යුක්රේන වේල්ල:'රුසියාවට අවශ්‍ය වූයේ නගරය දියේ ගිල්වා දමන්න' - ගංවතුරට හසු වූ කර්සොන් කලාපයේ වැසියෝ

A rescue boat on a flooded street

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බිඳී ගිය කහොව්කා වේල්ල ට පහළින් නිප්රෝව් අසල ගම්මාන ගණනාවක් දැන් පෙනෙන්නේ මෙලෙසය.

ජූනි 6 වන දින උදෑසන කර්සොන් සහ ඊට තදාසන්න ප්‍රදේශවල ජනතාව සිය දවස ආරම්භ කළේ, කහොව්කා වේල්ල විනාශ කිරීම පිළිබඳ ප්‍රවෘත්තිය ත් සමග ය. ඒ වන විට ත් ජලය ගලා ඒමට පටන් ගෙන තිබූ ප්‍රදේශවල ජනතාවට කඩිමුඩියේ තම නිවෙස් හැර යාමට සිදු වූහ.

යුක්රේන බලධාරීන් ප්‍රකාශ කළේ, එරට දකුණු ප්‍රදේශයේ පිහිටි මෙම වේල්ල රුසියානු හමුදා විසින් පුපුරුවා හරිනු ලැබ ඇති බව ය. ඊට ප්‍රතිචාර දැක්වූ රුසියාව, වේල්ල විනාශ වූයේ යුක්රේන හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර නිසා යැයි දොස් පැවරුවේ ය.

වේල්ල කැඩී යාම හේතුවෙන් අවට ගම්මාන සහ නගර ඉක්මනින් ජලයෙන් යට වීමට පටන් ගත්තේ ය. ජනාවාස 80කට වැඩි ගණනක් ගංවතුර අවදානමකට ලක්ව ඇතැයි යුක්රේන බලධාරීහු පවසති.

කර්සොන්

කර්සොන්හි දිවි ගෙවන ලුද්මිලා බීබීසීය වෙත පැවසුවේ, මුලදී ඇය මෙම පුවත විශ්වාස නොකළ බව ය. ඇය එය කටකතාවක් යැයි සිතුවා ය. නමුත් තම නිවෙස් හැර යාමට පටන් ගත් මිතුරන්ගෙන් දුරකතන ඇමතුම් ලැබීමෙන් පසු තත්ත්වය බරපතළ බව ඇයට වැටහුණි.

ඇය ජීවත් වන්නේ, අන්තොනිව්ස්කි පාලමට නුදුරින් පිහිටි කර්සොන් නගරයට තදාසන්න නගරයක ය. ඔවුන්ගේ දිස්ත්‍රික්කය අන්තොනිව්කා ලෙස හැඳින්වේ. අන්තොනිව්කාහි වැඩි කොටසක් කඳු මුදුනක පිහිටා ඇති නමුත් ඇතැම් පහත් බිම්වල උදෑසන වන විට ත් ජලය පිරී තිබුණු අතර එය ක්‍රමයෙන් ඉහළ යමින් තිබිණි.

"එහේ ඉන්න එක හරි ම භයානක දෙයක් වුණා," ලුද්මිලා පැවසුවා ය.

A view shows a flooded area after in Kherson on 7 June

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කර්සොන් හි ඇතැම් ප්‍රදේශ දැඩි ලෙස ජලයෙන් යටව තිබේ

ලුද්මිලා සහ ඇගේ සැමියා මලු කිහිපයක් පමණක් රැගෙන ඔවුන්ව කර්සොන් මධ්‍යයේ පිහිටා ඇති ආරක්ෂිත ප්‍රදේශයකට ගෙන යාමට ඉදිරිපත් වූ අසල්වැසියෙකු සමග තම නිවසින් පිටව ගියහ.

තම කුකුළන්, සුනඛයා සහ බළලා රැගෙන යාමට ක්‍රමයක් නොමැති වූ බැවින් ඔවුන් අතහැර දමා යාමට සිදු වූ බව ලුද්මිලා කඳුළු සලමින් පැවසුවා ය. ඇගේ සැමියා ආබාධිත අයෙකු වන අතර එම යුවළ සතුව මෝටර් රථයක් ද නොමැත. එබැවින් ඔවුන්ට තනිව ම නිවසින් පිටව යාමට නොහැකි විය.

කර්සොන්හි තවත් පදිංචිකරුවෙකු වන පව්ලෝ පැවසුවේ, නගරයේ කිසිදු කලබලකාරී තත්ත්වයක් නොතිබුණු නමුත් උදෑසන කාලයේදී ජනතාව ජලය එක්රැස් කිරීමට පටන් ගත් බව ය.

ඔහු කර්සොන්හි දිස්ත්‍රික්ක කිහිපයක සංචාරය කළ අතර නගරය බොහෝ දුරට සුපුරුදු අයුරින් දිස්වුණු බව පවසයි. කඩ සාප්පු සහ වෙළෙඳසල් විවෘත කර තිබිණි.

