කැත්ලීන් ෆොල්බිග්: සිය දරුවන් ඝාතනය කළා යැයි 'ඕස්ට්‍රේලියාවේ නරකම දාම ඝාතක' ලෙස චෝදනා ලැබූ කාන්තාවට විද්‍යාත්මක සාක්ෂි මත සමාව

Kathleen Folbigg leaving Maitland Court after being refused bail on 22 March 2004

ඡායාරූප මූලාශ්‍රය, Fairfax Media/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කැත්ලීන් ෆොල්බිග්, 2004 දී නඩු විභාගයකින් පසු

ඔබ මවක්යැ යි මොහොතකට සිතන්න; ඔබ උපත ලබාදුන් ඔබේ කිරිකැටි දරුවන් සිව්දෙනාම, වසර 10ක කාලයක් තුළ එකා පිටුපස එකා, අත දරුවන්ව සිටිය දීම ස්වභාවික හේතූන් නිසා මියගිය විට ඔබට දැනෙනු ඇති හැඟීම ගැන ඔබට සිතිය හැකිද?

නමුත්, ඔබ ඒ දරුවන් සියල්ලන්ම හුස්ම හිරකොට මරා දැමුවේයැ යි අසාධාරණ ලෙස චෝදනාකර, ඔබ නොකළ ඒ මහා අපරාධයන්ට දඬුවම් ලෙස වසර 30කට සිරගතකර තිබුණේයැ යි සිතන්න.

වරක්, "ඕස්ට්‍රේලියාවේ නරකම දාම ඝාතක කාන්තාව" ලෙස හංවඩු ගසන ලද කාන්තාවක්, ඈ ඇගේ ළදරුවන් සිව්දෙනා ඝාතනය නොකළා විය හැකියැ යි යෝජනා කරමින් ඉදිරිපත් වූ විද්‍යාත්මක සාක්ෂි මත අධිකරණ සමාව ලබා තිබේ.

කැත්ලීන් ෆොල්බිග්, ජූරියක් විසින් ඇය ඇගේ පුතුන් වූ කේලබ් සහ පැට්‍රික් ද, දූවරුන් වූ සේරා සහ ලෝරා ද දශකයක් කාලයක් තුළ දී ඝාතනය කළබවට වැරදිකාරිය ලෙස හඳුනාගැනීමෙන් පසු වසර 20ක සිර දඬුවමක් ගත කළා ය.

නමුත් මෑතක දී කළ විමසීමක් මඟින්, එම දරුවන් ස්වභාවික හේතූන් නිසා මියයන්නට ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරනබව ප්‍රකාශවිය.

පනස්පස් හැවිරිදි මෙම තැනැත්තියගේ නඩුව, ඕස්ට්‍රේලියාව තුළ යුක්තිය පසිඳලීමේ දී සිදුවූ විශාලතම අවගමනයක් ලෙස විස්තර කෙරෙයි.

සැමවිටම තමාගේ නිර්දෝෂීභාවය කියා සිටි ෆොල්බිග්, ඇගේ දරුවන් සිව්දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2003 දී වසර 25කට සිරගත කරනු ලැබුණි.

වයස දින 19ත් මාස 18ත් අතර පසුවූ දරුවන් සිව්දෙනාම 1989 හා 1999 අතර කාල පරාසයේ දී හදිසි මරණයන්ට ලක්ව තිබූ අතර, නඩු විභාගයේ දී අධිචෝදකයින් විසින් චෝදනා කෙරුණේ ඇය ඔවුන්ගේ හුස්ම සිරකර මරාදමා ඇතිබවටයි.

Laura (left) and Patrick (right)

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆොල්බිග්ගේ දරුවන්ගෙන් දෙදෙනෙක්: ලෝරා (වමේ) සහ පැට්‍රික් (දකුණේ)

පෙර දී ඉදිරිපත් කරන ලද අභියාචනයන් හා මෙම නඩු විභාගය සම්බන්ධයෙන් 2019 දී සිදුකරන්නට යෙදුනු වෙනත් විමර්ශනය හරහා සාධාරණ සැකයක් සඳහා හේතු හමුනොවූ අතර, ෆොල්බිග්ගේ මුල් නඩු විභාගයේ පරිවේශනීය සාක්ෂිවලට වැඩි බරක් ලබාදුන්නේ ය.

නමුත්, විශ්‍රාමලත් විනිසුරු ටොම් බැතස්ට් මෙහෙයවන නව විභාගයේ දී, ජාන විකෘති සම්බන්ධයෙන් සිදුකෙරුණු පර්යේෂණ විසින් දරුවන්ගේ මරණ පිළිබඳ ඔවුන්ගේ වටහාගැනීම වෙනස් කළබව අධිචෝදකයෝ පිළිගත්හ.

