෝකය බලා සිටියේ ය.

අගෝස්තු 30 දා - අවසන් ඇමරිකානු සොල්දාදුවා ඇෆ්ඝනිස්ථානයෙන් පිටව ගිය දිනට පසු දින - එවකට කටාර්හි තාලිබාන් දේශපාලන කාර්යාලයේ නියෝජ්‍ය ෂෙර් මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි බීබීසීය හා විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී පැවසුවේ "කාන්තාවන් රජයට සක්‍රීයව සම්බන්ධ වන බවට සැකයක් නැහැ, නමුත් ඔවුන්ට ඉහළ තනතුරු සඳහා සහභාගීත්වය ලබා දෙයිදැ යි මට කියන්න බැහැ."

සතියකට පසු, තාලිබාන්වරු සිය "වැඩබලන කැබිනට්ටුව" නිවේදනය කළහ - එයට කාන්තාවන් කිසිවෙකුත් ඇතුළත් නොවී ය.

උද්ඝෝෂණ (2021 සැප්තැම්බර්)

Female protesters in Kabul

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවන්ට පනවා ඇති සීමාවන්ට එරෙහිව පැවැත්වෙන විරෝධතා බොහෝවිට ප්‍රචණ්ඩ ලෙස මර්දනය කෙරෙයි

තාලිබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු ඇෆ්ඝනිස්ථාන කාන්තාවන් ඔවුන්ට එරෙහිව වැඩිවන සීමාවන්ට විරෝධය දක්වමින් විරෝධතා පවත්වා ඇත.

විවිධ අවස්ථාවල දී, විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩ ලෙස පහර දී හෝ දින ගණනාවක් රඳවා තබා ගන්නා ලදී.

2021 සැප්තැම්බර් 7 වන දින හීරත්හි දී තාලිබාන් සංවිධානය විරෝධතාවයේ නිරත කාන්තාවන්ට වෙඩි තැබීමෙන් තිදෙනෙකු මියගිය අතර තවත් හත් දෙනෙකු තුවාල ලැබී ය.

එයින් දිනකට පසුව, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක් මඟින් විරෝධතා සඳහා සීමාවන් පනවා ඇති අතර පෙලපාලිකරුවන් ආරක්ෂක ආයතනවලට කල්තියා දැනුම් දිය යුතු බව අවධාරණය කර තිබේ.

එදිනම, කාන්තාවෝ දුසිම් ගනනක් විරෝධය දැක්වීමට කාබුල් වෙත රැස්වූහ. තාලිබාන් ආරක්ෂක භටයින් ඔවුන්ට පොලුවලින් පහර දී එම ප්‍රදේශයෙන් පලවා හරින ලදී.

ඊට සමාන විරෝධතා සියල්ල එම ආකාරයෙන් හෝ වෙනත් ආකාරයකින් යටපත් කර ඇත.

රාජ්‍ය සේවකයන් (අගෝස්තු/ සැප්තැම්බර් 2021)

බලයට පත් වී මාසයක් ඇතුළත, රජයේ ආයතනවල වැඩ කරන කාන්තාවන්ට නිවසට වී සිටින ලෙස උපදෙස් ලබා දෙනු ලැබුණි.

2021 සැප්තැම්බර් 19 වන දින, කාබුල් මහ නගර සභාවේ සේවිකාවන්ට දන්වා තිබුණේ ඔවුන්ගේ පිරිමි සගයන්ට වැඩ කළ නොහැකි (ක්ෂේත්‍ර වල) අයට පමණක් වැඩ කිරීමට අවසර දෙන බවයි.

Women work in a municipality office in Afghanistan

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇෆ්ඝනිස්ථානය පුරා බොහෝ රාජ්‍ය සේවිකාවන් ඔවුන්ගේ රැකියාවවලින් ඉවත්කර ඇත

අද සෑම ආයතනයකම, අමාත්‍යාංශවලම වාගේ සේවිකාවන් නිවෙස්වලට වී හිඳ, මසකට වරක් තම කාර්යාලයයට ගොස් වැටුප් ලබාගනියි.