නගරයේ බොහෝ කොටසක් නිප්‍රෝ ගඟේ ඉහළ දකුණු ඉවුරේ (උතුරට හෝ බටහිරට) පිහිටා ඇත. වැඩි බලපෑමක් එල්ල වූයේ ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ය. නිප්‍රෝ ගඟේ අතු ගංගාවල මුඛයේ පිහිටා ඇති තදාසන්න ප්‍රදේශවල වූ ගම්මාන ද ජලයෙන් යට විය.

කර්සොන්හි ගංවතුරින් යටවූ ප්‍රදේශවල පොලිසිය මුර සංචාර ක්‍රියාත්මක කර තිබුණු බව පව්ලෝ පැවසීය. මෝටර් රථ පරීක්ෂා කරන ලද්දේ, අතහැර දැමූ නිවාස කොල්ලකෑම වැළැක්වීම සඳහා විය හැකි ය.

මෙම ස්ථානවල ඇතැම් ප්‍රදේශවල ජල මට්ටම මීටර් 3.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය. ගඟ ආසන්නයේ තිබූ නිවාස සම්පූර්ණයෙන් ම ජලයෙන් යට විය.

සමහරුන් තනිව ම, තව ත් සමහරු බලධාරීන් විසින් යොදවන ලද බස්රථවල නැග මෙම ප්‍රදේශවලින් පිටව ගියහ. සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් ජලයෙන් යට වූ ගම්මානවල සිටි ජනතාව බස් රථවලින් කර්සොන් වෙත, පසුව මිකොලයිව් වෙත සහ එතැන් සිට ක්මෙල්නිට්ස්කි, ඔඩේසා, ක්‍රොපිවින්ට්ස්කි සහ කියෙව් වෙත ගෙන යනු ලබති.

වැඩි වශයෙන් ගංවතුරට හසු වී ඇත්තේ, රුසියානුවන් විසින් අල්ලා ගන්න ලද ගඟේ වම් ඉවුර (දකුණට හෝ නැගෙනහිරට) ය. නිප්‍රෝ ගඟ දිගේ පිහිටා ඇති ගිම්හාන ඍතුවේදී දිවි ගෙවීම සඳහා නිර්මාණය කර ඇති නිවෙස් පිහිටා ඇති ඇතැම් ස්ථානවල එම නිවෙස්වල ජනේලවලට ත් ඉහළින් ජලය පිරී තිබේ. ඒවායේ ඥාතීන් සහ හිතමිතුරන් සිටින පුද්ගලයින් පවසන්නේ, බලධාරීන් ඔවුන් ඉවත් කිරීමක් සිදුකිරීමට යන බව පෙනෙන්නට තිබුණ ත් ජූනි 7 වන දා වන විට ත් ඔවුන් එය ආරම්භ කර නොතිබුණු බව ය.

Rescue workers pull a dinghy through a flooded area

ඡායාරූප මූලාශ්‍රය, State Emergency Service

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ්‍ය හදිසි සේවා අංශය ගංවතුරින් යට වූ ප්‍රදේශවල ජනතාව මුදා ගනිමින් සිටියි.

පව්ලෝට අනුව, වේල්ල විනාශ කිරීම සම්බන්ධයෙන් මිනිසුන් ප්‍රධාන වශයෙන් දැක්වූ ප්‍රතිචාරය නම්, රුසියානුවන් කෙරෙහි වූ කෝපය සහ ඔවුන්ට ශාප කිරීම යි.

"යුද්ධය ත් එක්ක මිනිස්සු ඕනෑ ම දේකට හුරු වෙලා ඉන්නේ. ඔවුන් බිය ගැන්වීම සරලව ම කළ නොහැක්කක්. මේ වෙච්ච දෙයින් වුණේ ආක්‍රමණිකයා [රුසියාව] කෙරෙහි තිබුණු වෛරය තව ත් වැඩි වුණ එක විතරයි," ඔහු පැවසීය.

"ඒ අයව [රුසියානුවන්ව] අපේ භූමියෙන් පන්නලා දාන්න ඕනේ. වෙන ත් විකප්ලයක් නෑ," ඔහු තවදුරට ත් පැවසීය.

බීබීසීයට සම්බන්ධ කර ගැනීමට හැකි වූ තව ත් කර්සොන්හි වැසියෙකු විසින් ද එවැනි ම මතයක් ප්‍රකාශ කරන ලදී.

රුසියාව "තව ත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ" බව ත් රුසියානුවන්ට "නගරය ගිල්වා දැමීමට අවශ්‍ය" බව ත් ඔවුහු පැවසූහ.

නෝවා කහොව්කා

වේල්ල විනාශ වීමෙන් වැඩි වශයෙන් මේ පීඩාවට පත් වූයේ නෝවා කහොව්කා නගරය යි. උදෑසන කාලය වන විට ත් ජලයෙන් යට වූ වීදිවල ඡායාරූප සමාජ මාධ්‍යවල දැක ගැනීමට හැකි විය. යුක්‍රේනය ආක්‍රමණය කරමින් සිටින රුසියානු බලධාරීන් මෙම සිද්ධිය මුලදී ප්‍රතික්ෂේප කළ අතර ජනගහනය ඉවත් කිරීමට අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළේ ය.