ෆොල්බිග් වැරදිකාරියදැ යි සාධාරණ සැකයක් පවතිනබවට විනිසුරු බැතස්ට් නිගමනයකර ඇතිබව සඳුදා (ජුනි 5) ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි නීතිපති මයිකල් ඩේලි ප්‍රකාශ කළේ ය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පූර්ණ සමාවකට අත්සන් තැබූ අතර, ෆොල්බිග් වහා බන්ධනාගාරයෙන් නිදහස් කරන්නැ යි නියෝග කළේ ය.

"ඒක ඇයට අවුරුදු 20ක් තිස්සේ අත්දකින්න සිද්ධවුණු දුක්ඛිත අත්දැකීමක්... මම ඈට සැනසීම ප්‍රාර්ථනා කරනවා,"යි පැවසූ ඩේලි, ඔහුගේ සිතුවිලි දරුවන්ගේ පියා වන ක්‍රේග් ෆොල්බිග් සමග ද වනබව කියා සිටියේ ය.

නවතම නඩු විභාගයේ දී, එකම පවුලේ දරුවන් සිව්දෙනෙකු අවුරුදු දෙකට අඩු වයසේ දී ස්වභාවික හේතූන් මත මියයෑමේ "මූලධාර්මික අවිනිශ්චිතභාවය" ක්‍රේග් ෆොල්බිග්ගේ නීතීඥයින් පෙන්නුම් කරන්නට යෙදුනි.

කෙසේ නමුත්, කොන්දේසි විරහිත සමාව මඟින් ෆොල්බිග්ගේ දණ්ඩ විනිශ්චයන් අවලංගු නොවන බව ඩේලි ප්‍රකාශ කළේ ය. එම තීන්දුව ලබාදිය යුත්තේ අපරාධ අභියාචනාධිකරණය විසිනි. ඒ, විනිසුරු බැතස්ට් විසින් මෙම නඩුව වෙත යොමු කරන්නට තීරණය කරන්නේ නම් ය. එම ක්‍රියාවලිය සඳහා ද වසරක් දක්වා කාලයක් ගතවිය හැකි ය.

ඇගේ දණ්ඩ විනිශ්චය අවලංගු කෙරුණහොත්, ඩොලර් මිලියන ගණනක වන්දි ඉල්ලා රජයට එරෙහිව නඩු පැවරීමට ඇයට හැකි ය.

"කැත්ලීන් ෆොල්බිග්ට සිදුකරලා තියෙන හානිය, තුවාලය හිතාගන්න බැරි තරම් - ඇගේ දරුවන් අහිමිවීමේ වේදනාව [වගේම] දශක දෙකකට ආසන්න කාලයක් අධි ආරක්‍ෂිත හිරගෙවල්වල හිරකරලා තියපු එක," ඇගේ නීතීඥ රීනී රෙගෝ පවසයි.

නීතිය 'විද්‍යාවට සංවේදී විය' යුතු ය

2003 වර්ෂයේ ෆොල්බිග්ගේ නඩු විභාගය කේන්ද්‍රගතවූයේ, විශේෂයෙන්ම මාතෘත්වය සමග ඇය කළ අරගලය ඇය විසින් ලියා තැබුණු දිනපොත් ද ඇතුළු පරිවේශනීය සාක්ෂි මත ය.

1999 දී මෙම දිනපොත් පොලීසියට ලබා දී තිබුණේ එකල ඇගේ සැමියා හා දරුවන්ගේ පියා වූ ක්‍රේග් ෆොල්බිග් විසිනි. සිය බිරිඳ වරදකාරියබවට ඔහු විශ්වාස කළේ ය. වර්ෂ 2000 දී යුවළ එකිනෙකාගෙන් වෙන්විය.

ඇය තම දරුවන්ගේ මරණ ගැන බලවත් වේදනාවෙන් පෙළෙමින්, "ඔවුන් ගැන වරදකාරී හැඟීම මා පෙළයි" යනුවෙන් එම දිනපොත්හි තබා තිබූ සටහන්, අධිචෝදකයින්ගේ නඩුවේ පදනම සකස් කළේ ය.

නමුත් දරුවන්ගේ හුස්ම හිරකරනු ලැබ ඇතැ යි හෝ ශාරීරික හානියක් සිදුව ඇතැ යි පෙන්වන කිසිදු භෞතික සාක්ෂියක් හමුවූයේ නැත.

මුල් නඩු විභාගයේ දී භාවිතා කළ මේ දිනපොත සටහන්, ඇය කළ වරද පිළිගැනීමක් ලෙස සැළකිය යුතුව තිබුණේ නැතැ යි නව විභාගයේ දී ප්‍රකාශයට පත්විය.

