වසර 13කට පසු නිදොස් කොට නිදහස් වූ පොලිස් අධිකාරී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනෙකු අද (සැප්තැම්බර් 01 වැනිදා) නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
ඒ එවකට ගම්පහ හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ සහ හිටපු එල්.ටී.ටී.ඊ. සමාජිකයෙකු යැයි කියන සෙල්වරාජා කිරුබාකරන් හෙවත් මොරිස් නැමති අයයි.
ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
ගම්පහ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ ලක්ෂමන් කුරේ මෙම බෝම්බ ප්‍රහාරවලට සෘජු සබඳතාවයක් ඇතැයි චෝදනා නඟමින් 2009 අගෝස්තු 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනි.
2008 වසරේ අප්‍රේල් මස 06 වැනිදා වැලිවේරිය කාන්ති ක්‍රිඩාංගනය අසලදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් හිටපු අමාත්‍ය ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ලක් විය.
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදවා හිටපු ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් 84 දෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම, එම ඝාතන කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 31ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු කොටි සාමාජිකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන්ට සහ ගම්පහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මෙරට ප්‍රමුඛතම කැබිනට් අමාත්‍ය වගකීම් දැරූ අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර පක්ෂ විපක්ෂ කා අතරත් ජනප්‍රිය දේශපාලනඥයෙකු විය.
පාර්ලිමේන්තුව තුළ සිටි චතුර කථිකයෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
ඔහු සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයකුගේ මැතිවරණ නියෝජිතයකු ලෙසය.
1984 දී ඔහු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කටාන ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ලෙස පත් කරන ලදී.
එතැන් සිට ඔහු 1989, 1994, 2000, 2001 සහ 2004 වසරවල අඛණ්ඩව පස් වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ 1994 සිට කතෝලික කටයුතු අමාත්‍ය ධුරය, ජාතික සමගිය පිළිබඳ අමාත්‍ය ධුරය මෙන්ම වරාය හා ගුවන් සේවා අමාත්‍ය ධුරය සහ මාර්ග සංවර්ධන අමාත්‍ය ධුරය ද දැරීය.
2005 දී මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ ඔහු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ අතර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙකු ද විය.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිද වූ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පසුකාලීනව දේශපාලනයට පැමිණියේය.
ආන්දෝලනයන්
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ 2007 ජූනි මාසයේදී දෙමළ ජනතාව බලහත්කාරයෙන් කොළඹ ලැගුම්හල්වලින් ඉවත් කිරීම දැඩි ලෙස සාධාරණීකරණය කළේය.
මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එම පියවර සම්බන්ධයෙන් අග්‍රමාත්‍යවරයා කනගාටුව ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන බවයි.
2007 අගෝස්තු මාසයේදී ඔහු එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උපලේකම් ජෝන් හෝම්ස්ට එරෙහිව දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළේ ඔහු "එල්ටීටීඊයෙන් අල්ලස් ගන්නා ත්‍රස්තවාදියෙකු" ලෙස හඳුන්වමිනි. ඔහුගේ ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් ද හෙළා දැක තිබුණි.