ඇෆ්ඝනිස්ථාන සිවිල් සේවයේ කාන්තා කාර්ය මණ්ඩලය 2022 ජුනි මාසයේ දී තාලිබාන් සංවිධානයෙන් ඉල්ලා සිටියේ ඔවුන්ට වැඩ කිරීමට ඉඩ දෙන ලෙසත් ඔවුන් වෙනුවට පිරිමින් බඳවා නොගන්නා ලෙසත්ය.

මාසයකට පසු, මුදල් අමාත්‍යාංශයේ කාන්තා සේවිකාවන්ට පවසා තිබුණේ ඔවුන් වෙනුවෙන් වැඩ කිරීමට ඔවුන්ගේ නිවසේ ඕනෑම පිරිමි සාමාජිකයෙකු එවන ලෙසත්, ඔවුන් නිවසේ රැඳී සිටිය යුතු බවත් ය (තාලිබාන්වරු මෙසේ දැනුම්දුන්බව ප්‍රතික්ෂේප කළහ).

රාජ්‍ය සෙවකකයන්ට අමතර ව, කාන්තා හමුදා සහ පොලිස් නිලධාරිනියන්ට, අධිචෝදකයින් සහ විනිසුරුවන්ට ද ඔවුන්ගේ රැකියා අහිමි වූ අතර නිවසේ රැඳී සිටීමට හෝ රට හැර යාමට බල කෙරුණි.

සංගීතය (අගෝස්තු/ සැප්තැම්බර් 2021)

A young girl plays the piano in a music class in the Afghan National Institute of Music on 19 October 2011 in Kabul, Afghanistan.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇෆ්ඝන් ජාතික සංගීත ආයතනයේ පැවැත්වූ මෙවැනි පන්ති (2011 දී) මේ වන විට නවතා දමා ඇත

තාලිබානය ඕනෑම ආකාරයක සංගීතයකට විරුද්ධ ය. එබැවින් ඇෆ්ඝන් ජාතික සංගීත ආයතනයේ සිසුන් (තාලිබානය විසින් එරට) අත්පත්කර ගත් මුල් දිනවලම පන්තිවලට සහභාගී වීම නවත්වන ලදි. එතැන් සිට ආයතනය වසා දමා ඇත. සෝරා වාද්‍ය වෘන්දයේ (ඇෆ්ඝනිස්ථානයේ පළමු කාන්තා වාද්‍ය වෘන්දය) සාමාජිකයෝ රැකවරණය පතා පෘතුගාලයට පලා ගියහ.

ක්‍රීඩා (සැප්තැම්බර් 2021)

තාලිබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ක්‍රීඩිකාවන් ඇෆ්ඝනිස්ථානයේ කිසිදු ක්‍රීඩාවකට සහභාගී වී නොමැති අතර, ක්‍රීඩා සඳහා අප්‍රකාශිත තහනමක් ද පනවා ඇත.

2021 සැප්තැම්බර් 8 වන දින එවකට සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය අහමදුල්ලා වසීක් පැවසුවේ ක්‍රීඩිකාවන්ගේ මුහුණ සහ ශරීරය වැසී නොතිබිය හැකි බැවින් ද, එය ෂරියා නීතියෙන් අවසර නැති දෙයක් නිසා ද කාන්තාවන්ගේ ක්‍රීඩා "නුසුදුසුය හා අනවශ්‍ය" ක්‍රියාකාරකමක් බව යි.

"ආරක්ෂිත පරිසරයක්" ලබා දිය හැකි විට කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට අවසර දෙනු ඇතැ යි ඔහු පැවසූ නමුත් මාස 17කට පසු ඔවුන්ට දේශීය හා විදේශීය තරගවලට සහභාගී වීම තවමත් තහනම්ව තිබේ.

ක්‍රීඩිකාවන්ට ඉඩ ලබා නොදුන්නේ නම් ඇෆ්ඝනිස්ථානය සමග ඇති සබඳතා කපා හරින බවට 2022 දෙසැම්බරයේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇෆ්ඝනිස්ථානයට අනතුරු ඇඟවූ අතර, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ද එම හේතුව නිසාම ඇෆ්ඝනිස්ථානය සමග එක්දින තරග අවලංගු කරන ලදී.