ඇගේ ඇතැම් මිතුරන් විසින් මෙහෙයවන්නට යෙදුනු සමාජ ව්‍යාපාරයක් නිසාවෙන්, ඇගේ දණ්ඩ විනිශ්චය අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් මත පදනම්ව විචාරන්නැ යි ඉල්ලා පෙත්සමක් ඉදිරිපත්විය.

2021 මාර්තු මාසයේ දී, කීර්තිමත් විද්‍යාඥයින්, විද්‍යා උපදේශකයින් සහ වෛද්‍ය විශේෂඥයින් 90 දෙනෙකු විසින් අත්සන් තැබූ පෙත්සමක් NSW ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වෙත භාරදුන් අතර, ෆොල්බිග්ට සමාව දී වහාම නිදහස් කරන ලෙස එයින් ඉල්ලා තිබුණි.

පෙත්සමට අත්සන් තැබූවන් අතර නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනෙක් සහ 'වසරේ ඕස්ට්‍රේලියානුවා' නම් ජාතික සම්මානය ලැබූවන් දෙදෙනෙක්, හිටපු ප්‍රධාන විද්‍යාඥයෙක්, සහ ඕස්ට්‍රේලියානු විද්‍යා ඇකඩමියේ සභාපති වන මහාචාර්ය ජෝන් ෂයින් ද සිටිති. මහාචාර්ය ෂයින් මෙසේ පැවසීය: "මේ නඩුව සම්බන්ධයෙන් මේ වන විට සොයාගෙන ඇති විද්‍යාත්මක සහ වෛද්‍යමය සාක්ෂි අනුව බැලුවම, මේ පෙත්සම අත්සන් කරන එක තමයි කළ යුතු නිවැරදි දේ."

මෑතක දී සිදුකළ විමර්ශනයේ දී, ෆොල්බිග්ගේ දියණියන් දෙදෙනාටම CALM2 G114R නම් ජානමය විකෘතියක් ඇතිබව නිරෝධවේදීන් කණ්ඩායමක් විසින් සොයාගැනුනි. මේ විකෘතිය මඟින් 'ක්ෂණික හෘද මරණය' (sudden cardiac death/SDC) ඇතිකළ හැකි ය.

ඇගේ පුතුන්ට ද වෙනස් ජානමය විකෘතියක් තිබූබව සාක්ෂි මඟින් අනාවරණය කෙරිණි - මෙම විකෘතිය, මීයන් තුළ ඇතිවන හදිසි අපස්මාරය හා සම්බන්ධ ය. පැට්‍රික්ගේ මරණයට මාස කීපයකට පෙර ඔහුට අපස්මාර ග්‍රසනය ඇතිවූබව විමර්ශනයේ දී පවසන්නට යෙදිනි.

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයයේ සිට පර්යේෂණය මෙහෙයවූ මහාචාර්ය කැරොලා විනොයිසා පැවසුවේ, ෆොල්බිග්ගේ DNAවල අසාමාන්‍ය ජානමය අනුපිළිවෙලක් ඇතැ යි ක්ෂණයෙන් දිස්වුණුබව ය.

"අපි පළවෙනි පරීක්ෂණේ කළාම, හරිම සැකකටයුතු [ජාන] ප්‍රභේදයක් හම්බුණා... ඒ කාලෙ, 2018 නොවැම්බර්වල දී පවා, අපි හිතුවා, මේක [ෆොල්බිග්ගේ] ළමයින්ගෙත් තියෙනවා කියලා හොයාගත්තොත්, වැරදිකාරයා මේක වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා," ඇය බීබීසීයට පැවසුවා ය.

Carola Vinuesa

ඡායාරූප මූලාශ්‍රය, ANU

ඡායාරූප ශීර්ෂ වැකිය, විකෘති ජානය සොයාගැනීමට හේතුවූයේ මහාචාර්ය කැරොලා විනොයිසාගේ පර්යේෂණය යි

මේ ජානමය විකෘතිය හා බැඳි, බොහෝවිට මාරාන්තික විය හැකි 'කල්මොඩියුලිනොපති' (calmodulinopathy) නම් හෘද රෝගය සම්බන්ධයෙන් මෙතෙක් ලොව පුරා වාර්තාවී ඇත්තේ සිද්ධීන් 134ක් පමණක්බව මහාචාර්ය විනොයිසා ප්‍රකාශ කරයි.

ෆොල්බිග්ට සමාවදීමට ගත් තීරණය ඇය විස්තර කළේ, ඒ හා සමාන තත්ත්වයන් අත්විඳින අනෙකුත් කාන්තාවන්ට අපේක්ෂාවක් ලබාදිය හැකි "ලස්සන මොහොතක්" ලෙසිනි.