A slipper is seen adrift in a flooded residential area of Nova Kakhovka

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වේල්ල කැඩී යාමෙන් නෝවා කහොව්කා නගරයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

"කිසි ම තොරතුරක් නෑ, මිනිස්සු දන්නේ නෑ මොකක් සිද්ධ වේවි ද කියලා, ජලය ගලා ගෙන එනවා, ඒක නගරයේ ඇති ප්‍රධාන මාවත," මාධ්‍යවේදියෙකු සහ නොවායා කහොව්කාහි මීට පෙර දිවි ගෙවූ අයෙකු වන සර්හි බතුරන් බීබීසීය වෙත පැවසීය.

පසුව, නගරය සම්පූර්ණයෙන් ම පාහේ ජලයෙන් යට වූ විට, නගරයේ පරිපාලන කටයුතු භාර නිලධාරීන් නිවේදනය කළේ, ඔවුන් ජනතාව නගරයෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ය.

සතුන්

අනුකම්පා විරහිතව කඩා වඳින ජල පහර මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද මරණය හා විනාශය ගෙන එයි.

"හැම වෙලාවක ම සතුන්ව වතුරෙන් බේර ගන්න තියෙන්නේ ඉතා ම ත් සුළු කාලයක්," යැයි යුද්ධයේදී සතුන් බේරා ගැනීමට සම්බන්ධ වූ යූඇනිමල්ස් (UAnimals) රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානී ඔලෙක්සන්දර් තොදොර්චුක් පවසයි.

එම සංවිධානයේ කණ්ඩායම් කිහිපයක් දැනට ම ත් කර්සොන් සහ කලාපයේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල සතුන් මුදා ගැනීමේ කටයුතුවල නිරත වෙයි.

යූඇනිමල්ස් සහනසේවකයින් ආරක්‍ෂිත ස්ථානවල සිටින සහ කුඩා පෞද්ගලික සත්වෝද්‍යානවල සිටින සතුන් මෙන් ම, ඔවුන් යන මඟදී හමුවන ඕනෑ ම සතෙකු රැගෙන යන බව තොදොර්චුක් පැවසීය.

ගෘහස්ථව වෙසෙන සතුන් සහ වන සතුන් යන දෙපාර්ශවය ම ඉවත් කිරීමට මෙම රාජ්‍ය නොවන සංවිධානයේ වාහන සතුව අවශ්‍ය උපකරණ පවතියි. යුද්ධය අතරතුර, යූඇනිමල්ස් සංවිධානය සත්වෝද්‍යානයක සිටි සියලු ම සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සමත් විය.

A man approaching a dog on a flooded field

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල බොහෝ සතුන් අවදානමට ලක්ව ඇත

මෙම සමාගම රුසියානුවන්ගේ ග්‍රහණයට නතු වී ඇති භූමියේ පිහිටි සත්වයින් සිටින ආරක්‍ෂිත ස්ථාන සම්බන්ධ කර ගැනීමට ද උත්සහ කරයි.

උදෑසන, නොවායා කහොව්කාහි පිහිටා ඇති කස්කෝවා ඩිබ්රෝවා සත්වෝද්‍යානයේ සියලු ම සතුන් මිය ගොස් ඇති බවට වූ තොරතුරු ඉන්ටර්නෙට් ඔස්සේ දැකගත හැකි විය. සත්වෝද්‍යාන කළමනාකාරීත්වය ඒ වන තෙක් සම්බන්ධ කර ගෙන නොතිබූ බැවින් යූඇනිමල්ස් සංවිධානයට මෙය මුලින් තහවුරු කර ගැනීමට නොහැකි විය.

පසුව සත්වෝද්‍යානය සම්පූර්ණයෙන් ම ජලයෙන් යටවී ඇති බව ත් එයින් ගැලවීමට හැකිවූයේ හංසයින්ට සහ තාරාවන්ට පමණක් බව ත් එම සමාගම සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කළේ ය.

තොදොර්චුක්ට අනුව, ආපදා කලාපයේ සිටින තව ත් බොහෝ සතුන් මිය යා හැකි ය. සියලු ම සතුන්ට පිහිනීමට හැකියාවක් නොමැති අතර ඇතැම් අවස්ථාවලදී මිනිසුන්ට ඔවුන්ව ලිහා දැමීමට හෝ ඔවුන්ගේ කූඩුවලින් නිදහස් කිරීමට පවා කාලයක් හිමි නොවේ.

"මේක පරිසර පද්ධතිය විනාශ කරන සහ මිනිසුන්ගේ සහ සතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන දැවැන්ත පාරිසරික අපරාධයක් වන පරිසර විනාශයක්" යැයි එම පදනමේ ප්‍රධානියා අවධාරණය කළේ ය.රුසියාව වේල්ල පුපුරවා හැරීම ප්‍රතික්ෂේප කරන අතර එය විනාශ කිරීම සම්බන්ධයෙන් යුක්‍රේනයට දොස් පවරයි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසුවේ, එය "ම්ලේච්ඡ ප්‍රහාරයක්" බව ය.