ශිෂ්‍යයින් හා ශිෂ්‍යාවන් වෙන් කිරීම (සැප්තැම්බර් 2021)

A class divided by a curtain separating males and females at a private university in Kabul

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්වවිද්‍යාල මුල දී සිසුසිසුවියන් ස්ත්‍රී-පුරුෂභාවය මත පදනම්ව වෙන්කොට තැබීම පිළිබඳ තාලිබාන් නීතිරීතිවලට අනුකූලවීමට තිර යෙදීය

තාලිබාන් සංවිධානය යළි බලයට පත්වී මාසයක් ගතවන්නට මත්තෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල පිරිමි සහ කාන්තා සිසුන් වෙන් කිරීමට ඔවුහු නිර්දේශ කළහ.

2021 සැප්තැම්බර් 12 වන දින, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය බීබීසීය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී පැවසුවේ රජයේ විශ්වවිද්‍යාල සඳහා ද එම උපායමාර්ගය වලංගුබව යි.

මුලදී පන්ති කාමරවල ශිෂ්‍යයින් හා ශිෂ්‍යාවන් අතර තිර රෙද්දක් යොදා පන්ති වෙන් කළ අතර, අවසානයේ දී ඔවුන්ට වෙනස් දිනවල පන්තිවලට යාමට සලස්වන ලදී.

කාන්තා කටයුතු අමාත්‍යාංශය (සැප්තැම්බර් 2021)

තාලිබාන් ආණ්ඩුවේ කාන්තාවන් දේශපාලනයෙන් බැහැර කිරීමේ මීළඟ පියවර වූයේ කාන්තා කටයුතු අමාත්‍යාංශය "අහෝසි කිරීම" ය.

තම රැකියාව දිගටම කරගෙන යාමට උත්සාහ කරන සේවිකාවන්ට තවදුරටත් අමාත්‍යාංශයට ඇතුළු වීමට අවසර නොලැබුණි.

කාන්තා කටයුතු අමාත්‍යංශය අහෝසි නොකරන බවට තාලිබාන් නිලධාරීන් මුලින් බීබීසීයට පැවසුව ද, දින කිහිපයකට පසු සැප්තැම්බර් 17 වන දා ඔවුන් අමාත්‍යාංශයේ නම වෙනස් කළ අතර, ගොඩනැගිල්ලේ දැන් ‘ශීලය ප්‍රචාරණය සහ දුෂ්චරිතය වැළැක්වීමේ අමාත්‍යාංශය’ (PVPV) පිහිටා තිබේ.

ද්විතීයික පාසල් (සැප්තැම්බර් 2021)

Boys attend their class at Istiklal school in Kabul on 18 September 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2021 සැප්තැම්බර් මාසයේ දී ඇෆ්ඝනිස්ථාන අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ට පමණක් නැවත පාසලට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේ ය

2021 සැප්තැම්බර් 17 දින, අධ්‍යාපන අමාත්‍යාංශය පුවත් පත්‍රිකාවක් හරහා පිරිමි සිසුන්ට සහ ගුරුවරුන්ට පමණක් නැවත පාසල් වෙත පැමිණෙන ලෙස ඉල්ලා සිටි නමුත්, හතේ සිට 12 ශ්‍රේණිය දක්වා බාලිකා ද්විතීයික පාසල් ගැන කිසිවක් සඳහන් කර තිබුණේ නැත.

සමහර තාලිබාන් නිලධාරීන් ජනතාව විශ්වාස කිරීමට පෙළඹවූ පරිදි, නව අධ්‍යයන වර්ෂයේ දී මෙම පාසල් නැවත විවෘත වනු ඇතැ යි ඇෆ්ඝනි පවුල් අපේක්ෂා කළහ.

නව අධ්‍යයන වර්ෂය ආරම්භ වූයේ 2022 මාර්තු 23 වන දින වූ අතර, පාසල් වෙත ගිය බොහෝ ශිෂ්‍යාවන් අවසාන මොහොතේ හරවා එවනු ලැබූයෙන් කඳුළු සලමින් ආපසු ඒමට ඔවුනට සිදුවිය.

තාලිබානය පොරොන්දුවී තිබියදීත්, දින 500කට පසුව ද (2023 ජනවාරි 29) තහනම ක්‍රියාත්මක වේ. නමුත් ඇතැම් ප්‍රදේශවල 12 වන ශ්‍රේණියේ ගැහැණු ළමයින්ට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී විභාගයකට පැමිණෙන ලෙස දන්වා තිබුණි.