"දරුවන් අහිමිවුණු, එහෙම නැත්නම් දරුවන්ට හානියක් කළා කියලා චෝදනා ලබපු කාන්තාවන් සම්බන්ධයෙන් අපිව සම්බන්ධකර ගෙන තියෙනවා. ඒවා අපට පේන්නේ, ඒ දරුවන්ටත් දරුණු ජානමය ආබාධ තිබ්බ සිදුවීම් විදියට," ඇය කියා සිටියා ය.

නීති පද්ධතිය "විද්‍යාවට සංවේදී" වන ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව මේ නඩුව මඟින් පෙන්වා දෙන වග ඕස්ට්‍රේලියානු විද්‍යා ඇකඩමිය ප්‍රකාශ කරයි.

'හිරේ හිටපු පහුගිය අවුරුදු 20 පුරාවටම මං මගේ දරුවො ගැන හිතුවා'

නිදහස්වීම ගැන තමාට "නිහතමානබවක්" හා "කෘතඥබවක්" දැනෙනබව ෆොල්බිග් පැවසුවා ය.

"හිරේ හිටපු පහුගිය අවුරුදු 20 පුරාවටමත්, සදාකාලිකවමත්, කවදත් මං මගේ දරුවො ගැන හිතුවා, දරුවො ගැන දුක්වුණා," ඇය විඩියෝ ප්‍රකාශයක් හරහා පැවසුවා ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: සිරෙන් නිදහස්වූ පසු කැත්ලීන් ෆොල්බිග් සිදුකළ පළමු ප්‍රකාශය

ඇගේ නඩුව යළි විචාරන්නැ යි ඉල්ලමින් මෑත වසරවල දී සමාජ ව්‍යාපාර දියත්කළ මිතුරන් හා ආධාරකරුවන්ට ද ෆොල්බිග් ඇගේ ස්තුතිය පුදකළා ය.

"ඒගොල්ලෝ නොහිටියා නම්, මම මේ දුක්ඛිත සිද්ධියෙන් බේරෙන්නෙ නැහැ," ඇය පැවසුවා ය.

ෆොල්බිග් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි විට ඇය පිළිගෙන තිබුණේ දිගුකාලීන මිතුරියක වූ ට්‍රේසි චැප්මන් ය. නිදහසේ ගතකළ පළමු දිනය ගෙවුණේ චැප්මන් සමග 'සරල සතුටක් ' විඳිමින්බව ෆොල්බිග් පවසයි.

මේ අතරට සැපපහසු ඇඳක් ද, පිට්සා සහ ගාලික් බ්‍රෙඩ් ද, කලුවා (කෝපි රසැති සැර මිහිරි මත්පැන් වර්ගයක්) සහ කෝක් ද අඩංගුවීයැ යි චැප්මන් වාර්තාකරුවන්ට පැවසූ අතර, ෆොල්බිග් ස්මාට් ජංගම දුරකථන වැනි නවීන තාක්ෂණයන් ගැන "විස්මයට පත්වූ" බව ද සඳහන් කළා ය.

"කැත්ගේ හදවතේ කිසි වෛරයක් නැහැ. එයාට ඕනෙ පහුගිය අවුරුදු 20 ඇතුළෙ එයාට අහිමිවෙච්ච ජීවිතේ ගෙවන්න යි, මේ දේවල් අමතක කරලා ඉස්සරහට යන්න යි," ඇය පැවසුවා ය.

ෆොල්බිග් මීළඟට අපරාධ අභියාචනාධිකරණයේ දී ඇගේ දණ්ඩ විනිශ්චය නිෂ්ප්‍රභකර ගැනීමට තැත්කරනබව නීතීඥ රීනී රෙගෝ පැවසුවා ය.

"ඉතාම දුක්ඛිත කතාවකින් මොකක් හෝ හොඳක් කරන්න ඕස්ට්‍රේලියාවට උවමනා නම්, ඔවුන් පශ්චාත්-දණ්ඩන විචාරක ක්‍රමය සමාලෝචන කරන එක ගැන බැරෑරුම් ලෙස සලකාවි,"යි ඇය පැවසුවේ, ෆොල්බිග්ගේ නඩුව සියුම් ලෙස පරීක්ෂා කිරීමට එය අනවශ්‍ය තරම් දිගු කාලයක් ගත්බව ද සඳහන් කරමිනි.

කෙසේ නමුත්, ෆොල්බිග් වරකාරියයැ යි ඇගේ හිටපු සැමියා තවමත් විශ්වාස කරන අතර, ඇය නිදහස් වූයේ ය යන පුවත "සිය සේවාදායකයා විසින් වසර 20ක් තිස්සේ අත්විඳි වේදනාව සහ විඳවීම වැඩිකළබවට" ඔහුගේ නීතීඥයා ප්‍රකාශ කළේ ය.