රූපවාහිනිය සහ රංගන ශිල්පිනියන් (නොවැම්බර් 2021)

Female Afghan television presenter

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නිවේදිකාවන්ට හිස් ආවරණ නොමැතිව රූපවාහිනියේ පෙනී සිටීම තාලිබාන් සංවිධානය තහනම් කළේ ය

තාලිබාන් රජය විසින් පනවන ලද නව නීති යටතේ 2021 නොවැම්බර් මාසයේ දී ඇෆ්ඝනිස්ථානයේ රූපවාහිනී නාට්‍යවල කාන්තාවන්ට පෙනී සිටීම තහනම් කරන ලද අතර මාධ්‍යවේදිනියන් සහ නිවේදිකාවන්ට තිරය ඉදිරියේ හිස් ආවරණ පැළඳීමට ද නියෝග කරන ලදී. බොහෝ මාධ්‍යවේදිනියන් ආරක්ෂාවට ඇති තර්ජන හේතුවෙන් රැකියා හැරගොස් ඇති අතර ඇතැමුන්ට රට හැර යාමට සිදුවී ඇත.

හඬ ශිල්පිනියන් පවා සීමාවන්ගෙන් නිදහස් නොවීය.

2001 සිට, ඇෆ්ඝනිස්ථාන ප්‍රේක්ෂකයින් සඳහා විදේශීය නාට්‍ය මාලාවන් දේශීය භාෂාවන්ට පරිවර්තනය කර ඇති අතර, කාන්තාවන් සිය ගණනක් එම ක්ෂේත්‍රයේ සේවයේ යෙදී සිටියි.

නමුත් තාලිබාන්වරු මෙම කතාමාලා තහනම් කළ අතර මෙම කාන්තාවන්ට රැකියා අහිමි විය - ඔවුන්ගෙන් බොහෝදෙනෙකු ඔවුන්ගේ පවුල්වල එකම ආදායම් උපයන්නිය විය.

ගමන්බිමන් (දෙසැම්බර් 2021)

Burqa-clad women travel in a vehicle along a street in Kandahar on 18 December

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තාලිබාන් සංවිධානය කාන්තාවන්ගේ ගමන්බිමන්වල යෙදීමේ ඉඩකඩට පුළුල් සීමාවන් පනවා ඇත

2021 දෙසැම්බර් 26 වන දින තාලිබාන් සංවිධානය කාන්තාවන්ගේ ගමන් බිමන් සඳහා සීමා පැනවීය.

කාන්තාවන්ට හිජාබයක් නොමැතිව ගමන් කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා PVPVය මෝටර් රථ රියදුරන්ට පත්‍රිකා බෙදා හැරි අතර, "මහ්රම්" (පිරිමි භාරකරුවෙකු - පියා, සහෝදරයා, සැමියා හෝ පුතා) නොමැති අයට තනිවම සැතපුම් 45 (කිලෝමීටර් 72) නොඉක්මවා යාමට (පමණක්) අවසර දෙන ලදී.

පසුව, 2022 පෙබරවාරි 27 වන දින, තාලිබාන් සංවිධානය භාරකරුවෙකු නොමැතිව කාන්තාවන්ගේ විදේශ ගමන් සඳහා සීමා පැනවූ අතර, එය "කාන්තාවන් සිරගතකිරීමක්" ලෙස ගෝලීය විවේචනයට ලක් විය.

ගෘහස්ථ හිංසනයට ලක්වූවන්ගේ නවාතැන් (2021 අගෝස්තු-දෙසැම්බර්)

ගෘහස්ථ හිංසනය හේතුවෙන් තම නිවෙස් හැර ගිය ගැහැණු ළමුන්ට සහ කාන්තාවන්ට රැකවරණය ලබාගත හැකි "අමන්" හෝ ආරක්ෂිත නිවාස ලෙස හැඳින්වෙන නිවාස මෑත වසරවල කාබුල් සහ තවත් ඇතැම් ස්ථානවල පිහිටුවා තිබී ඇත.

තාලිබාන් සංවිධානය බලය අල්ලාගත් විට, ආරක්ෂිත නිවාසවල ජීවත්වූ බොහෝ කාන්තාවන් සැඟවීමට ගිය අතර කිසිදු දැනුම්දීමකින් හෝ නිල නියෝගයකින් තොරව එම නිවාස අතුරුදහන් විය.

හිජාබය (මැයි 2022)

තාලිබාන්වරු කාබුල් නගරයට ඇතුළු වී දින කිහිපයකට පසු අගනුවර වීදි වෙනස් විය. රූපලාවන්‍යාගාරවල සහ බිත්ති මත තිබූ කාන්තාවන්ගේ රූපවල තීන්ත ගා ආවරණය කෙරුණු අතර, නව තාලිබාන් සටන් පාඨ බිත්ති මත අලවා තිබුණි. ඒ ඇතැම් පාඨ කාන්තාවන්ට හිජාබය පැළඳීමට උපදෙස් දෙයි.

Women walk past a billboard put up on the wall of a beauty salon in Kabul on 7 August 2021

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තාලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානය අත්පත්කර ගැනීමට පෙර, කාන්තාවන්ගේ මෙවැනි රූප කාබුල්හි වීථිවල බහුලව දැකගත හැකිවිය

2022 ජනවාරි මාසයේ දී තාලිබාන් සංවිධානය "හිජාබය නිරීක්ෂණය කිරීමේ" ව්‍යාපාරයක් ආරම්භකර බොහෝ දැන්වීම් පුවරු සවි කළේ ය.

මාස කිහිපයකට පසු, මැයි 7 වන දා, තාලිබාන් සංවිධානය කාන්තාවන් සඳහා ඇඳුම් පැළඳුම් සීමාවක් ප්‍රකාශයට පත් කළ අතර, සියලුම කාන්තාවන් ප්‍රසිද්ධියේ තම මුහුණ වසාගත යුතු බව ද, එසේ නැතහොත් ඔවුන්ගේ "පිරිමි භාරකරු"ට දඬුවම් කරන බව ද ප්‍රකාශ කරන ලදී.

අවශ්‍ය අවස්ථාවල දී පමණක් කාන්තාවන්ට නිවසින් පිටවිය හැකි බව ද මෙම නියෝගයේ සඳහන් කර ඇත.

ඇඳුම් සාප්පුවල කාන්තා ඇඳුම් අන්දවා තිබෙන නිරූපක ඩමිවල පවා හිස් ආවරණය කිරීමට සාප්පු හිමියන්ට නියෝග කෙරින.

රිය පැදවීම (මැයි 2022)

එම මාසයේම, හීරත් පළාතේ රියදුරු පාසල්වලට ශිෂ්‍යාවන් පුහුණු නොකරන ලෙසට උපදෙස් දෙනු ලැබුණි.

තමන් මෙසේ කළබව තාලිබාන් සංවිධානය මුලින් ප්‍රතික්ෂේප කළ නමුත්, පසුව හීරත් සහ කාබුල්හි සමහර කාන්තා රියදුරන් බීබීසී වෙත තහවුරු කළේ තමන්ට රියදුරු පාඨමාලා හැදෑරීම හෝ බලපත්‍ර ලබා ගැනීම වළක්වා ඇති බව යි.

ෂරියා හිජාබ් පැළඳ සිටින කාන්තාවන්ට රිය පැදවිය හැකි බව එක් තාලිබාන් නිලධාරියෙක් බීබීසීයට ප්‍රකාශ කළ නමුත්, "මධ්‍යම රජය කාන්තාවන්ට නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නතර කර ඇති" බව තවත් අයෙක් පිළිගත්තේ ය.

භාෂා පාඨමාලා සහ ආගමික අධ්‍යයන (සැප්තැම්බර් 2022)

2022 සැප්තැම්බරයේ දී කාබුල් සහ අනෙකුත් පළාත්වල ඇතැම් භාෂා පුහුණු මධ්‍යස්ථාන හිමිකරුවන් බීබීසී වෙත පැවසුවේ, ශිෂ්‍යාවන් සඳහා ගුරුවරියන් බඳවා ගන්නා ලෙසත්, පන්තියේ පිරිමි සිසුන්ගෙන් ශිෂ්‍යාවන් වෙන් කරන ලෙසත් අවධාරණය කරමින් තාලිබාන්වරුන් එම ආයතනයන් වසා දැමූ බව යි.

තම කුඩා දියණියන් තවදුරටත් මස්ජිදවල පවත්වන ආගමික පාඩම්වලට සහභාගි නොවිය යුතු බව පවසමින් දැරියන් මස්ජිදවලින් ආපසු හරවා යැවූබව ද විවිධ පවුල් බීබීසීයට පවසා තිබේ.

අධ්‍යයන පාඨමාලා (ඔක්තෝබර් 2022)

2022 ඔක්තෝම්බර් මස මුල් සතියේ ඇෆ්ඝනිස්ථානයේ පළාත් 33ක විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග ආරම්භවූ නමුත්, ශිෂ්‍යාවන් සඳහා පීඨ තෝරා ගැනීම සීමාකළ පළමු අවස්ථාව එය විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2022 ඔක්තෝම්බර් මස මුල් සතියේ ඇෆ්ඝනිස්ථානයේ පළාත් 33ක විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග ආරම්භවූ නමුත්, ශිෂ්‍යාවන් සඳහා පීඨ තෝරා ගැනීම සීමාකළ පළමු අවස්ථාව එය විය.

කෘෂිකර්මය, පශු වෛද්‍ය විද්‍යාව, ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යාව සහ පතල් කැණීම ඇතැම් පළාත්වල අයදුම්කාරියන්ට දොර වැසුණු ක්ෂේත්‍ර කිහිපයකි.

තාලිබාන් රජයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙය ප්‍රතික්ෂේප කළ ද, ඇතැම් සිසුන් බීබීසී වෙත තහවුරු කළේ තමන් කැමතිම පීඨය "තේරීමේ පත්‍රයේ" නොමැති බව යි.

සති දෙකකට පමණ පසු, තාලිබාන් සංවිධානය කාබුල් විශ්වවිද්‍යාලයයේ නිවේදනයකින් සඳහන් කළේ ශිෂ්‍යාවන්ට කෘෂිකර්මය, වාණිජ්‍යය, පරිගණක විද්‍යාව සහ ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි හැදෑරීම තහනම් කර ඇතිබව යි.

උද්‍යාන, කාන්තා නාන නිවාස සහ ක්‍රීඩා සමාජ (නොවැම්බර් 2022)

Armed Taliban fighters wait to board a pirate ship for a swing in Qargha recreational park on the western suburb of Kabul City on 17 September 2021 in Kabul, Afghanistan.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවැනි උද්‍යාන දැන් කාන්තාවන්ට තහනම්ව තිබේ

ඔවුන්ගේ රජයේ මුල් කාලයේ දී තාලිබාන්වරු කාන්තාවන්ට උද්‍යාන, කාන්තා නාන නිවාස, ක්‍රීඩා සමාජ හෝ ව්‍යායාම මධ්‍යස්ථානවලට යාම සීමා කළේ සුළු වශයෙනි.

කෙසේ වෙතත්, 2022 මාර්තු 27 වන දින, PVPVය ප්‍රකාශයක් නිකුත් කරමින් කාන්තාවන්ට සහ පිරිමින්ට පොදු උද්‍යාන වෙත යාමට දින වෙන් කළේ ය. තෙමසකට පමණ පසු කාබුල්හි කාන්තාවන් සඳහා පමණක් වූ විශේෂ උද්‍යානයක් (ශරාරා බාග්) තාලිබාන්වරුන් විසින් වසා දමන ලදී.

2022 නොවැම්බර් 10 වන දින, උද්‍යාන, නාන නිවාස, ක්‍රීඩා සමාජ සහ ව්‍යායාම මධ්‍යස්ථාන වෙත කාන්තාවන්ට ප්‍රවේශය තහනම් කිරීමක් නිවේදනය කෙරිණි.

"සහෝදරියන් ඔවුන්ට උපදෙස් දුන් පරිදි හිජාබය පිළිපැදීම සිදුකළේ නෑ. ඒ නිසා එවැනි තීරණයක් ගත්තා," PVPV ප්‍රකාශක අකිෆ් මුහජිර් පැවසුවේ ය.

උපාධි ප්‍රදානෝත්සව (දෙසැම්බර් 2022)

2022 අවසාන මාසයේ දී, ඇෆ්ඝනිස්ථානයේ විශාල මංගල ශාලා තුළ පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවවල දී තම හිස් වැසුම් අහසට විසි කළ ශිෂ්‍යයින්ගෙන් සමාජ මාධ්‍ය පිරී ගිය නමුත්, පෙර වසරවල මෙන් ශිෂ්‍යාවන් එම උපාධි සාදවලට සහභාගී වී නොතිබුණි.

පසුව, අලුතින් උපාධිදාරිනියන් බොහෝ දෙනෙකු බීබීසීයට පැවසුවේ විශ්වවිද්‍යාලයයෙන් පිටත දී තමා උපාධිය ලැබීම සැමරීම තහනම් කර ඇති බව යි.

ගුරුවරුන්ට සහ පවුල්වල පිරිමි සාමාජිකයින්ට පවා කිසිදු සාදයකට සහභාගී විය නොහැකි බව ඔවුන්ට දන්වන ලදී. කිසියම් පිරිමි ගුරුවරයෙකු උත්සවයකට සහභාගී වී සිටිනු දුටහොත් ඔහු රැකියාවෙන් නෙරපා හරින අතර සිසුන්ගේ උපාධි සහතික අත්හිටුවනු ලැබේ.

කාබුල් විශ්වවිද්‍යාලයයේ පරිපාලනය විසින් මින් ඇතැම් නිර්දේශයන් දන්වා ආචාර්යවරුන්ට යැවූ ලිපියක් බීබීසීය දුටුවේ ය.

විශ්වවිද්‍යාලයයන් (දෙසැම්බර් 2022)

Students walk along a street near the Kabul University after it was reopened in Kabul on 26 February, 2022

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අගනුවර සිසුවියන් - කාබුල් විශ්වවිද්‍යාලයය සහ අනෙකුත් විශ්වවිද්‍යාල 2022 වසන්තයේ දී නැවත විවෘත කළමුත්, 'නැවත දැනුම්දෙන තුරු' කාන්තාවන්ට උසස් අධ්‍යාපනය තහනම්ව තිබේ

තාලිබාන් රජයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගැහැණු ළමයින්ට උසස් අධ්‍යාපනය ලැබීම තහනම් කළ අතර, 2022 දෙසැම්බර් 21 වනදා සියලුම රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයයන් "නැවත දැනුම්දෙන තෙක්" ගැහැණු ළමයින් සඳහා වසා දමනු ලැබුණි.

අමාත්‍ය නේඩා මොහොමඩ් නදීම් පැවසුවේ “දුෂ්චරිතය වැළැක්වීම” සහ “ෂාරියාව ක්‍රියාත්මක කිරීම” සඳහා තමන් මෙම තීරණය ගත් බව යි. ඔහුගේ ස්ථාවරය පුළුල් ලෙස හෙළා දකින ලද නමුත්, ද්විතීයික පාසල් තහනම් කළ විට පැවසූ ආකාරයට ම වැඩිදුර නිවේදන බලාපොරොත්තුවෙන් සිටින්නැ යි තාලිබාන් රජය ජනතාවට පවසා ඇත.

නමුත් ඇෆ්ඝනිස්ථානයේ බොහෝ ප්‍රදේශවල වෛද්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙනයාමට හැකි වී ඇති අතර ඔවුන්ට තහනමක් පැනවී නොමැත.

රාජ්‍ය නොවන සංවිධාන (දෙසැම්බර් 2022)

2022 දෙසැම්බර් 24 වන දා තාලිබාන් රජය ජාතික හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සියල්ලේම සේවිකාවන් සේවයේ යෙදවීම තහනම් කරන බව නිවේදනය කළේ ය.

ලිපියක් මගින් ආර්ථික අමාත්‍යාංශය මෙම ආයතනවලට දන්වා ඇත්තේ නැවත දැනුම්දෙන තුරු සිය සේවිකාවන්ගේ සේවය අත්හිටුවන ලෙස යි.

තාලිබාන් සංවිධානය මෙයට හේතුව ලෙස ප්‍රකාශ කළේ ඔවුන් "ඉස්ලාමික හිජාබය" සහ "වෙනත් නීති සහ රෙගුලාසි" පිළි නොපැදීම යි.